අටේ පාර එකට වැටේ | දිනමිණ

අටේ පාර එකට වැටේ

මිනීපෙට්ටිය ගමට ගෙනියන්නේ උණ ලීයේ එල්ලලා

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියන් පිරිසක් වෙසෙන ගමක් තමයි “අම්පේ” ගම කියන්නේ. මෙය හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පිහිටලා තියෙන පවුල් 80 ක් පමණ පදිංචි පැරැණි ගමක්. වදවල බෝධිරාජයා අසලින් ආරම්භ වන ‘අම්පේ’ අතුරු මාවත දර්ශනීය වෙල්යායක් මැද්දෙන් ලැමසූරිය දක්වා යාමට තිබෙන කිලෝමීටර් දෙකකට ආසන්න දුරකින් යුත් පාරක්. ඒ පාර ගැසට්පත්‍රවල තියෙන විදියට නම් අඩි 8 ක් පළලයි.

එවැනි පාරක් ගමට තිබියදීත් පසුගිය දිනෙක ගැමියෝ ඉතාමත් අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දුන්නා. රෝහල්ගතවෙලා ඉඳලා මියගිය කෙනෙකුගේ සිරුර මිනී පෙට්ටියක දාගෙන ගමට රැගෙන එන්න විදියක් නෑ කියන්නේ මොන තරම් අවාසනාවන්ත තත්ත්වයක්ද?

වාහනයක දමාගෙන නෙමෙයි, හතරදෙනකුට මිනීපෙට්ටිය කරගහගෙන එන්නවත් විදියක් නෑ. ඒ කියන්නේ මිනීපෙට්ටියකට කරගහගෙන දෙන්නෙකුට එන්න පාරක් නෑ.

එතකොට අඩි අටක් තියෙනවා කියපු පාරට මොකද වෙලා තියෙන්නේ. පාර පටන් අරන් ටික දුරක් යනකල් අඩි අටේ පාර තියෙනවා. පාර අවසන් වන ඉඩමේදීත් හරියටම අඩි අටේ පාරක් තියෙනවා. ඒත් මැදදි අඩි අටේ පාර අඩියක් තරමට පටුවෙලා.

මැද තියෙන්නේ කුඹුරු යායක්. මේ කුඹුරු ක්‍රම ක්‍රමයෙන් පාර ආක්‍රමණය කරලා. අඩියක ඉඩක් ඉතිරිවෙන්න පාර කොටලා ගොයම් හිටවලා.

අවුරුදු ගාණක් තිස්සේ මේ දුක සහ මේ අවනඩුව වගකිවයුත්තන්ට කියාපු ගැමියන් අසරණ වෙලා හිටපු මේ මොහො‍ෙත් තවත් කාටවත් කණු කුණු ගාන්න ගියේ නෑ. ඒ නිසා ඔවුන් මිනීපෙට්ටිය බිම තියලා ගිහින් දිග උණ ලීයක් ‍ෙහායාගෙන ඇවිත් ඒ උණ ලීයේ මැද කොටසෙහි මිනීපෙට්ටිය ලණු දාලා එල්ලුවා. ඊළඟට සියලුදෙනා උණ ලීයේ දෙපැත්තෙන් කරගහගෙන කුඩා පාර දිගේ මිනිය ගමට ගෙනාවා.

ඒ පිළිබඳව වදවල ශ්‍රී විමලාරාමාධිපති, නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක හඟුරන්කෙත ශ්‍රී ඤාණ‍ාලෝක නායක හිමියන් පැවැසුවේ මෙවන් දෙයක්.

පුරාණයේ පටන් මේ අඩිපාරේ පහළට ඉහළට ගියා. පාසල් දරුවන්ට ලෙඩෙකුට විතරක් නෙමෙයි කවුරුත් ආව ගිය ගම්සභා පාරක්. මරණයක් මඟුලක් වුණත් යන්න තියෙන එකම පාර. මළමිනියක් ගෞරව සම්පන්නව අරගෙන යන බව කවුරුවත් දන්නවා. මේ පාරේ ටික දුරක් ලීයක තියලා බැඳලා උස්සගෙන තමයි යන්න වෙලා තියෙන්නේ.

පාර දුෂ්කර නිසා අපි පොඩි වාහනයක්වත් යන්න පුළුවන් විදියට හදාගන්ට ලක්ෂ 10 ක මුදලක් පාස් කරගත්තා. දුර්වලතාවයක් නිසා කරගන්න බැරි වුණා. යළිත් ලියලා ආයෙත් ලක්ෂ 10 ක් පාස්කර ගත්තා. ඒත් කරගන්ට බැරි වුණා. මේ සම්බන්ධව කටයුතු කරන නිලධාරින් මේ මිනිස්සු විඳින දුක බලලා මළ මිනියක්වත් ගෙනියන්න පුළුවන් විදියට පාරට ඉඩකඩ ලබාදෙන ලෙස මම විශේෂයෙන්ම මතක් කර සිටිනවා.

වයි. එම්. ටිකිරි බණ්ඩා ගොවි මහතා -

අවුරුදු තිස් ගාණක් ඉඳන් අපි මේ දුක විඳිනවා. වාචිකවත්, ලියුම්වලිනුත් කොච්චරවත් කියලා තියනවා. පාර නැති නිසා අපිට බොන්න වතුර බට ටිකවත් දාගන්න බැරිවයි ඉන්නේ. වතුර බටේ අතරමැදට ඇවිල්ල නතරකරලා. “මේ දුක ඔබතුමන්ලාවත් නිලධාරින්ට කියලා අපිට සාධාරණයක් කරලා දෙන්න.

එකමුතු කාන්තා සමිතියේ සභාපතිනිය ඇම්. ජී. රම්‍යාවතී මැණිකේ -

‘මම මේ ගමට ඇවිත් අවුරුදු 35 යි ආපුදා ඉඳන් අපි ආව ගිය පාර දැන් ගමට බලවත් අවහිරයක් වෙලා. මේක ගැසට් කරපු අඩි හයක පාරක් හයක් තියෙනවද කියලා බලන ඕනකෙනෙකුට පේනවා. අපි ගෙදරට වතුර අදින්නේ ඉස්සර විදියට උකුලේ කළේ තියාගෙන. පාර නැති නිසා වතුර ගෙදරට දෙන්නේ නෑ. ගෑනු අපි විඳින දුක දන්නේ දෙයියෝ තමා. එළවළුවක් හදලා ජීවත්වෙන අපි තවමත් ‍කරෙන්, ඔළුවෙන් උස්සගෙන යනවා. ඒ පැත්තෙන් කවුරු හරි ආවොත් දෙන්නට මාරුවෙන්න බෑ. අඩි හයේ පාර හරි තිබ්බනම් ත්‍රිවීල් එහෙක පටවගත්තනම් කොයි තරම් පහසුවක්ද? මෙච්චර දියුණු රටේ මේ පාරක් හින්දා අපි දුක් විඳිනවා. වයසක කෙනෙක් ගැබිනි අම්මෙක් ලෙඩ වුණාම කඳක බැඳලා ගේන්න වෙලා තියෙන්නේ ලංකාවෙන්ම අපිට විතරයි වෙන්න ඇති. එහෙම කරදරයක් වුණාම පිරිමියෙක් දෙන්නෙක් හොයාගන්නත් අමාරුයි කුඹුරුවලට යන හින්දා.

ඒ. ඇම්. අප්පුහාමි ගොවි මහතා -

මට අවුරුදු 70 යි. මේක මම කුඩා ක‍ාලයේ හරක් බානක් එකට අරන් ගිය පාර. අඩි අටේ පාරක්. මට හොඳට මතකයි. මේ ළඟකදී ඉඳන් පාර ටිකෙන් ටික පළලින් අඩුවෙලා දැන් අඩියකටත් අඩුයි. අපි පවුල් 80 කට 90 කට එළවළු ටික කරෙන් ඔළුවෙන් ගේන්න සිද්ධවෙලා විතරක් නෙමෙයි බර ගාණක් ගෙවන්නත් සිද්ධවෙලා. අනේ අපි විඳින දුක බලලා පිහිටක් වෙන්ට.

ඩබ්ලිව්. ඇම්. ලොකුබණ්ඩා මහතා -

මේ ගමේ අයගෙන් සීයට අසූවක්ම ගොවිතැන් කරන්නේ. ඒත් හරකෙක් කමතකට ගෙනියන්න පාරක් නෑ. යටිපැත්තේ වෙලේ ඉන්න කෙනෙක් තමයි විරුද්ධව වැඩ කරන්නේ. ගමේ අනෙක් සේරම පාර ලොකු කරනවට කැමැතියි.

හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවට දැනුම් දුන්නට පස්සේ සභාපතිවරු ලේකම්වරු ඇවිල්ලා බැලුවා. ගම්සභා පාරක් විදියට ගැසට් වෙලා තියනෙවා. ඒත් වැඩක් කෙරුණේ නෑ.

සී. මහගම-නුවරඑළිය සමූහ


නව අදහස දක්වන්න