ඉරිදටත් අපට එකක් දෙන්න | දිනමිණ

ඉරිදටත් අපට එකක් දෙන්න

කළුතර, වස්කඩුවට අයත් අංක 1 දුම්රිය ස්ථානය, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උප දුම්රිය ස්ථාන අතුරින් වැඩිම මඟීන් සංඛ්‍යාවක් ගමන් ගන්නා මෙන්ම ඉහළම ආදායමක් උපයා දෙන උප දුම්රිය ස්ථානයකි.

වස්කඩුව, පොතුපිටිය, පොහොද්දරමුල්ල, දෙල්දූව, නුගගොඩ, මානන්දුව, මොරොන්තුඩුව, කෝපියාවත්ත ආදී ගම් රැසක මඟීන් දෛනිකව ගමන් කරන මෙම උප දුම්රිය ස්ථානයෙන් දිනකට දහසකට අධික මඟීන් සංඛ්‍යාවක් ගමන් පහසුව සලසා ගන්නා අතර ඉන් 800කට අධික සංඛ්‍යාවක්, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත් මඟීන් ය.

මෙම උප දුම්රිය ස්ථානයේ නතර කරන දුම්රිය අතුරින් වැඩිම මඟීන් සංඛ්‍යාවක් ගමන් කරනුයේ පෙ.ව. 7.48ට නතර කරනු ලබන අංක 8324 දරන අළුත්ගම සිට මරදාන දක්වා ගමන් කරන දුම්රියෙන් වන අතර මෙම දුම්රිය ස්ථානයෙන් එම දුම්රියෙහි ගමන්කරන මඟීන් සංඛ්‍යාව 300 කට අධික වේ. නමුත් මෙම දුම්රිය ඉරිදා දිනවලදී නොමැතිවීමත් පෙ. ව. 6.30ත් පෙ.ව. 7.30ත් අතර විකල්ප දුම්රියක්වත් නොමැතිවීම නිසා මඟීන් විශාල සංඛ්‍යාවක් දැඩි අපහසුතාවයට පත් වන බව මගීහු පෙන්වා දෙති.

අංක 01 දුම්රිය ස්ථානය දෙපස පිහිටා ඇති දුම්රිය ස්ථාන වනුයේ උතුරු කළුතර හා වාද්දුව දුම්රිය ස්ථාන ය. අංක 8324 දරන අළුත්ගම සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය, ඉරිදා දිනවලදී නොමැති වීමෙන් අපහසුතාවයට ලක්වන මඟීන්ට විකල්ප දුම්රියක් ලෙස අංක 8327 දරන සමුද්‍රදේවී දුම්රිය, මෙම දුම්රිය ස්ථාන දෙකෙහිම ඉරිදා දිනවලදී නතර කළද, උතුරු කළුතර දුම්රිය ස්ථානයට වඩා වැඩි මඟීන් සංඛ්‍යාවක් ගමන් ගන්නා අංක 01 දුම්රිය ස්ථානයේ ගමන් කිරීම පිළිබඳ මඟීහු බොහෝ කනගාටුවට පත් වී සිටිති.

මෙම හේතුව නිසා ඉරිදා දිනවලදී පෙ.ව. 6.30ත් පෙ.ව. 7.30ත් අතර කොළඹ දෙසට දුම්රියෙන් ගමන් කරන මඟීන්ට, බස් රථයෙන් වාද්දුව දුම්රිය ස්ථානය කරා ගමන් කිරීමට සිදුවීමෙන් දිගු කලක සිට නො 01 උප දුම්රිය ස්ථානයේ මඟීන් විශාල සංඛ්‍යාවක් දැඩි අපහසුතාවයට පත් ව ඇත. එම නිසා ප්‍රදේශවාසීහු අංක 8327 දරන මරදාන දක්වා ධාවනය වන සමුද්‍රදේවි දුම්රිය ඉරිදා දිනවලදීත් අංක 01 දුම්රිය ස්ථානයෙහි නතරකොට, ගමන් කිරීමට කටයුතු සලසා දෙන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි තුමාගෙන් සහ ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිති.

‍එච්.එල්.සුනිල් ශාන්ත
කළුතර මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න