සාපෙළ දෙසැම්බරයේ අරඹා නිවාඩු කාලයේම පිළිතුරු පත්‍ර ඇගයීමත් නිම කරනවා | දිනමිණ

සාපෙළ දෙසැම්බරයේ අරඹා නිවාඩු කාලයේම පිළිතුරු පත්‍ර ඇගයීමත් නිම කරනවා

සිතාරා සේනානි

අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ සිට දෙසැම්බර් මුලදී ආරම්භ කර, පාසල් නිවාඩුව අවසන් වනවිට පිළිතුරු පත්‍ර ඇගයීම ද අවසන් කරන ලෙස තමා විභාග කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන් බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එමෙන්ම, පිළිතුරු පත්‍ර ඇගයීම් හේතුවෙන් කිසිදු පාසලක් වසා නොදමන ලෙස ද තමා විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දුන් බවත් අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කරයි.

පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා යොදා ගැනීම හේතුවෙන් ඇතැම් පාසල් කිසියම් කාලසීමාවකට වසා දැමීමට සිදුවීම හා එම කටයුතු සඳහා ගුරුවරුන් යොදා ගැනීමට සිදුවීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සිදුවන පාඩුව මඟහරවා ගැනීම සඳහා මේ තීරණය ගත් බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

මීට අමතරව පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ට ගෙවන දීමනාව වැඩි කිරීම සඳහා ඉදිරියේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කරයි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවැසුවේ 2018 වර්ෂය සඳහා පාසල් පෙළපොත් බෙදා දීමේ ජාතික උත්සවයට සහභාගී වෙමිනි. එම උත්සවය අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ දී ඊයේ (11) පැවැත්විණි.

දරුවන් සඳහා පෙළ පොත් ලබා දීම අධ්‍යාපන ඇමැතිවරයා අතින් සිදුවිය.

එහි දී අදහස් දැක් වූ අධ්‍යාපන ඇමැතිවරයා,

දිවංගත සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා මේ රටට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමෙන් පසු එම වැඩපිළිවෙළ තව දුරටත් ශක්තිමත් කරමින් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ යුගයේ දී 1980දී පාසල් දරුවන්ට නොමිලේ පෙළ පොත් ලබා දීම ආරම්භ කළා. එදා සිට අද දක්වා පැවැති සෑම රජයක්ම මේ රටේ ලක්ෂ 45කට ආසන්න පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොමිලේ පෙළ පොත් ලබා දීමට විශාල මුදලක් වැය කරනවා. ඒ නිසාම දරුවන්ට ලබා දෙන පෙළ පොත් අඩුම තරමින් තවත් වසරක්වත් පාවිච්චි කිරීමේ අවශ්‍යතාව අප හඳුනාගෙන තිබෙනවා. සමහරු කියන විදිහට අපිට අවශ්‍ය වුණේ පෙළ පොතට ගහන්න හෝ නොදී ඉන්න නෙවෙයි. මේ පොත් මුද්‍රණය සඳහා වසරක් පාසා රුපියල් මිලියන ගණන් වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්. අපට අවශ්‍ය වුණේ ඒ මුදල් සම්භාරයෙන් කොටසක් ඉතිරි කර ගෙන ඒවා යොදවා දරුවන්ට තව තවත් ප්‍රතිලාභ ලබා දෙන්නයි. අපි මේවා කළේ යහපත් චේතනාවෙන්.

අපේ අරමුණ කුමක් වුණත් තව කෙනෙක් පාවිච්චි කළ පොතක් පාවිච්චි කරන්න සමහර දරුවන් කැමති නෑ. මේ නිසා ඇතැම් මවුපියන් පොත් මිලදී ගැනීමේ මධ්‍යස්ථාවලින් ඒවා මිලදී ගන්න කටයුතු කළ බව අපිට දැන ගන්න ලැබුණා. ඒ නිසා අපේ අරමුණ යම් ප්‍රමාණයකින් ඉටු කර ගැනීමට නොහැකිව තිබෙනවා.

අපි අපේ දරුවන්ට ලක්ෂ 45කට නොමිලේ රුපියල් ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් ලබා දුන්නා. එමඟින් මේ වනවිට රුපියල් ලක්ෂ ගණනක ප්‍රතිලාභ ගෙවා තිබෙනවා. සියලු සිසුන්ට නොමිලේ පෙළ පොත්, නොමිලේ නිල ඇඳුම් වවුචර, අවශ්‍ය දරුවන්ට පාසල් සපත්තු සඳහා වවුචර, නොමිලේ ආහාර යනාදියට අමතරව පාසල්වලට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ද කිසිදා නොදුන් අන්දමින් ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා. පද්ධතියට අවශ්‍ය බඳවා ගැනීම් නියමිත පරිදි සිදු කිරීමටත්, ගුරු තුලනය විධිමත් කිරීමටත් කටයුතු කරමින් සිටිනවා. මේ වසර අවසානය වනවිට මේ පද්ධතියේ මානව සම්පතේ කිසිම හිඟයක් ඇති නොවෙන්න කටයුතු කිරීම අපේ අරමුණයි.

මම අපේ දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබට ලැබුණු පෙළ පොත් තවත් වසරක් හෝ දෙකක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හොඳින් පාවිච්චි කර නැවත භාර දෙන්න කියලයි. නැතිනම් මේක ජාතික අපරාධයක් වෙනවා. අපි බැණුම් අහන්න සූදානම්, ඒත් මේ සඳහා වැය වන අති විශාල මුදල ඉතිරි කර ගන්න පුළුවන් නම් ඒ මුදල් යොදවා අපේ දරුවන්ට තව තවත් විද්‍යාගාර, පුස්තකාල, ගොඩනැගිලි පහසුකම් ආදිය ලබා දෙන්න අපට හැකි වෙනවා.

අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ.

ඡායාරූප- වාසිත පටබැඳිගේ 

නව අදහස දක්වන්න