රිදි ඇල්ල රක්ෂිතයේ ජංගම ඉරුම්හල් වටලයි | දිනමිණ

රිදි ඇල්ල රක්ෂිතයේ ජංගම ඉරුම්හල් වටලයි

ඉන්දික පොල්කො­ටුව

දඹුල්ල රිදි ඇල්ල රක්ෂිතයෙහි ජංගම ඉරුම්හල් පවත්වාගෙන යමින් කලක තිස්සේ මහා පරිමාණයෙන් කැරගෙන ගිය වටිනා ගස් කැපීමේ දැව ජාවාරමක් වැටලූ දඹුල්ල මූලස්ථාන පොලීසිය සැකකරුවන් තිදෙනකු සමඟ වටිනා දැව විශාල තොගයක් හා යන්ත්‍ර සූත්‍ර උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

එම පොලිස් ස්ථානයේ පරිසර ඒකකයට ලද තොරතුරක් මත රිදි ඇල්ල වැවෙහි සිට කිලෝ මීටර් හතක දුරකින් එහා ප්‍රදේශය වටලා මෙම ජාවාරම අනාවරණය කැර ගන්නා ලදි.

අත් ට්‍රැක්ටරයක්, දැව ඉරුම් මේසයක්, ගස් කැපීමේ දැව ඉරුම් යන්ත්‍ර ඇතුළු යන්ත්‍ර හා උපකරණ විශාල තොගයක් මෙහිදී පොලිසිය මගින් සොයා ගැණිනි.

පලු, හල්මිල්ල, මී වැනි ලක්ෂ ගණනින් වටිනා දැව විශාල තොගයක්ද මෙහි දී පොලීසිය මගින් සොයා ගැණුනු අතර අදාළ රක්ෂිතයේ අක්කර ගණනක් මෙලෙස දැව විනාශයට හසු වී තිබූ බැව් පොලීසිය පවසයි. බකමූණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් මෙයට පෙරද මෙවනි දැව ජාවාරම්වලට හසුව ඇතැයි පොලීසිය අනාවරණය කැර ගෙන තිබේ.

දඹුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් කුමාර වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් එහි පරිසර ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිල්වා, පොලිස් කොස්තාපල්වරුන් වන නිහාල් (44188), රත්නායක (53554) යන නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම වැටලීම කළහ.

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් දඹුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 දා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙම රක්ෂිතයේ කපා බිම හෙළා තිබූ අති විශාල දැව කදන් පිළිබදව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමටත් එවා භාරයට ගෙන අවශ්‍ය පියවර ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමට දඹුල්ල මූලස්ථාන පොලීසිය කටයුතු කැර ගෙන යනු ලබයි.

නව අදහස දක්වන්න