දැරියගේ අවමගුලේදී තවත් මරණ දෙකක් | දිනමිණ

දැරියගේ අවමගුලේදී තවත් මරණ දෙකක්

පාකිස්තානයේ කසූර් දිස්ත්‍රික්කයේ දී දූෂණය කර, මරා නගරයේ ප්‍රධාන අපද්‍රව්‍ය බහාලනයේ දමා තිබූ හත් හැවිරිදි දැරියගේ අවසන් කටයුතු අවස්ථාවේ ඇති වූ කළහකාරී තත්ත්වය අතර ඊට සහභාගි වූවන් දෙදෙනකු ද මරු මුවට පත්ව තිබේ. සයිනාබ් අන්සාරි නම් වූ මේ දැරිය හමුවී තිබුණේ අතුරුදන් වී දින හතරකට පසුය. ගෙවී ගිය වසර තුළ කසූර් දිස්ත්‍රික්කයෙන් මෙවන් සිදුවීමක් වාර්තා වන්නේ සිවු වැනි වතාවටය. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ බලධාරීන් වරදකරුවන් සෙවීමේ දී මන්දගාමී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බවයි.

දැරියගේ අවසන් කටයුතුවලට එක් වූ ජනතාව ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් පොලිස් ස්ථානයට පහර දීමටත් වෙඩි තබන්නටත් වූ බව වාර්තා වේ. එය මැඬ පැවැත්වීමට යාමේ දී ඊට සම්බන්ධ වූවන් දෙදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කළේය.

දැරිය අතුරුදන් වන අවස්ථාවේ ඇයගේ මවුපියන් වන්දනා ගමනක් සඳහා රටින් පිටව ගොස් සිට ඇත. මේ සිදුවීම සම්පූර්ණයෙන්ම විසඳන තුරු තම දියණියගේ දේහය භූමදාන නොකරන බව අන්සාරි ගේ පියා වන අමීන් පවසයි.

‘අප පාකිස්තානයේ අගවිනිසුරු වරයාගෙනුත්, හමුදාපතිවරයාගෙනුත් දූවරුන් සිටින සියලු දෙනාගෙනුත් ඉල්ලා සිටිනවා මීට මැදිහත් වන ලෙස’

මේ අතර දිස්ත්‍රික් භාර පොලිස් නිලධාරී සුල්ෆිකාර් අහමඩ් පවසන්නේ මේ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ට හැකි සෑම පියවරක්ම ගත් බවයි. පසුගිය දින හතර පහ පුරාම පරීක්ෂා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇයගේ සිරුර නගරයේ ප්‍රධාන අපද්‍රව්‍ය බහාලනයේ තිබී සොයා ගත් බවත් ඔහු සඳහන් කරයි. 

 

නව අදහස දක්වන්න