මැතිසබේ ගුටිකෙළි අනුමත කරන්න බැහැ | දිනමිණ

මැතිසබේ ගුටිකෙළි අනුමත කරන්න බැහැ

නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ

පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුව, බැඳුම්කර කොමිසමේ වාර්තාව පිටවීම, අගමැතිට එරෙහිව විශ්වාසභංගය, පොහොර හිඟය ආදිය පිළිබඳ අදහස් දක්වමින් නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මැතිහමුවට එක්වේ.

විශ්වාසභංගය ඉදිරිපත් වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා බලමු. අපි තීන්දු තීරණ ගන්නේ පක්ෂයක් විදියට. ඒ වගේ අවස්ථාවක පක්ෂය ගන්නා තීරණය ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවා. විශ්වාසභංග පසුගිය කාලවලත් ඉදිරිපත් වුණා. නිකං විශ්වාසභංගයක් දාන්න බෑ. කරුණු කාරණා තියෙන්න ඕනෑ.

බැඳුම්කර විවාදයේදී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභාගැබ තුළ ගුටිබැට හුවමාරු කර ගත්තා. ඇයි මේ වගේ සිද්ධි ඇතිවෙන්නේ?

ඇත්තටම සිදු නොවිය යුතු දෙයක් තමයි එදා සිදු වුණේ. මෙහෙම දේවල් අපි අපේක්ෂා කරන්නේ නෑ. පාර්ලිමේන්තු ඉතිහාසය ගත්තහම 80 දශකයේ පමණ මේ වගේ දේවල් සිදුවුණා. ඒත් මෙතරම් පහත් මට්ටමට ඒ දවස්වලවත් පාර්ලිමේන්තුව පත් වුණේ නෑ. මේක අශෝභන සිදු නොවිය යුතු දර්ශනයක්. ඇතැම් මන්ත්‍රීවරුන් ආවේගශීලීව ඉවසීමක් නැතිව සභාගැබ තුළ හැසිරුණා. මම වසර තිහක් පමණ පාර්ලිමේන්තුවේ හිටියා පාර්ලිමේන්තුවේ හැසිරීම පිළිබඳ අපිට අවබෝධයක් තියනවා. මේ සිදුවීම් දිහා අපි බලන්නේ උපේක්ෂාවෙන් මේවා සිදු නොවිය යුතු දේවල්. පක්ෂ නායකයෝ කණ්ඩායම් නායකයෝ යළි මෙවැනි දේ සිදු නොවීමට වගබලාගත යුතුයි. පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ගෞරවාන්විත බව රැකෙන අයුරින් අපි කවුරුත් කටයුතු කරන්න ඕනෑ.

බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විවාද කරන්නයි පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුව රැස්කළේ. නමුත් මන්ත්‍රීවරුන්ට කොමිසමේ වාර්තාව ලැබී නෑ. එවැනි පසුබිමක් තුළ කොහොමද විවාද කරන්නේ?

පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමම අර්ථයක් නෑ. එය මේ වගේ සිද්ධියක් ඇති කිරීමට කළ කුමන්ත්‍රණයක් වගේ තමයි මා දකින්නේ. බැඳුම්කර සිද්ධිය පිළිබඳ විවාද කරන්න පාර්ලිමේන්තුව කැඳෙව්වානම් කොමිසමේ වාර්තාව තියෙන්න ඕනෑ. එහෙම නැතිව මොන විවාදයක් ද? මන්ත්‍රීවරුන් මේ පිළිබඳ දැනුවත් වෙන්න ඕනෑ. මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කැඳවීමම වැදගැම්මකට නැති වැඩක්. බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනාධිපතිතුමා සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කළාට පස්සේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. විවිධ දේශපාලන පක්ෂ හඬනගා ඉල්ලුවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුව කැඳවන්න කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණත් ඉල්ලා සිටියා නේද?

දේශපාලන පක්ෂ ඉල්ලුවා වුණාට පාර්ලිමේන්තුව කැඳවන්න ඕනෑ අවශ්‍ය පසුබිම සකස්කරලයි. නිකං ආවට ගියාට කැඳවලා වැඩක් නෑ. පාර්ලිමේන්තුව කැඳවීමේ කාගෙත් අවශ්‍යතාව වුණේ බැඳුම්කර සිද්ධිය ගැන කතා කරන්නයි. ඒ ගැන කතා කරන්න කොමිසමේ වාර්තාවේ තියෙන්නේ ‍මොනවද කියලා දැනගෙන ඉන්න ඕනෑ. එහෙම එකක් තිබුණේ නෑ. වාර්තාව නැතිව නිකං කතා කරල වැඩක් නෑ.

පක්ෂ කෑ ගැහුවට පාර්ලිමේන්තුව කැඳවන්න ඕනෑ නෑ. සැලසුමක් නැතිව පාර්ලිමේන්තුව කැඳවීම නිසා තමයි මේ වගේ අවාසනාවන්ත සිද්ධියක් ඇති වුණේ.

බැඳුම්කර සිද්ධිය හෙළිදරව් කිරීම නිසා ජනාධිපතිවරයාට මරණීය තර්ජන පවා එන්න පුළුවන් බව මහින්ද අමරවීර ඇමැතිවරයා කියනවා. මේ ජීවිත තර්ජන එන්නේ කාගෙන් ද?

බැඳුම්කර සිද්ධියේ චෝදනාවට ලක්වන පාර්ශ්වයේ පිටුපස ඉන්න බලවේග තමයි ඊට වගකිව යුත්තේ. මේක රටට රහසක් නෙවෙයි. ඒකේ පිටුපස මහ දැවැන්ත ශක්තියක් බලවේගයක් තියනවා. ඒ බලවේගය තමයි මතුවෙන්නේ. ඒක ස්වභාවිකව මතුවන දෙයක්, ජනාධිපතිවරයාට පමණක් නෙවෙයි. මේ ගැන කතා කරන කාට වුණත් මේ වගේ තර්ජන එන්න පුළුවන්.

මේ මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂය දේශපාලන වශයෙන් අපහසුතාවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බැඳුම්කර සිද්ධිය යොදාගන්නා බවටත් චෝදනාවක් තියනවා නේද?

මේ සිද්ධිය නොකඩවා ආපු හැටිනේ මේ. මේ සිද්ධිය වෙනම එකක් ඡන්දය වෙනම එකක්. ඡන්ද සමයේදී බැඳුම්කර වාර්තාව එළියට ආපු එක ඇත්ත. ඒත් ඒවා කලින් සැලසුම් කරලා කරපු දේවල් නෙවෙයි. එළියට ආපු වාර්තාව හංගන්න බෑ. එහෙම කළොත් ඊට වඩා ප්‍රශ්නයක්. ඡන්දයට දින නියම කළේ බැඳුම්කර වාර්තාව එනවා කියලත් නෙවෙයිනේ. ඒකයි මේකයි අතර සබඳතාවක් නෑ. ඡන්දය ඉවරවුණහම මේ වාර්තාව ඉදිරිපත් කරන්න ගියානම් තමයි ගැටලුවක් වෙන්නේ. කුතුහලයක් ඇතිවෙන්නේ. දැන් එහෙම වුණේ නෑ, ඡන්දයයි බැඳුම්කරයයි අතර සම්බන්ධතාවයක් නෑ.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙනවා. එහෙම වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මොකක් ද?

තාම එහෙම එකක් වෙලා නෑනේ. ඔය එක එක්කෙනා කියන දේවල්නේ. ඒ විශ්වාසභංගය ඉදිරිපත් වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා බලමු. අපි තීන්දු තීරණ ගන්නේ පක්ෂයක් විදියට. ඒ වගේ අවස්ථාවක පක්ෂය ගන්නා තීරණය ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවා. විශ්වාසභංග පසුගිය කාලවලත් ඉදිරිපත් වුණා. නිකං විශ්වාසභංගයක් දාන්න බෑ. කරුණු කාරණා තියෙන්න ඕනෑ. ඒ පිළිබඳ පක්ෂයක් විදියට ගන්නා තීරණය අපි තවම සාකච්ඡා කරලා නෑ. දැනට එවැන්නක් ඉදිරිපත්ව නැති නිසා ඒ ගැන සාකච්ඡා කළ යුතු නැති බවයි මගේ අදහස.

ඩිලාන් ඇමැතිවරයා කියන්නේ මේ ආණ්ඩුව මැටි ආණ්ඩුවක් කියලයි. ඇත්තටම මේ ආණ්ඩුව මැටි ආණ්ඩුවක් ද?

ඒ අපේ සහෝදර ඇමැතිවරයාගේ කතාවලට පිළිතුරු දෙන්න මම කැමැති නෑ. සූදානමුත් නෑ. එක එක කාලෙට එක එක්කෙනාට විවිධ අදහස් උදහස් පහළ වෙනවා. එයා පක්ෂයට හිතකර දේවලුත් කතා කරනවා. අහිතකර දේවලුත් කතා කරනවා. අවස්ථාවට උචිතවත් එහෙම නැතිවත් කතා කරනවා. ඒවා පක්ෂයේ ප්‍රකාශ නෙවෙයි. එතුමාගේ පුද්ගලික අදහස්.

නියඟය නිසා ගොවීන්ට කන්න තුනක් වගාකරන්න වතුර තිබුණේ නෑ. දැන් වතුර තිබුණත් පොහොර නෑ. කෘෂිකර්මාන්තය පිළිබඳ කළමනාකාරිත්වයක් රටේ නැත්ද?

කන්න කීපයක් වැඩ නොකර ඉඳලා එක සැරේ වැඩකරනකොට තමයි මේ පෝර හිඟය ආවේ. වගා නොකරනකොට පොහොර ඉල්ලුමක් නෑනේ. වගා කරනකොට තමයි පොහොර ඉල්ලුම තියෙන්නේ. පොහොර ඉල්ලුමක් නැති වුණහම පොහොර ආනයනය කරන්නේ නෑ. මේක හිටිගමන් ඉල්ලුම වැඩි වුණහම සැපයුම අඩුවුණා. මෙතන ගැටලුවක් තිබුණ. ක්ෂණිකව ලොකු ඉල්ලුමක් ආවා. දැන් එය යථා තත්ත්වයට පත්කරන්න පියවර අරන් තියනවා.

රටේ පොහොර මහලේකම් කාර්යාලයකුත් තියනවා. මේ ප්‍රශ්නවලට ඔවුන් වගකිවයුතු නැත්ද?

තියනවා තියනවා. පොහොර හුඟක් ගෙන්වන්නේ රජයට වඩා පුද්ගලික අංශයෙන්. කල් ඇතිව ගෙනත් තබා නොගැනීම ගැටලුවක්. මෙතනදී යම් අඩුපාඩුවක් සිදුවී තියනවා. එහෙම දෙයක් සිදුවීම අඩුවක්. ඊට පිළියම් යෙදිය යුතුව තිබුණා.

ඔබ වසර ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්. නමුත් මෙවර ඔබට නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරයෙන් සෑහීමකට පත්වෙන්න සිදුව තියනවා. ඇත්තෙන්ම ඔබ ඊට තෘප්තිමත් ද?

මං මන්ත්‍රී ධුරයත් නැතිව හිටපු කෙනෙක්. මට මන්ත්‍රී ධුරය හිමිවීමත් අහඹුවක්. ඉතිං මන්ත්‍රීකම ලැබෙනකොට ම මට ඇමැති ධුරයකුත් ලැබෙන්න ඕනෑ තමයි. ඒත් දැන් තියෙන්නේ සහයෝගිතා ආණ්ඩුවක්. ඇමැති ධුර පක්ෂ දෙක අතර බෙදාගෙන අවසන්. මේ සංයුතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන්වූ ඇමැති ධුර ඉවරයි. මේවා වෙනස් කරනවානම් දෙගොල්ලොත් සමඟ සාකච්ඡා කරලා නැවතත් එක‍ඟතාවලට එන්න ඕනෑ. එවැනි එකඟතාවන්ට ඒමේ අවස්ථාවක් දැන්ම නෑ. දිවුරුම් දීපු දාම මට මේ රාජ්‍ය අමාත්‍ය ධුරය බාරගන්න තිබුණා. ඒත් බාරගත්තේ නෑ. කොහොම වුණත් මේ මැතිවරණ කාලේ වැඩකටයුතු කරන්න පොඩි හයියක් තියෙන්න ඕනෑ. ඒ නිසා මා කල්පනා කළේ මේ රාජ්‍ය ඇමැති ධුරය හරි බාරගන්න. කැබිනට් ඇමැතිවරයකුට තරම් වැඩ කරන්න බැරි වුණත් රාජ්‍ය අමැති ධුරයෙනුත් යම් වැඩක් කරන්න පුළුවන්. ඒ නිසයි මා මේ රාජ්‍ය ඇමැති ධුරය බාර ගත්තේ.

ප්‍රශ්නය - පසුගිය 10 වැනිදා පැවැති පාර්ලිමේන්තු සභා වාරයේදී ජනතා විමුක්ති පෙරමුණ කථානායකවරය අනුගමනය කළ ක්‍රියාමාර්ග නිවැරදි නොවන බවට යම් යම් චෝදනා එල්ල කළා. ඊට එකඟවිය හැකි ද?

ඒ ගැන කියන්න මා පක්ෂ නායක රැස්වීම්වලට සහභාගිවෙන කෙනෙක් නෙවෙයි. මට දැනුණ විදියට නම් තිබුණු පක්ෂ නායක රැස්වීමට ජ. වි. පෙ. සහභාගි වුණේ නෑ. එහිදී ගත් තීන්දු තීරණ දන්නේ පක්ෂ නායකවරු ජ. වි. පෙ. පක්ෂ නායක රැස්වීම වර්ජනය කරලා ඇවිත් ඊට පස්සේ සභාවේදී රටට පේන්න සංදර්ශන කිරීම කතානායකවරයාට චෝදනා කිරීම යෝග්‍ය නෑ. එහෙමනම් එයාලාට පක්ෂ නායක රැස්වීමට සහභාගි වෙන්න තිබුණා. පක්ෂ නායක රැස්වීම වර්ජනය කරලා එහිදී ගන්නා වූ තීරණවලට බලපෑමක් කරන්න ජ. වි. පෙට බෑ.

2008 සිට 2014 දක්වා වූ බැඳුම්කර සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කරන්නේ කවදාද?

මම බැඳුම්කර සිද්ධීන් පිළිබඳව සොයා බලන කමිටුවක සාමාජිකයෙක් නෙවෙයි. ඒ නිසා ඒ ගැන මට හරියට කියන්න බෑ. ඔය කතන්දර ගැන මේ සාමාන්‍ය ජනතාව දකින කෝණයෙන් තමයි මාත් දකින්නේ.

ගාමිණී බණ්ඩාරනායක 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...