ඔහේ පාවෙන වෙළෙඳ පොළ | දිනමිණ

ඔහේ පාවෙන වෙළෙඳ පොළ

උදිත ගුණවර්ධන

මෙතැනට වෙළෙඳුන් තෝරා ගනිද්දි මීට වඩා විමසිලිමත් වෙන්න තිබුණා. එදා බලධාරීන් ගෙන්න ගත්තේ අච්චාරු කඩ, කඩල කඩ නැතිනම් කොත්තු කඩ.. මේ විදිහට මෙතැන දියුණු කරන්න බැහැ.ස්ටෑන්ඩඩ් එකක් තියෙන අයට තමයි මේ වගේ තැනක් දියුණු කරන්න පුළුවන්.

නගර අලංකරණය , කොළඹ සුන්දර කිරීම වැනි සුන්දර කතා ඇසුණේ 2010 පසු කාලයේය. එවකට නාගරික සංවර්ධන සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදු කළ මෙම අලංකරණ ව්‍යාපෘති නිසා කොළඹට අලංකාරයක් සහ සුන්දරත්වයක් ලැබුණි. එහෙත් මෙම සංවර්ධන ව්‍යාපෘතිවල සැලසුම් කිරිමේ සහ ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා රැසක් තිබුණි. එවැනි අඩුපාඩු සහිත ව්‍යාපෘතියකට දැක්විය හැකි ආසන්නම උදාහරණය කොළඹ පිටකොටුව බේරේ වැව ආශ්‍රිතව ඇති පාවෙන වෙළෙඳ සංකීර්ණයයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන ගණනක් වැය විය. එම සංකීර්ණය මනරම් දසුන් මවන තැනකි මෙහි පැමිණෙන පරිභොගිකයාටද නිදහසේ තම මිලදී ගැනීම් කළ හැකිය. එහෙත් අදවන විට මෙම වෙළෙඳ සංකීර්ණය සම්පූර්ණයෙන් අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.

පාවෙන වෙළඳ පොළ සංකීර්ණයේ කඩ 95 තිබේ. එහෙත් අද වන විට විවෘතව ඇත්තේ එයින් කඩ 25 පමණි. එම කඩවලින් සාර්ථක වෙළෙඳාමක් සිදුකරන්නේ කඩ දෙක තුනක පමණි. අනෙක් කඩ කරන්නන් වාලේය. නැතිනම් පිටකොටුවේ කඩවල තොග ගබඩාය.

අප මෙම ස්ථානය වෙත ගියේ එහි තත්ත්වය සියැසින්ම බලා ගැනීමටය. දක්නට ලැබුණේ පාලු ස්භාවයකි .විවෘත කළ වෙළෙඳසල්ද තිබුණේ මැස්සන් ඇහිරෙමිනි. කලකට පෙර සාර්ථවක ක්‍රියාත්මක වූ වැව මත පාවෙමින් තිබු ඔරු මත ඉදිකළ කඩ සියල්ලම වැසී ගොසිණි. පෙර වතාවක එහි ගිය අපට මෙම ස්ථානවල සාර්ථකව ව්‍යාපාර කළ පිරිසක් අපට හමුවිය. එහෙත් අද මේ අය ආගිය අතක් නැත. ගල් බංකු කඩ සියල්ලම වැසී ගොස්ය. අද මෙහි පහස විඳින්නේ දුරාචාරවල නියැලෙන්නන් සහ මත් ලෝලීන්ය. මෙහි අප යන විටත් එහි සිටි ඇතැමුන් සිටියේ මත් පැන් පානය කරමිනි.තවත් අය වෙනත් මත් ද්‍රව්‍ය සහ දුම්වැටි උරමින්ය. සැබෑ ලෙසම මෙවැනි ජාතික සම්පතක් මේ ආකාරයට අවභාවිතය වීම කනගාටුවකි.එදා මෙම ස්ථාන ආරක්ෂා කිරීමට නිලධාරීන් සිටියද අද එහි එදා තරම් නිලධාරීන් නැත.ඉන්න සුළු පිරිසට මෙතරම් විශාල ප්‍රදේශයක් ආවරණය කිරීමටද නොහැකිය. ඇත්ත තත්ත්වය එසේය. මේ ආකාරයේ ගැටලු කෙතරම් තිබුණද මෙහි එක් හොඳක් සඳහන් කළ හැකිය. එනම් මනා ලෙස මෙම ස්ථානය නඩත්තු කිරීමය. කුණු කසළ බිඳක් අපට දැක ගැනීමට නැත..

අද වන විට මෙහි ආරම්භයේ සිටි වෙළෙඳුන් විශාල ප්‍රමාණයක් පාවෙන වෙළෙඳ පොළ අතැර බැස්ට්යන් මාවතේ අලුතින් ඉදිකළ කඩ පෙළ වෙත ගොස් සිටිති. ඔවුන්ගේ ඉවත් විමටද මූලික හේතුව වී ඇත්තේ අවම වෙළෙඳාමය. මෙම නව කඩ පෙළද රජය විසින් ඉදිකර ඇති අතර පාවෙන වෙළෙඳ පොළේ දුෂ්කර ජීවිතයක් ගත කළ අයට සහනයක් ලබා දීම රජයේ අරමුණ විය හැකිය.

මේ සියලු කරුණු අතර මුලිකවම සඳහන් කළ යුතු කරුණක් බවට පත්ව ඇත්තේ මෙම සංකීර්ණයටම කැසිකිළි සහ වැසිකිළි පහසුකමක් නැති කමය. මෙම නිසා වැඩිපුරම පීඩාවට පත්ව සිටින්නේ පාවෙන වෙළෙඳ සංකීර්ණයේ කඩවල කාන්තාවන්ය. මෙහි සිටින ව්‍යාපාරික කාන්තාවක් වන විතානගේ මහත්මිය සඳහන් කරන්නේ මෙවැනි කතාවකි.

“ මේ තැන ගැන මීට වඩා අවධනය යොමු වෙන්න ඕනෑ. මට මේ කඩේ වැඩ කරන එකට මාසික වැටුපක් ආයතනයෙන් ලැබෙනවා. ඒත් කියන්න කනගාටුයි මගේ පඩියට සරිලන ආදායමක්වත් මේ කඩෙන් උපයන්න බැහැ..සමහර දවස්වලට දවස් තුනකට එක බිස්නස් එකයි. මෙතැන ඉතාමත් නිස්කලංක තැනක් අවශ්‍ය කරන්නේ පාරිභෝගිකයා අද්ද ගන්න පුළුවන්වැඩපිළිවෙලක් විතරයි. ඒක අපිට කරන්න බැහැ ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ ඒදේටයි...“

විතාන මහත්මිය එහිදී සඳහන් කළ දෙයක් වන්නේ මෙහි වැසිකිළි පහසුකම් නොමැති බවට වු කරුණයි. ඇය සඳහන් කරන ආකාරයට හදිසි අවශ්‍යතාවක් ඉටු කර ගැනීමට මීටර් 500 පමණ දුර ගෙවා කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිළියට පැමිණිය යුතුය.එහිදී දුම්රිය ස්ථානයට ප්‍රවේශ වීම සඳහා ටිකට් පතක් සහ වැසිකිළියට තවත් ගාස්තුවක් ගෙවිය යුතුය. මෙය පාවෙන වෙළෙඳ පොළ සංකීර්ණයේ ඇති ප්‍රබලම ගැටලුවකි. මේ ගැටලුව ව්‍යාපාරිකයන්ට මෙන්ම පාරිභෝගිකයන්ටද එක සේ බලපාන ගැටලුවකි. අවශ්‍ය කරන්නේ ඉක්මන් විසඳුමකි. එමෙන්ම අයාලේ යන මත් ලෝලීන් නිසා කඩවල හුදෙකලාව සිටින කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන ගැටලු මතු වූ අවස්ථ ඕනෑ තරම් තිබේ.

පාවෙන වෙළෙඳපොළ සංකීරණයේ කෑම කඩයක් කරන සුහයිර් මහතා පිටකොටුවේ සිටින පැරැණිම ව්‍යාපාරිකයකි. ඔහු ව්‍යාපාර කරන්නේ අවුරුදු 59 ක සිටය.“ මේ වැඩේ හොඳයි... අපි දැන ගන්න ඕනෑ කස්ටම ගෙන්න ගන්න අපේ කඩේට නම් ප්‍රශ්නයක් නැහැ.බිස්නස් හොඳට කරනවා. ඒත් මේ තැන මීට වැඩිය ලොකු දියුණුවකට ගන්න පුළුවන් තැනක්. සැලසුම් නැතිව වැඩ කිරීම හින්දයි මේ වැඩේ තාම සාර්ථක කර ගන්න බැරි වෙලා තියෙන්නේ. එදා වුණේ තෝරා ගැනීමකින් තොරව තිබුණ කඩ ඉවත් කරලා ඒවායේ ඉන්න අය ප්‍රෝටින් මාර්කට් එකට ගෙන ඒම. ඒක වැරැදියි..මේකෙ අන්තිම ප්‍රතිඵලය වුණේ රුපියල් කෝට් ගණක් බේරේ වැවට දියව යාම..“

සුහයිර් මහතා අවුරුදු හැටක අත්දැකීමෙන් කියන දේ ඇත්ත බව තහවුරු වූයේ පාවෙන වෙළෙඳ පොළේ ඇති එකම රෙදිපිළි වෙළෙඳසලේ සුදාකරන් මහතා සඳහන් කළ කරුණු අනුවය. අපි බැස්ටියන් මාවතේ වෙළෙඳම කළේ අවුරුදු ගාණක් ඉඳන් බිස්නස් තිබුණා උතුරන්න. අපේ කඩ බලෙන් කඩලා මෙතැනට ගෙනත් දැම්මේ පහුගිය ආණ්ඩු කාලයේදී. එදා ඉඳන් අපි වේලෙනවා. කරන්න දෙයක් නැති හින්දා පොඩියට රෙදි බිස්නස් එක කරනවා.“ අපි ඉල්ලන්නේ එක දෙයයි මෙතැන අපි එකතු වෙලා කොහොම හරි ගොඩ දාමු..අපි ලෑස්තියි සපෝට් එක දෙන්න.“

රන්සිළු ෆුඩ් ආයතනයේ හිමිකරු වජිර මහතා.“ මමත් මේ ස්ථානයේ ආරම්භයේ සිට ඉන්නවා.මෙතැන බිස්නස් කරලා ජීවත් වෙන්න අමාරුයි.ඒ හින්දා තව මොනව හරි දෙයක් කරනවා අමතර ආදායමක් ගන්න..මෙතැනට සෙනග අද්දන්න ක්‍රමයක් තමයි ඕනෑ.ගොඩක් අයට ප්‍රෝටන් මාර්කට් එක හුරු නැහැ.ඒ නිසා ප්‍රවර්ධනය ප්‍රචාරය තමයි ඕනෑ කරන්නේ...“

සුන්දර සහ නිස්කලංක තැනක් වු පාවෙන වෙළෙඳ පොළට මෙවැනි ඉරණමක් අත් වූයේ ඇයිද යන්න ගැනද විමසා බැලිය යුතුය.එහිදි නිගමනය කළ හැකි ප්‍රධානම කරුණ වන්නේ මෙවැනි නූතන ලක්ෂණ ඇති වෙළෙඳ සංකීර්ණයකට මුලින්ම යොමු කළ පිරිස් කෙතරම් ගැලපේද යන්නය. අනවසර කඩවලින් ඉවත් කළ අයට මෙහි ඉඩ ලබා දුන්නද මෙවැනි තැනකට ව්‍යාපාරිකයන් ආදේශ කළ යුතුව තිබුණේ නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවය. එනම් මෙවැනි තැනක දිගු කාලීනව වැඩ කළ හැකි පිරිස්ය. එහෙත් පසුගිය කාලයේදී මෙම කාර්ය නිසි ආකාරයට සිදු වූයේ නැත. පාවෙන වෙළෙඳ පොළ සංකල්පය අසාර්ථක වීමට බලපෑ මූලික හේතුව වූයේ එයයි. එනිසා නැවත මෙම ස්ථානය ආකර්ශණීය තැනක් කිරීමට නම් නැවත ප්‍රතිසංවිධානයක් කළ යුතුය. සංචාරක ආකර්ශණයට ලක්වන තැනක් බවට පත් කළ යුතුය. එයට පෙර මෙහි ඇති අඩුපාඩු සියල්ල නිවැරැදි කළ යුතුය. මෙතරම් ප්‍රමුඛ පෙළේ තැනක් වුවද පාවෙන වෙළෙඳ පොළට ස්ථිර රථ ගාලක් නැත. පිටකොටුව වැනි වහන තදබදය අධික තැනක පිහිටි මෙයට අනිවාර්යෙන්ම රථ ගාලක් අවශ්‍ය වේ. එහෙත් අද පාවෙන වෙළෙඳ පොළ ආසන්නයේ ඇති රථ ගාලේ වාහන ගාල් කරන්නේ මැනිං වෙළෙඳ පොළේ වාහනය. මෙවැනි ප්‍රමුඛ අඩුපාඩු ඉක්මනින් නිවැරැදි කළ යුතුය.

පාවෙන වෙළෙඳ පොළේ පරිපාලනය සම්බන්ධව කටයුතු කරන වෙළෙඳ සංගමය වන්නේ පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමයයි. මෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ චමින්ද විදානගේ මහතාය. පසුගිය කාලයේ සිදු වු අසාර්ථක වීම් නිවැරදි කර පාවෙන වෙළෙඳ පොළ ජනතාව ඇදී එන තැනක් කිරීමට එම සංගමය බලවත් උත්සාහයක නියැලේ. මේ ඒ ගැන චමින්ද විදානගේ මහතා දක්වන අදහස්ය.“ මේ ස්ථානය මිනිස්සු අද්ද ගන්න පුළුවන් තැනක්. සංචාරකයන්ට විනෝද වෙන්න බඩු ගන්න පුළුවන් තැනක්.ඒ තැන හරි විදිහට හදන්න ඕනෑ. මහ නගර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක සහ ෆයිසර් මුස්තාපා මහත්වරු මේ සංවර්ධන සැලසුමට මුලික වෙලා වැඩ කරනවා. එදා මෙතැනට වෙළෙඳුන් තෝරා ගනිද්දි මීට වඩා විමසිලිමත් වෙන්න තිබුණා. එදා බලධාරීන් ගෙන්න ගත්තේ අච්චාරු කඩ , කඩල කඩ නැතිනම් කොත්තු කඩ..මේ විදිහට මෙතැන දියුණු කරන්න බැහැ.ස්ටෑන්ඩඩ් එකක් තියෙන අයට තමයි මේ වගේ තැනක් දියුණු කරන්න පුළුවන්. විදේශයන්වල අරන් බලන්න එතකොට වෙනස තේරෙයි.. ඒ නිසා යම් ප්‍රමිතියක් ඇති ව්‍යාපාර මෙතැන ස්ථාපිත කරන්න ඕනෑ. සංචාරකයො මේ වගේ තැන්වලට කැමැතියි ඒ අයට ආකර්ශණය ඇති කරන්න වැඩපිළිවෙලක් ඇති කරනවා. මෙතැනින් හංස බෝට්ටු සේවයක් ආරම්භ කරන්න සැලසුම් කර තියෙන්නේ. මේ සේවය ආරම්භ කළ පසු පාවෙන වෙළෙඳ පොළේ සිට නෙළුම් කුලුන හරහා ගංගාරාමයේ සීමා මාලකය දක්වා චාරිකා කරන්න පුළුවන්. ඒ විදිහේ වැඩසටහන් පමණක් නොවෙයි රාත්‍රිය දක්වා මෙතැන ජනතාව රඳවා ගන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕනෑ. උදාහරණයකට ගනිමු ගාලු මුවදොර මෙතැනට දිනකට දහස් ගණනක් එනවා.අප සැලසුම් කරන්න ඕනෑ මේ විදිහේ දෙස් විදෙස් සංචාරක පාරාදීසයක් බවට පාවෙන වෙළෙඳ පොළ ප්‍රදේශය පත් කරන්න. මේ සඳහා හොඳ සැලසුමක් දැන් තියෙනවා කියලා අපට පෙනෙනවා. මම ඉල්ලා සිටිනවා වැසි ඇති කඩවලට නැවත ටෙන්ඩර් කැඳවලා සුදුසු අයට මේ කඩ දෙන්න කියලා. මේ හැම දේම හරියට කෙරෙද්දි පාවෙන වෙළෙඳ පොළ සංකීර්ණය පිහිටුවීමේ අරමුණු සාර්ථක කර ගැනීමට පුළුවන් කම තියෙනවා..“

කොළඹ අලංකාර කරන තැනක් මෙන්ම අධික වානිජ වටිනා කමක් ඇති මේ වෙළෙඳ පොළ වල් වැදී අසාර්ථක තැනක් බවට පත්වීමට ඉඩ නොදි මෙම ස්ථානය ආර්ථික කේන්ද්‍රයක් බවට පත්කිරීම බලධාරීන්ගේ යුතුකමකි . මේ සඳහා කඩිනම් සැලසුම් ක්‍රියාත්මක කළ යුතු අතර එමගින් මෙම ස්ථානය නවීන යුගයට ගැලපෙන ලෙස ප්‍රතිසංවිධානය කළ හැකිය.

ඡායාරූපය-රංජිත් අසංක


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...