නීතිය තද මදි | දිනමිණ

නීතිය තද මදි

තහනම් කරන ලද පොලිතීන් වැටලීම පසුගිය 03 දා සිට ආරම්භකර ඇත. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් කොළඹ පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකින් එම නීතිය කඩ කළ තොග වෙළෙඳුන් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි. නීති වි‍රෝධී ලෙස තහනම් කරන ලද පොලිතීන් නිෂ්පාදන නීතියට වැලිගසා නැවත නැවත වෙළෙඳපොළට ඒම වැළැක්වීම එක රැයකින් දවසකින් දෙකකින් හෝ මාසයකින් සිදුකළ නොහැකිය. මේ පිළිබඳ පැය 24 පුරාම දැඩි විමර්ශනයකින් කටයුතු කළ යුතුය.

ඒවගේම එදිනෙදාවිමර්ශනයකින් නිවාසවලින් හා වෙළෙඳ ආයතනවලින් ඉවත ද මන පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය අතිවිශාලය . එක දවසකට සාමාන්‍ය‍යෙන් නිවෙසකින් ඉවත දමන සිලි සිලි බෑග්, යෝගට් කෝප්ප හා අනිකුත් පොලිතීන් අපද්‍රව්‍ය පිළිබඳ විමසා බලන්න. සා මාන්‍යයෙන් සිලි සිලි බෑග් පහක්වත් දිනකට අපද්‍රව්‍ය ලෙස නිවෙසකින් බැහැර කරයි. එසේනම් රට පුරා දවසකට සිලි සිලි බෑග් පමණක් ටොන් ගණනක් පරිසරයට මුදාහරී. පසුගිය 01 දා සිට පොලිතීන් ප්ලාස්ටික් පුලුස්සා දැමීමද තහනම් කර ඇත. ඒත් ‍මේ තහනම ක්‍රියාත්මක කරන්නේ කී දෙනාද? දිනපතා එකතුවන මේ අපද්‍රව්‍ය අනිකුත් අපද්‍රව්‍ය සමඟ ගිනි තබා විනාශකිරීම දැන් වසර ගණනාවක සිට සිදුවෙමින් පවතින බර පතළ පරිසර විනාශයකි. පොලිතීන් ප්ලාස්ටික් ගිනි තැබීමෙන් පරිසරයට එකතුවන විෂවායු ප්‍රමාණය අතිවිශාලය. මේ විෂවායු මිනිස් සිරුරට ඉතා අහිතකරයි. ශ්වසන ආබාධ, පිළිකා, මළ දරු උපත්, මන්ද බුද්ධික දරුවන් බිහිවීම වැනි භයානක රෝග තත්වයන් රැසකට මිනිසා ගොදුරුවීම නොවැළැක්විය හැකිය.

පොලිතීන් , ප්ලාස්ටික් ගිනි තැබීම වැළැක්වීමට නම් මේවා එක්රැස් කිරීමට දීප ව්‍යාප්ත වැඩසටහනක්, ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය පළාත් පාලන ආයතන, පරිසර පොලිස් ඒකක, ස්වේච්ඡා සංවිධාන එක්ව සෑම ගමකම ඉවත දමන පොලිතීන්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුකිරීමේ මධ්‍යස්ථාන පිහිටුවිය යුතුය. පොලිතීන්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගිනි තබා විනාශකිරීමේ තහනම ගෙන ඒමට ප්‍රථම මේවා එකතුකිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කළා නම් එය කාලෝචිත පියවරක් වනු ඇත. කෙසේ වෙතත් නිවාසවල වෙළෙඳ ආයතන වල එකතුවන ‍මේ අපද්‍රව්‍ය සුරක්ෂිතව තබාගැනීමට සුදුසු ක්‍රමයක් නැති නිසා ඒවා දිනපතාම ගිනි තැබීම නිර්න්තරවම සිදුවන්නකි. එබැවින් ඉතා කඩිනමින් කළ යුත්තේ මෙම අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමය. ඒ සඳහා අදාළ බලධාරීන්ගේ නිසි අවධානය යොමුවනු ඇතැයි ජනතාවගේ බලාපොරොත්තුවයි. එවැනි වැඩපිළිවෙළක් නොමැතිව මේවාට තහනම් නියෝග නිකුත් කිරීම එතරම් ඵලදායී නොවන බවද කිව යුතුය.

රත්නසිරි පතිරණ


නව අදහස දක්වන්න

Or log in with...