බැඳුම්කරයෙන් පව් සෝදා ගැනීම | දිනමිණ

බැඳුම්කරයෙන් පව් සෝදා ගැනීම

මහින්ද රාජපක්ෂ මහතා බැඳුම්කර කොමිෂමේ වාර්තාව එනතෙක් ඇඟිලි ගැන්නා සේ ජනතාව ඇඟිලි ගනිමින් සිටින්නේ බරපතළ වංචා ගැන සොයා බැලීමට පත් කළ තවත් කොමිෂන් සභා වාර්තා සේම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එයාර් ලංකා මිහින් ලංකා, 2008 -2015 බැඳුම්කර ගනුදෙනු, වැලිකඩ රිමාන්ඞ් සිරකරුවන් ඝාතනය කිරීම, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු තවත් පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා එන තෙක්ය. ඒවා පිට වූ වහාම නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට කොතරම් හදිසියක් මේ කල්ලියට තිබේදැයි දැක ගැනීමට අප නොඉවසිල්ලෙන් බලා සිටිමු.

“එකම බොරුව සියවරක් කියන්න ජනතාව එය සත්‍ය යැයි විශ්වාස කරනු ඇත” මේ ප්‍රකට කියමන කිව්වේ නායි නායක හිට්ලර්ගේ ප්‍රචාරක ලේකම්වරයා වුණ ජෝෂප් ගොබෙල්ස්. ගොබෙල්ස් කිව්වා වගේම ඒක කරලත් පෙන්නනවා. අවසානයේ ජර්මනිය නතර වුණු තැන ගැන මේ ලෝකේ කවුරුත් දන්නවා.

ගොබෙල්ස් විසින් ඉදිරිපත් කළ ඉහත සඳහන් අදහස පසුකාලීනව සන්නිවේදනයේ නොනිල න්‍යායක් බවට පත් වුණා. අවස්ථාවාදී හා අන්තවාදී පාලකයෝ සහ ඔවුන්ගේ අනුබලය ලබන ජනමාධ්‍ය මේ න්‍යාය මුළු ලෝකය පුරාම අභ්‍යාස කළා. ඒ හරහා ඇති වුණු විනාශය ගැනත් අපි කවුරුත් දන්නවා.

ගොබෙල්ස්ගේ මේ න්‍යාය රාජපක්ෂ රෙජිමය සහ කල්ලිය තරම් හොඳින් අභ්‍යාස කළ පිරිසක් මෑත කාලයේ ලෝකයේ කොතැනක හෝ දේශපාලනය කළා ද යන්න සැක සහිතයි. ඒ තරමට පසුගිය කාලය පුරාම රාජපක්ෂ රෙජිමය සහ කල්ලිය විසින් මේ එකම බොරුව සිය වරක් නොවෙයි දස දහස් වරක් කීම සිදු කළා. මේ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණ දෙක වන්නේ “බැදුම්කර ගනුදෙනුව” සහ යහපාලන ආණ්ඩුව රට දැවැන්ත ණය අර්බුදයක් ඇති කළාය කියන කතාවයි. මේ සිදුවීම් දෙකම ඔවුන් ආණ්ඩුවට එරෙහිව ජනතාව කුපිත කිරීමට සහ ජනතාව තුළ ආණ්ඩුව ගැන කලකිරීමක් ඇති කිරීමට යොදා ගන්නවා.

කොළේ වවා ගසන ණය අර්බුදයේ කතාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 08 වැනිදා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ හරියටම යහපාලන ආණ්ඩුවට අවුරුදු තුනක් සම්පූර්ණ වන දා. “කුඩු කෑ මිනිහාගේ නහය දනවා” කියන්නා වාගේ මහින්ද රාජපක්ෂ මහතාත් අතට අසුවන හැම දෙයකින්ම ආණ්ඩුවට දමා ගසා තිබුණා. ඒ අතර බැඳුම්කර ගනුදෙනුව සහ යහපාලන ආණ්ඩුව විසින් පසුගිය තෙවසර තුළ ලබාගත් ණය ගැන විශේෂ සඳහනක් තිබුණා.

“2018 ජනවාරි 09 වැනිදා ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් සම්පූර්ණ වේ. මේ කෙටි කාලය තුළ මොවුන් ලංකාවේ සෑම ක්ෂේත්‍රයක් පුරාම දිවයන දැවැන්ත අර්බුද ගණනාවක් නිර්මාණය කර ඇත. මේ මොහොත දක්වාම සාකච්ඡා වන ප්‍රධාන මාතෘකාව වන්නේ මහ බැංකු කොල්ලය හා එය යට ගැසීමට ආණ්ඩුවේ නායකයන් ගන්නා උත්සාහයයි. බැඳුම්කර කොමිෂමේ සම්පූර්ණ වාර්තා එළිදක්වනතුරු අපි බලා සිටිමු. මහ බැංකු මංකොල්ලය මේ ආණ්ඩුව විසින් කරන ලද එක් විනාශයක් පමණි. යහපාලන ආණ්ඩුවේ තුන්වැනි සංවත්සරය නිමිත්තෙන් ඔවුන් මේ රටේ ඇතිකර ඇති තවත් භයානක වින්නැහියක් ගැන ජනතාවගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි’ මේ හිටපු පාලකයා බලය අහිමි වීමේ සහ වසර තුනක් පුරා යළි එය ඩැහැ ගැනීමේ නොහැකියාව නිසා උපන් ද්වේෂය සහ අපේක්ෂා භංගත්වය සමඟ යළි ජනතාව මුලා කිරීමට ගන්නා කපටි ප්‍රයත්නයේ පූර්විකාවයි. බැඳුම්කර සිදුවීම සහ රාජපක්ෂ දේශපාලනය ගැන පසුවට සාකච්ඡා කිරීමට අවස්ථාව තබා මහින්ද රාජපක්ෂ විසින් ජනතාව හමුවේ හෙළි කරන “භයානක වින්නැහිය” ගැන ප්‍රථමයෙන්ම සාකච්ඡා කළ යුතුය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන ආකාරයට යහපාලන ආණ්ඩුව බලයට පත් වූ මාස 36ක කාලය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 14.6ක් විදෙස් විනියම පමණක් ලබා ගෙන ඇත. ඉතා සටකපට ආකාරයට මේ විදේශ ණය ප්‍රමාණය කාණ්ඩ කොට දක්වන රාජපක්ෂ මහතා කිසිඳු අවස්ථාවක සංවර්ධන කාර්යයන් සඳහා ලබා නොගන්නා, ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීමට යොදා ගන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදුන් ඩොලර් බිලියන 1.5ක අගය ද එක් කොට දක්වයි. යහපාලන ආණ්ඩුව විසින් ලබාගත් මේ ණය ගැන තර්කයක් නැත. මන්ද එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තම වාර්තා මගින් ඉතා පැහැදිලිව දක්වන ලද සංඛ්‍යා ලේඛන මත පදනම්ව ඇති හෙයිනි.

එහෙත් මේ සමඟ අපගේ අවධානය යොමු විය යුතු විශේෂ කරුණක් තිබේ. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට සති කිහිපයකට පමණ පෙර රට හමුවේ අවධාරණය කළ කරුණකි. ඒ මහින්ද රාජපක්ෂ යුගයේ ලබා ගත් විදෙස් ණය සහ කළ යුතු ගෙවීම් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව තුළ පවා නිශ්චිත සංඛ්‍යා ලේඛන නොමැති බවයි. එම කාලය තුළ රාජපක්ෂ පාලනය පාර්ලිමේන්තුවට කිසිදු වගකීමක් නොමැතිව අත්තනෝමතිකව ක්‍රියාකළ බවට ජනතාවට කිසිසේත් අමතක නැත. පාර්ලිමේන්තුව නොසලකා අත්තනෝමතික පාලනයක් ගෙන ගිය රාජපක්ෂ පාලනයට එදා ලබාගන්නා විදෙස් ණය ගැන පාර්ලිමේන්තුව තබා ශ්‍රී ලංකා මහ බැංකුව පවා දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැත. ඒ “රාජ්‍යය නම් මමයි” සහ “නීතිය නම් රාජපක්ෂ පවුලයි” යන උද්දච්ඡ මානසිකත්වයේ ගිලී වැඩ කළ නිසාය. කිසිදා බලය විපක්ෂය අතට තබා රාජපක්ෂ පවුලෙන් පිට අයෙක් වෙත පවා යනු ඇතැයි විශ්වාස නොකළ නිසාය. ඒ නිසා විශ්මය ජනක ආකාරයෙන් රාජපක්ෂ යුගයේ ලබාගත් ණය ගැන පමණක් නොව සිදු කළ සොරකම් ගැන පවා කෙස් ගසක දෙයක් සොයා ගත නොහැක.

රුපියල් 10,000ක වැටුප් වැඩි කිරීමට වෛර කිරීම

මෙවැනි හාස්‍යජනත සේම අඳුරු අතීතයක් ඇතිව දශකයක කාලයක් ආණ්ඩු කළ මහින්ද රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා උපුටා දක්වමින් යහපාලන ආණ්ඩුව විසින් ලබා ගෙන ඇති ණය ප්‍රමාණය ගැන කතා කිරීමට විහිළුවකට එහා ගිය ඇස් රතු වන කතාවකි. ඒ ඇස් රතු වන්නේ යහපාලන ආණ්ඩුවේ නොව මේ රටේ සාමාන්‍ය ජනතාවගේය. ඒ මහින්ද රාජපක්ෂ මහතා කියන මේ කතාව නිසාය.

“යහපාලන ආණ්ඩුව විසින් ගන්නා ණයවලින් කරන්නේ මගේ ආණ්ඩුවේ ව්‍යාපෘති ණය ගෙවීම නොව ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීමයි. 2015 ජනවාරි සිට රජයේ අරමුදල් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට පාවිච්චි කිරීම නිසා කිසිදු සැලසුමකින් තොරව එක්වරම රජයේ වියදම් විශාල වශයෙන් වැඩි විය. මේ අමතර වියදම් පියවා ගැනීම සඳහා යහපාලන ආණ්ඩුව රුපියල්වලින් සේම විදෙස් විනිමයෙන් ද දිගින් දිගටම වාණි ණය ලබා ගැනීම නිසා වර්තමාන ණය අර්බුදය නිර්මාණය විය”

මේ මහින්ද රාජපක්ෂ මහතා තම මතය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන තර්කයයි. රාජපක්ෂ මහතා “ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීම” යනුවෙන් කියන්නේ කුමක්ද ? ඒ සඳහා ප්‍රථමයෙන්ම සඳහන් කළ යුතු වන්නේ 2015 ජනවාරි 09 වැනිදා යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිට මේ දක්වා අවුරුදු තුනක කෙටි කාලය තුළ රටේ එදිනෙදා වියදම් වශයෙන් දරන්නේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, ණය සහ පොලී ගෙවීම් සේම රාජපක්ෂ පාලනය විසින් ඉතිරිකර ගිය දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණය සඳහා රාජ්‍ය අරමුදල් පොම්ප කිරීම බවයි.

මෙහිදී වඩාත්ම අවධාරණය කළ යුතු වන්නේ ඉතාම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් 2005 - 2015 දක්වා කාලය තුළ අසීමිත ලෙස පුළුල් කළ රාජ්‍ය සේවයේ සදාතනික දැවැන්ත බරෙන් ගැළවීමට යහපාලන ආණ්ඩුවට කිසිදු හැකියාවක් නැති බවයි. 2005 ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන රාජ්‍ය සේවය ක්ෂණිකව බඳවා ගත්, මේ දක්වා නිසි සේවා පිහිටුවීමක් පවා නොමැති උපාධිධාරීන්ගේ සිට කාර්යාල කාර්ය සහායකයා දක්වා දැවැන්ත රාජ්‍ය සේවය බර යහපාලන ආණ්ඩුවට, විශේෂයෙන් එජාපයට දැරීමට සිදුව ඇත්තේ පසුගිය තෙවසර තුළ අත්‍යවශ්‍ය සේවා සඳහාවත් අවම වශයෙන් රාජ්‍ය සේවයට සේවකයන් බඳවා ගැනීමකින් පවා තොරවය. රාජපක්ෂ දශකයේ සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතවලට බුරුතුපිටින් පුරවා අතිරිත්තයක් ඇති කරන ලද රාජ්‍ය සේවය මහින්ද රාජපක්ෂ මහතා සැලකුවේ ඍජුවම ඡන්ද බැංකුවක් වශයෙනි.

“ජනවාරි සිට රජයේ අරමුදල් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට පාවිච්චි කිරීම නිසා කිසිදු සැලසුමකින් තොරව එක්වරම රජයේ වියදම් විශාල වශයෙන් වැඩි විය” මහින්ද රාජපක්ෂ මහතා තම මාධ්‍ය නිවේදනය මගින් ආණ්ඩුවට චෝදනා කරයි. මේ කියන්නේ දින 100 වැඩපිළිවෙළ යටතේ සිදු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම් නිසා, විශේෂයෙන් ආණ්ඩුව දැවැන්ත ලාභ උපයා ගත් ගෑස්, ඛනිජ තෙල් නිසා ආණ්ඩුවට අතහැරීමට සිදු වූ දැවැන්ත මුදල සහ රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000.00 කින් සහ විශ්‍රාමකයන්ගේ විශ්‍රාම වැටුප වැඩි කිරීම ගැන බව පැහැදිලිය.

මහින්ද රාජපක්ෂ මහතා තමා විසින්ම අනාගත ඡන්ද බැංකු ලෙස සලකමින් දැවැන්ත ලෙස පුළුල් කළ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට මේ තරම් ද්වේෂ කරන්නේ කුමක් නිසාද යන්න අපට පැහැදිලිය. ඒ 2015 ජනවාරි 08 වැනිදා රාජපක්ෂ රෙජිමයේ පාලනය නිමා කිරීමට මේ රාජ්‍ය සේවකයන් කොන්දේසි විරහිතව පෙනී සිටි නිසාය. ඒ නිසා ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාගේ වෛරයට ලක්ව ඇති ආකාරය අපට මේ අවස්ථාවාදී මෙන්ම ද්වේෂ සහගත ප්‍රකාශය මගින් මනාව වටහා ගත හැකිය.

බෝක්කුවක්වත් හදා නැතිලු

මේ ඊනියා මාධ්‍ය නිවේදනය මගින් මහින්ද රාජපක්ෂ මහතා පසුගිය තෙවසර පුරාම පුනපුනා කියන “බෝක්කු කතාව” ද යළි පුනරුච්චාරණය කරයි. ඒ මොරගහකන්ද සහ රාජගිරියේ ගුවන් පාළම ගැන තම පීතෘත්වය ද යළිත් උපුටා දක්වීම සමගිනි. ඒ ගැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පිළිතුරු දී ඇති නිසා අපි මහින්ද රාජපක්ෂ මහතාට අවධාරණය කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා විසින් රාජපක්ෂවරුන්ගේ නින්ද ගමේ සිදු කරමින් සිටින සංවර්ධන කාර්යයන් දෙසවත් මොහොතක් ඇස් යොමු කරන ලෙසයි. එවැනි කෙටි විමසුමකින් පවා එතුමාට රටේ ක්‍රමිකව සිදු වෙමින් තිබෙන තිරසාර සංවර්ධනය දැක බලා ගත හැකිය.

මේ සමඟම තවත් දෙයක් ද අවධාරණය කළ යුතුය. ඒ මහින්ද රාජපක්ෂ මහතා තම මාධ්‍ය නිවේදනය මගින් දක්වන ආකාරයට රාජපක්ෂ පාලනය තුළ සිදු වූ බව කියන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වන හම්බන්තොට වරාය (දෙවැනි පියවර සහ තෙල් ටැංකි සංකීර්ණය (ඩොලර් මිලියන 1300), කොට්ටාව - මාතර දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය (ඩොලර් මිලියන 740) කොළඹ කටුනායක අධිවේගී මාර්ගය (ඩොලර් මිලියන 292) මත්තල ගුවන්තොටුපොළ (ඩොලර් මිලියන 209) යන කිසිදු සංවර්ධන කටයුත්තක් එක රුපියලක ලාභයක් ජාතික ආර්ථිකයට ලබා නොදෙන සුදු අලි බවයි. විශේෂයෙන් රාජපක්ෂ යුගයේ පුරාජේරුව වන හම්බන්තොට වරාය සහ තෙල් ටැංකි සංකීර්ණය, මත්තල ගුවන් තොටුපොළ මේ දක්වා ජාතික ධනය ගිලින රකුසන් වී සිටින බවයි. එයට මහින්ද රාජපක්ෂ මහතාගේ අත්තනෝමතික තීන්දුවකින් යළි පවරා ගෙන තම මස්සිනා නිශාන්ත වික්‍රමසිංහ ලවා හප කරන ලද ශ්‍රී ලංකන් එයාර් ලයින් සහ මිහින් ලංකා එක් වූ විට ලැබෙන සිතුවම කිසිසේත් සොඳුරු නැත.

අනික් කාරණය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් මහත් රුචියෙන් උපුටා දක්වන තම පාලන යුගයේ ණය සහ පොලී ආපසු ගෙවීම් (2008 දී ඩොලර් මිලියන 881 සිට - 2014 වන විට 1306 දක්වා) රාජපක්ෂ යුගය නිමා වූ 2015 ජනවාරි මාසයෙන් අවසන් වන ඒවා නොවන බවයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දක්වන ආකාරයට මේ බොහෝ ණයවල වාරික ගෙවීමවත් රාජපක්ෂ යුගය තුළ ආරම්භ කර නොතිබූ බව අප වටහා ගත යුතුය. කොටින් මේ ලිපිය මගින් මීට පෙර ද අවධාරණය කර ඇති ආකාරයට රාජපක්ෂලාගේ කෑම බිල ගෙවන්නේ යහපාලන ආණ්ඩුව විසින්ය. ඒ නිසා අප අවධාරණය කරන්නේ 2008 දී ඩොලර් මිලියන 881 ක් වූ හා 2014 දී ඩොලර් මිලියන 1306ක් වදෙස් ණය වාරික හා පොලී ගෙවීම් වසර දෙකක් ගත වන විට 2016 දී ඩොලර් මිලියන 1604 දක්වා ඩොලර් මිලියන 198කින් වැඩි වුණේ (යහපාලන ආණ්ඩුව බලයට පත් වූ 2015 දී ගෙවා නිම කළ කොටස ඩොලර් මිලියන 1828කි) කුමන පදනමකින් දැයි ජනතාවට වටහා ගත හැකි බවය.

කොමිෂන් සභා වාර්තා 34 ගැන මොකද කියන්නේ

2015 වසරේ යහපාලන ආණ්ඩුව බලයට පත් වූ ආරම්භක අවධියේ සිටම රාජපක්ෂ කල්ලිය විසින් “කොකටත් තෛලය න්‍යාය” වශයෙන් භාවිත කරන බැඳුම්කර සිදුවීම සැලකිය හැක්කේ 2005 - 2015 රාජපක්ෂ රෙජිමය යටතේ සිදු වූ සියලුම ආකාරයේ පවු සෝදා ගැනීමට ගන්නා සේදුම්කාරකයක් වශයෙනි. අප එය අවධාරණය කරන්නේ රුපියල් බිලියන 11ක් ගැන කියමින් “මහ බැංකු කොල්ලයක් ගැන” භීතියක් මවන මහින්ද රාජපක්ෂ මහතා තම පාලන යුගය තුළ සිදු වූ දැවැන්ත වංචා සහ දූෂණ, අක්‍රමිකතා ගැන පුදුමාකාර ලෙස ලෙන්ගතුභාවයක් පෙන්වීමය. උදාහරණ වශයෙන් 2015 වසරේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වූ දිනවල සිදුවිය හැකි පක්ෂ මාරුවලට වැට බැඳීම සඳහා රාජපක්ෂ මහතා “ෆයිල්” ගැන කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් තුළ භීතියක් ඇති කළ ආකාරය අපට මතකය. එමෙන්ම හෙජින්, ග්‍රීක බැඳුම්කර, මිග් 28, සේම දැවැන්ත ජාතික ධනයක් කාබාසිනියා කළ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරඟාවලිය ලංකාවට ලබා ගැනීම සඳහා හිටපු මහ බැංකු අධිපතිවරයා සමඟ කළ සූදුව අමතක කර ඇති ගානය.

මේ සියල්ල පමණක් නොව මේ වන විට විමර්ශන අවසන්ව ජනාධිපතිවරයාට භාරදී ඇති බරපතළ වංචා හා දූෂණ සිදුවීම් සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තා ගැන තම ස්ථාවරය කුමක්දැයි බැඳුම්කර කොමිෂන් සභා වාර්තා ඉල්ලා හඬා වැටෙන ගමන් මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් මගින් හෝ පැහැදිලි කළ යුතුය.

එහෙත් එවැනි දේශපාලන භාවිතයක් අසලකවත් නැති මේ පරාජිත රෙජිමය කරන්නේ තම වංචා හා දූෂණ ගැන සොයන විට ඒවාට හැකි තරම් බාධා කරමින්, තර්ජනය කරමින් අදාළ පරීක්ෂණ කටයුතුවලට මුහුණ නොදී අධිකරණ නියෝග ලබා ගැනීමය. ඒ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. රාජපක්ෂ මහතා මේ දක්වා තම නිර්දෝෂීභාවය පෙන්වීමට මේ කොමිෂමක් හමුවේ පෙනී සිටින්නේ නැත. මේ කට්ටි පැනීම රාජපක්ෂ පවුලට සේම තවත් ප්‍රබලයන් රැසක් සම්බන්ධයෙන් ද එකසේ අදාළය.

“මේ මොහොත දක්වාම සාකච්ඡා වන ප්‍රධාන මාතෘකාව වන්නේ මහ බැංකු කොල්ලය හා එය යට ගැසීමට ආණ්ඩුවේ නායකයන් ගන්නා උත්සාහයයි. බැඳුම්කර කොමිෂමේ සම්පූර්ණ වාර්තා එළිදක්වන තුරු අපි බලා සිටිමු” යැයි මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට කියයි. දැන් බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පමණක් නොව තවත් එවැනිම කොමිෂන් සභා වාර්තා 34ක් එළියට පැමිණ තිබේ. මහින්ද රාජපක්ෂ මහතා බැඳුම්කර කොමිෂමේ වාර්තාව එනතෙක් ඇඟිලි ගැන්නා සේ ජනතාව ඇඟිලි ගනිමින් සිටින්නේ බරපතළ වංචා ගැන සොයා බැලීමට පත් කළ තවත් කොමිෂන් සභා වාර්තා සේම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එයාර් ලංකා මිහින් ලංකා, 2008 -2015 බැඳුම්කර ගනුදෙනු, වැලිකඩ රිමාන්ඞ් සිරකරුවන් ඝාතනය කිරීම, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු තවත් පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා එන තෙක්ය. ඒවා පිට වූ වහාම නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට කොතරම් හදිසියක් මේ කල්ලියට තිබේදැයි දැක ගැනීමට අප නොඉවසිල්ලෙන් බලා සිටිමු.

සටහන- භාතිය බරුකන්ද 

නව අදහස දක්වන්න