එන්.කරු වැඩි ඡන්ද 27කින් සිවුවසරකට පාපැදි මුල් පුටුවට | දිනමිණ

එන්.කරු වැඩි ඡන්ද 27කින් සිවුවසරකට පාපැදි මුල් පුටුවට

වර්නන් ගුණසේකර
එන්.කරුණාරත්න මහතා ජයග්‍රහණයෙන් අනතුරුව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී ඇමැති අර්ජුන රණතුංග මහතා හමුවූ අවස්ථාව.

ජාත්‍යන්තර පාපැදි තරග විනිසුරු එන්.කරුණාරත්න මහතා වැඩි ඡන්ද 27ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නව සභාපති ලෙස ඊයේ තේරී පත්විය.

පාපැදි සභාපති තනතුර සඳහා පැවති ද්වී පුද්ගල තරගයේදී කරුණාරත්න මහතා ඡන්ද 75ක් ලබාගත් අතර ප්‍රතිවාදී ඩබ්.එම්.එස්.බණ්ඩාර මහතා හිමිවූයේ ඡන්ද 48ක් පමණි. පාපැදි සම්මේලනයේ ලේකම් තනතුරට නිහාල් කුලසේකර මහතා පත්වූයේ නිතරගයෙනි.

භාණ්ඩාගාරික තනතුර සඳහා තියුණු තරගයක් පැවැති අතර එහිදී සේනක රණසිංහ මහතා වැඩි ඡන්ද 9කින් එම තනතුරට පත්විය. රණසිංහ මහතා ඡන්ද 66ක් ලබාගත් අතර ඔහු සමග එම ධුරයට තරග වැදුණු අමල් සූරියගේ මහතා ඡන්ද 57ක් ලබාගත්තේය.

උප සභාපති තනතුරු 6ක් සඳහා 12 දෙනකු තරග වැදුණු අතර ඔවුන් අතරින් පෙරමුණට පිවිසියේ ඡන්ද 87ක් ලබාගත් ප්‍රභාත් සිල්වා මහතාය. අනෙක් සභාපති තනතුරු 5 ට එච්.එල්.ක්‍රිෂාන්ත (ඡන්ද 67), ගිත්මල් රත්නායක (ඡන්ද 65), බී.ජේ.සුමනසේකර (ඡන්ද 60), නිශාන්ත ඉඳුනිල් පියසේන (ඡන්ද 60) හා චන්දන කඳනාරච්චි (ඡන්ද 57) මහත්වරු තේරී පත්වූහ.

නීතිඥ නිලූකා සුරංජි ජයකොඩි මහත්මිය වැඩි ඡන්ද 19කින් උප ලේකම් තනතුරට පත්වූවාය. ඇය ඡන්ද 71ක් ලබාගත් අතර එම තනතුරට තරග වැදුණු අනෙක් අපේක්ෂකයා වූ නලින් සංජීව මහතා ඡන්ද 52ක් ලබා ගත්තේය.


පුද්ගල බද්ධ නොවී සම්මේලනයක් ලෙස එක්ව ක්‍රීඩාව ඉදිරියට ගෙන යමු
- නව පාපැදි සභාපති

පුද්ගලයන් වටා බද්ධ නොවී සම්මේලනයක් ලෙස එකමුතු වී මෙරට පාපැදි ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට තමාට සහය වන ලෙස අවුරුදු 4ක කාලයක් සඳහා ප්‍රථම වතාවට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති ධුරයට පත් ජාත්‍යන්තර පාපැදි තරග විනිසුරු එන්.කරුණාරත්න මහතා පවසයි.

කොළඹ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ඊයේ පැවැති ශ්‍රී ලංකා පාපැදි සම්මේලන නිලවරණයේදී නව සභාපති ධුරයට තේරී පත්වීමෙන් පසුව කරුණාරත්න මහතා මෙසේ කියා සිටියේය.

සාමකාමී ලෙස නිලවරණය පැවැත්වීම පිළිබඳව සියලු දෙනාටම සිය ස්තූතිය පළ කර සිටි එන්.කරුණාරත්න මහතා කළින් උද්ගතව තිබූ ප්‍රශ්න නිරාකරණය කර නිලවරණයකට මං විවර කිරීම පිළිබඳව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය වෙනුවෙන් විශේෂ ස්තූතිය පළ කර සිටියේය.

‘පාපැදි සම්මේලනය දැක්මක් හා ඉලක්කයක් හඳුනාගත යුතුයි. පුද්ගලයන් වටා එකතු නොවී සම්මේලනයන් ලෙස එකතු වෙමින් ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩාවේ තත්ත්වය ඉදිරියට ගෙන යෑමට එක්වන ලෙසට සියලු දෙනාටම මම ආරාධනා කරනවා.‘

මේ මාසය ඇතුළත දීම සම්මේලනයේ පළමු කවුන්සල රැස්වීම පවත්වන බව නව සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

සිලෝන් පෙට්ට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ සහකාර බෙදාහැරීම් කළමනාකරු ලෙස කටයුතු කරන එන්.කරුණාරත්න මහතා තම ජයග්‍රහණයෙන් පසුව තම ක්ෂේත්‍රයේ අමාත්‍යවරයා වන අර්ජුන රණතුංග මහතා මුණ ගැසීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත පිටත්ව ගියේය.

නව අදහස දක්වන්න