වෙළෙඳ සේවා ක්‍රිකට් ‘සී’ කාණ්ඩයේ තරග අද සිට | දිනමිණ

වෙළෙඳ සේවා ක්‍රිකට් ‘සී’ කාණ්ඩයේ තරග අද සිට

ගීෂා මුණසිංහ
ප්‍රෙස්ටීජ් ඔටෝමෝබයිල් පුද්ගලික සමාගමේ අලෙවි අධ්‍යක්ෂ නිරංග පිරීස් මහතා විසින් අනුග්‍රාහකත්වය වෙ‍ළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රෝහාන් ඉද්දමල්ගොඩ මහතා වෙත පිරිනමමින්. ඡායාරූපය - රංජිත් අසංක

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය වාර්ෂිකව සංවිධාන කරන වෙළෙඳ සේවා ‘සී’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි.

‘සී’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ එක්දින තරග 49ක් පැවැත්වීමට නියමිත අතර නවක කණ්ඩායම් 8ක් සමග කණ්ඩායම් 14ක් එහිදී ‘‍බී.එම්.ඩබ්ලිව්. - හුන්ඩායි’ කුසලානය වෙනුවෙන් තරග වැදීමට නියමිතය. ලීග් හා පිළිමළුන් පිටුදැකීම ලෙස දෙආකාරයකින් පැවැත්වීමට නියමිත තරගාවලියේදී ලීග් තරග 42ක් හා පිලිමළුන් පිටුදැකීමේ තරග 7ක් පැවැත්වෙයි.

ලීග් කාණ්ඩයේ තරගාවලිය අද (13) සිට ලබන මස 28 වැනිදා දක්වා පැවැත්වෙයි. අර්ධ අවසාන හා අවසාන පූර්ව තරග මාර්තු මස 3 වැනිදා සිට 10 වැනිදා දක්වාත්, අවසන් තරගය මාර්තු මස17 වැනිදාත් වෙළෙඳ සේවා ක්‍රික‍ට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සමස්ථ තරගාවලියම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් නීති ප්‍රකාරව සුදු පන්දුවෙන් පැවැත්වීම විශේෂත්වයකි.

ස්ටැෆඩ් මෝටර්ස්, කැන්රිච් මුල්‍ය සමාගම් ‘බී.’, හසන් ෆැලැක්සී පැකේජින්, සොෆ්ට්ලොජික් හොල්ඩීන්, පෑන්ඒෂීයා බැංකුව හා පිරමීඩ් විල්මර් කණ්ඩායම් පළමු වරට වෙළෙඳ සේවා ‘සී’ කාණ්ඩයේ එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වෙයි. එම කණ්ඩායම් පසුගිය වසරේ වෙළෙඳ සේවා ක්‍රිකට් තරග මාලාවේදි අනෙකුත් කාණ්ඩයන්ගෙන් දක්ෂතා දැක් වූ කණ්ඩායම් වෙයි.

ජයග්‍රාහයන් උදෙසා හත්වැනි වරටත් “‍බී.එම්.ඩබ්ලිව්. - හුන්ඩායි” කුසලානය පිරිනැමීමට නියමිත අතර දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නා, තරගාවලියේ වීරයා හා අවසන් තරගයේ තුන් ඉරියව් ක්‍රීඩකයාට කුසලාන පිරිනැමීමට නියමිතය.

පසුගිය වසරේදී ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව පරදවා කොමර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ කණ්ඩයම ශූරතාව දිනා ගැනීමට සමත් ඇත.

මේ තරගාවලියේ අනුග්‍රාහකයා ලෙස 7වැනි වසරටත් කටයුතු කරන්නේ ප්‍රෙස්ටීජ් ඔටෝමෝබයිල් පුද්ගලික සමාගමයි.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් හා අනුග්‍රාහකත්ව පිරිනැමීම පසුගියදා වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැති අතර එම මාධ්‍ය හමුවට වෙ‍ළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රෝහාන් ඉද්දමල්ගොඩ, වෙ‍ළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ උප සභාපති හා තරග කමිටු සභාපති රෝහණ දිසානායක, එම සංගමයේ ප්‍රධාන ලේකම් නලීන් වික්‍රමසිංහ, තරග කමිටුවේ ලේකම් තරීන්ද්‍ර කළුපෙරුම, ප්‍රෙස්ටීජ් ඔටෝමෝබයිල් පුද්ගලික සමාගමේ අලෙවි අධ්‍යක්ෂ නිරංග පිරීස්, හුන්ඩායි ලංකා පුද්ගලික සමා‍ගමේ ව්‍යාපර සංවර්ධන අධ්‍යක්ෂ සුජීත් පිරීස් හා හුන්ඩායි ලංකා පුද්ගලික සමා‍ගමේ ප්‍රධාන අලෙවි කළමණාකාර ශෙහාන් ප්‍රනාන්දු යන මහත්වරු එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න