අත්-පා නැති දිරිය දරුවෝ උසස් පෙළ ලියා ජය ලබති | දිනමිණ

අත්-පා නැති දිරිය දරුවෝ උසස් පෙළ ලියා ජය ලබති

කළුතර මධ්‍යම සමූහ

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූයේ පසුගිය දාය. විභාගයට ඉදිරිපත් වූ අය අතරින් සමහරු සමත් වූ අතර තවත් සමහරු අසමත් වූහ.

අප මේ කීමට උත්සහ දරනුයේ එසේ සමත්වූ සුවිශේෂ දරුවන් දෙදෙනෙකු ගැනය.

ඒ කළුතර කටුකුරුන්ද 'මාක් ශ්‍රී' සරණ සේවා ආයතනයේ සෙවණ ලබන උපතින්ම දෙඅත් අහිමි දුලාංජලී ආරියතිලක සහ උපතින්ම දෙපා අහිමි චමීර ගයාශාන් ගැනය.

කුඩා කළ සිටම 'මාක් ශ්‍රී' සරණ සේවා ආයතනයේ හැදී වැඩුණු දුලාංජලීට හිමිව තිබුණේ ඇවිද යා නොහැකි කුඩා පා යුගලකි.

අත් දෙකම අහිමි ඇය අකුරු ලීවේ තම කුඩා පාදයට පෑනක් සිරකරගෙනය. කකුලෙන් ලියන ඇයගේ අකුරු අත්වලින් ලියන අකුරුවලටත් වඩා හැඩ විය.‍

කකුලෙන් උසස් පෙළ විභාගයට ලියූ දුලාංජලී මෙවර විභාගය සමත් වූයේ ඉතිහාසය හා ක්‍රිස්තු ධර්මය යන විෂයන්ට 'ඒ' සාමාර්ථ සහ ජනසන්නිවේදනය විෂයට 'බී' සාමාර්ථයක් ලබා ගනිමිනි.

දුලාංජලී තවත් බොහෝ දේට දක්ෂ දියණියකි. සෝමරත්න දිසානායක මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද 'සමනල තටු' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ලද්දේ දුලාංජලී ය.

දුලාංජලී පාසල් අධ්‍යාපනයට මෙන්ම පරිගණකය හා ඉංග්‍රීසි බස හැසිරවීමට ද මනා ලෙස දස්කම් දක්වන්නීය. උසස් පෙළ විභාගයේ අනිවාර්ය විෂයයක් වූ ඉංග්‍රීසි විෂය ඇය සමත් වූයේ 'ඒ' සාමාර්ථයක් ලබා ගනිමිනි.

මාක් ශ්‍රී සරණ සේවා ආයතනයේ සෙවණ ලබන චමීර ගයාශාන් මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සමත් වූයේ ක්‍රිස්තු ධර්මය විෂයට 'බී' සාමාර්ථයක් සහ සිංහල හා ජනසන්නිවේදන යන විෂයන්ට 'සී' සාමාර්ථ ලබා ගනිමිනි.

ඔහු වයලීන වාදනයට ද දක්ෂයෙකි. ඔහු පරිගණක නිර්මාණකරණය පිළිබඳ පාඨමාලාවක් හදාරමින් සිටී.

ඊට අමතරව උපතින්ම අත්පා අහිමි දරු දැරියන් රැසක් 'මාක් ශ්‍රී' සරණ සේවා ආයතනයේ සෙවණ ලබමින් සිටිති.

පැතුම් මාරියෝ, තිරන්දි තෙසායා, චන්න මිහිරංග හා තවත් එවැනි දක්ෂ සොයුරු සොයුරියන් සමඟ දුලාංජලීත්, චමීරත් කල්ගත කරති.

මාක් ශ්‍රී සරණ සේවා ආයතනයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත රීටා පෙරේරා මහත්මිය ද, හිටපු අධ්‍යක්ෂවරයා වූ ජූලියන් තිසේරා පියතුමා ද, වත්මන් අධ්‍යක්ෂවරයා වූ ලෝරන්ස් රාමනායක පියතුමා ද, සහාය අධ්‍යක්ෂවරයා වූ ප්‍රසන්න ක්‍රිස්ටෝපර් පියතුමා ද ඔවුන් ඉගෙනුම ලැබූ කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා හා ආචාර්ය මණ්ඩලය ද, වත්මන් නිවසේ පාලිකා රීටා අයිරාංගනී මහත්මිය ද දුලාංජලී සහ චමීර ආදරයෙන් සිහිපත් කරති.

නව අදහස දක්වන්න