කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට ජනපති කැපවීම අගය කළ යුතුයි | දිනමිණ

කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට ජනපති කැපවීම අගය කළ යුතුයි

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය

මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ විමර්ශන කොමිසන් සභා වාර්තාවේ අඩංගු නිර්දේශ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දක්වා ඇති කැපවීම සතුටට කාරණාවක් වන අතර, එම ක්‍රියාවලියේ අවධානයට ලක් කළ යුතු කාරණා කිහිපයක් පවතින බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය අවධාරණය කරයි.

2017 අගෝස්තු 10 වැනි දින අප ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇති පරිදි, පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු හා එවකට මුදල් ඇමැතිවරයා සම්බන්ධ අල්ලස් චෝදනා විමර්ශනය කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පියවර ගත යුතු බවට ජනාධිපති කොමිසන් සභාවේ නිර්දේශය TISL ආයතනය අනුමත කරයි.

එසේ වුවද අධිකරණ පද්ධතිය මග හරිමින් පාර්ලිමේන්තුවේ පනතක් මඟින් වංචාවට ලක්වූ බවට චෝදනා කර ඇති වත්කම්, නැවත පවරා ගත යුතු යැයි කොමිසන් සභාව කර ඇති යෝජනාව හා එම යෝජනාව ජනාධිපතිතුමා අනුමත කිරීම, අනතුරුදායක තත්ත්වයකට මග පාදන බව අප ආයතනයේ විශ්වාසයයි. එවැනි පියවරක්, 2011 වර්ෂයේ අනුමත වූ ආන්දෝලනාත්මක ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත සිහිකැඳවයි. නීතියේ ආධිපත්‍යය සුරැකීමට නම් මෙවැනි ක්ෂණික තීරණ ගැනීමෙන් වැළකී සිටිය යුතුයි.

මේ සම්බන්දධයෙන් අදහස් දැක් වූ TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂක අසෝක ඔබේසේකර මහතා මෙසේ පැවසුවේය." සියල්ලන්ට යුක්තිය ඉෂ්ට කිරීම සඳහා අධිකරණ පද්ධතියේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව රහසක් නොවේ. මෙවැනි අවස්ථාවලදී පාර්ලිමේන්තු අණ පනත් තුළින් පැලැස්තර විසඳුම් ලබා ගැනීම වැරදි පූර්වාදර්ශයක් සපයන අතර මෙයින් වැඩි දුරටත් පෙනී යන්නේ රජයන් තමන් මුහුණ දෙන නීතිමය ප්‍රශ්න සඳහා වේගවත් විසඳුම් ලබා ගැනීමට නොපැකිලෙන අතර සාමාන්‍ය ජනයා නීතියේ පිහිට පැතිමේදී මුහුණ දෙන දීර්ඝ ප්‍රමාදයන් විසඳීමට උනන්දු නොවන බවයි. එමෙන්ම පවතින නීති යටතේ චූදිතයින් නීතිය හමුවට පමුණු විය හැකිය. මේ සම්බන්දධයෙන් වේගයෙන් ක්‍රියාත්මක වීම නීතිපති දෙපාර්තමේන්තුවේ හා අල්ලස් කොමිසමේ වගකීමකි."

ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය පරිදි ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලය පත් කිරීම සඳහා වූ යෝජනාව යහපත් පියවරක් වන අතර, ජනාධිපති කොමිසන් සභාවේ විමර්ශනය පුරාම හෙළිදරව් වූ රාජ්‍ය නිලධාරීන්ගේ හා මහජන නියෝජිතයින්ගේ බැඳියාවන් අතර ඝට්ටනද සැලකිල්ලට ගත යුතුය. නිලධාරීන්ගේ හා මහජන නියෝජිතයින්ගේ බැඳියාවන් ලේඛන ගත කිරීම තුළින් හා එම ලේඛන මහජන අධීක්ෂණයට විවෘත කිරීමෙන්, වගවීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කළ හැකි බව අප ආයතනය අවධාරණය කරයි.

අල්ලස් කොමිසමේ කාර්යක්ෂමතාවය දියුණු කිරීමටද ජනාධිපතිතුමා යෝජනා කර ඇති අතර, මේ සම්බන්ධයෙන් දැනටමත් විශාල වැඩ කොටසක් ඉටු කළ යුතුව ඇති බව සඳහන් කළ යුතුයි. රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය මහජන අධීක්ෂණයට යටත් කිරීම සඳහා හා අල්ලස් කොමිසමේ විමර්ශනයන් වේගවත් කිරීම සඳහා වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනතට සංශෝධන යෝජනා කරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභා පනත හා අල්ලස් පනතද පිළිගත් ප්‍රමිතීන්වලට අනුකූලව සංශෝධනය කිරීමට දැනටමත් පියවර ගෙන ඇත. දැනට සම්පුර්ණ කර ඇති වැඩ කොටස පදනම් කොට අල්ලස් කොමිසම තවදුරටත් කාර්යයක්ෂම කිරීමට පියවර ගත යුතුයි.

තවද, බැඳුම්කර විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට හා මහ ජනතාවට විවෘත කිරීමටද ජනාධිපතිතුමා කැපවී ඇත. ජනවාරි මස 10 වැනි දින පාර්ලිමේන්තුවේ හදිසි සැසිවාරයේදී උද්ගත වූ නොසන්සුන් තත්ත්වයෙන් මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමේ අවශ්‍යතාවය පිළිඹිඹු වන්නේය. දුෂණයට විරුද්ධව සටන් කිරීමට ආණ්ඩුව දක්වා ඇති උනන්දුව හා රජයේ හැකියාව පිළිබඳව මහජන විශ්වාසය පවත්වාගෙන යාමට හා ප්‍රවර්ධනය කිරීමට නම්, එම වාර්තාව කඩිනමින් ප්‍රසිද්ධියට පත් කළ යුතුය. මෙම ක්‍රියා මාර්ග සීඝ්‍රයෙන් ක්‍රියාවට නැංවීමට අපොහොසත් වීම තුළින් ජනතාව ආණ්ඩුවට ලබා දී ඇති දූෂණ විරෝධී වරම කෙරෙහි මහජන විශ්වාසය තවදුරටත් හීන වී යන බව නොඅනුමානයි. 

නව අදහස දක්වන්න