අගමැතිතුමා හොරෙක් කියලා ඔප්පු වුණොත් ඇමැතිකමින් ඉවත් වෙනවා | දිනමිණ

අගමැතිතුමා හොරෙක් කියලා ඔප්පු වුණොත් ඇමැතිකමින් ඉවත් වෙනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු නොකළ සංවර්ධන ව්‍යාපෘති තමාගේ පාලන කාලයේ දි සිදු කළ ඒවා බව පවසන බවත් රාජගිරියේ ගුවන් පාලම, මොරගහකන්ද ව්‍යාපෘතිය තම පාලන සමයේ සැලසුම් කළ ඒ බව ප්‍රකාශ කරන්නේ යැයි අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

ඇමැතිවරිය මේ බව සඳහන් කෙළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රත්නපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරිය මෙසේද සඳහන් කලාය.

පසුගිය දා කෙනෙක් ටී.වී. එකේ කියනවා මම දැක්කා අවුරුදු 20කට හිරේ යවන්න නීති හදනවා කියලා. මට ඒ මොලේ තරම තේරෙනවා. මොකද නීති විද්‍යාලයේ කාණුවක්වත් හෝදන්න සුදුසුකම් නැති අයට මේවා තේරෙන්නේ නෑ. මම අධිකරණ ඇමැති වෙලා ඉන්නේ නිකන් නෙවෙයි. නීතීඥවරියක් හැටියටයි. අපි නීතිය මොකක්ද කියලා දන්නවා. අධිකරණය මොන තරම් ශ්‍රේෂ්ඨද කියන දේ දන්නවා. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියලා 3ක් ලෝක සම්මත කරලා තියෙන්නේ මොකටද කියලා අපි හොඳට දන්නවා. මොනම හේතුවක් නිසාවත් මේ රටේ ඉන්න විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරන්න අපි සුදානම් නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එයාගේ යටතේ අධිකරණය තියා ගෙන ෆයිල් හංගන්න, ඕනෑ ෆයිල් එළියට ගන්න කරපු වැඩ අපි කරන්න සූදානම් නෑ. නාලන්ද එල්ලාවල ඝාතනය වු වෙලාවේ කරදර කරපු මිනිස්සුන්ගේ විස්තර හංගලා තිබිලා දැන් තමයි බොහොම අමාරුවෙන් එළියට ගන්නේ. ඒ යුගය දැන් නෑ. අපිට බලයට වඩා ලොකුයි මේ රටේ පැවැත්ම. සමහරු අහනවා අවුරුදු 2ක් ගියා මොකද කෙළේ කියලා. මුන් අවුරුදු 10ක් රට කෑවා.

අපි ළඟ බෝඩි දේශපාලනය නෑ. අපේ ළඟ සංදර්ශන නෑ. මිනිස්සුන්ගේ සල්ලිවලින් සංදර්ශනය කරන්නේ නෑ. අපිට අවශ්‍ය වෙන්නේ ආණ්ඩුවක් හැටියට මිනිස්සුන්ට කරන්නඋදව් කරන්නයි. ඒක තමයි වැදගත්කම. නැතුව බෝඩි ගහනවා නම් ජේ.ආර්.ජයවර්ධන මහත්තයගේ කාලේ ඉඳන් කර ගෙන ආපු ඒවා හැටියට අද ගහන්න බෝඞ් එකක් නෑ. පොඩි එවුන් මෙහේ ඉදන් ඒ වගේ කතා කියන කොට මහා රජා කියනවා අපි තමයි රාජගිරියේ ගුවන් පාලම හැදුවේ කියලා. මම තමයි මොරගහ කන්ද සැලසුම් කෙළේ කියලා. ඔහොම කිව්වා මහවැලිය හදන කොටත්. අපි දන්නවා ජනාධිපතිතුමා මොනතරම් අසහනයෙන් ද හිටියේ කියලා .තමන්ගේ ගමට බොන්න වතුර ටික, ගොවිතැන් කරන්න වතුර ටික දුනේ නෑ.‍අපේ අයියාත් මහවැලි ඇමැති වෙලා හිටියා. අවසන් ව්‍යාපෘතිය කරන්න දුන්නේම නෑ. මහ රජා නෙවෙයි ඕවා සැලසුම් කෙළේ ජේ.ආර් ජයවර්ධන මහත්තයා.කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ මේවා සැලසුම් කෙළේ. එයා රාජගිරියේ ගුවන් පාලම ගැන දැන ගෙන හිටියද දන්නේත් නෑ. ඔය මනුස්සයා හදපු දේවල්වලින් ගාන හම්බ කරගන්න නම් දැනගෙන හිටියා. දැන් අපේ අගැමැතිතුමා හොරෙක් කරන්න උත්සහ කරනවා. අපේ අගමැතිතුමා හොරෙක් කියලා මොනම අධිකරණයක හරි ඔප්පු වුණොත් මේ තලතා අතුකෝරළ ඇමැතිකම් දෙක තියලා මන්ත්‍රිකමත් තියලා ගෙදර යනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පෙනි පෙනී කරපු නාස්තිය අපි දැක්කා. එයා කරපු හොරකම, එයා කරපු දූෂිත ක්‍රියා.

ජනාධිපතිතුමාට යම් කිසි පැමිණිල්ලක් ආවම ඒ පැමිණිල්ල විභාග කරන්න ජනාධිපති කොමිසන් සභාවක් පිහිටුවීමේ අයිතිය ව්‍යවස්ථාදායකයෙන් ලබාදීලා තියෙනවා. ඒකෙන් අගමැතිතුමා හොරකම් කළාද, වෙනකෙනෙක් හොරකම් කළාද කියලා අද බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා.

නව අදහස දක්වන්න