විපක්ෂයේ මන්ත්‍රීවරුන් හරියට හිම වලස්සු වගෙයි | දිනමිණ

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හරියට හිම වලස්සු වගෙයි

බලය තිබියදී ජනතා ප්‍රශ්න පිළිබඳව කතා නොකර ශීත කාලයට නිදන හිම වලසා මෙන් සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශිශිරතරණයෙන් ඉනික්බිතිව එකවරම අවදි වී ජනතා ප්‍රශ්න ගැන කතා කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කර සිටියේ වැලිමඩ ප්‍රදේශයේ කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින්ය. වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ එවැනි විපක්ෂ මන්ත්‍රීවරුන් රකින තපස් බක තපස් බවය. මාළුන් රවටා මරා දැමූ කොකා තපස් රැකි ආකාරයට හැසිරෙන මොවුන්ගෙන් ජනතාව ගැලවී සිටිය යුතු බව ද පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අද නව ව්‍යවස්ථාව ගැන චෝදනා කරන මහින්ද පිලේ අය වගේම මෛත්‍රී පිලේ අයත් 94 දී දැනට පවතින ව්‍යවස්ථාව බහුබූත ව්‍යවස්ථාවක් බව කියමින් එය වීසි කරන බවට පුරසාරම් දෙඩූ බවය. නමුත් යුද්ධය නිමා කිරීමට විධායක ජනාධිපති බලය සහිත එම ව්‍යවස්ථාව හේතු වූ බවත්,එම ව්‍යවස්ථාව ඉරා දමන බව කියමින් බලයට පැමිණි කිසිවෙකු එය අතහැර නොදැමූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නමුත් එම ව්‍යවස්ථාවට වඩා රට වෙනුවෙන් ඉදිරියට යා යුතු බැවින් එදා එජාපය මුල් වී නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට යාමේදී මාදුළුවාවේ සෝභිත මහ නා හිමියන්ගේ ආශිර්වාදය ඇතිව ජනතාවට නව ව්‍යවස්ථාවක් ගැන පොරෙන්දු වූ බව පෙන්වා දුන්නේය. ඒ අනුව එම ව්‍යවස්ථාව සැකසෙන්නේ පළමුවරට සියලු පක්ෂවල අදහස් රැගෙන බවත්, එහි රට බෙදීමේ අරමුණක් නැති බවත් එක්සත් ජාතික පක්ෂ නායකයන් මේ රටේ ස්වෛරීභාවය වෙනුවෙන් දිවි පුදමින් යුධ ජයග්‍රහණය සඳහා පසුබිම නිර්මාණය කළ අය බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

පසුගිය මැතිවරණ සමයේ තමන් ජාත්‍යන්තර අධිකරණයෙන් විදුලි පුටුව මත හිඳුවාවි යැයි කියමින් ඡන්දය ඉල්ලූ මහින්ද රාජපක්ෂව මේ රජය යටතේ ඔවුන් බිඳ දැමූ ජාත්‍යන්තර සහයෝගීතාව නැවත රටට දිනා දෙමින් මහින්ද රාජපක්ෂ විදුලි පුටුවෙන් ගලවා ගැනීමට හැකි වූයේද එක්සත් ජාතික පක්ෂය මූලික රජයට බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. 2015 දී නව රජය පැමිණි පසුව කළ මුල්ම රාජකාරිය වූයේ රාජපක්ෂ මහතා විදුලි පුටුවෙන් බේරා ගැනීමට අවශ්‍යය පසුබිම හැදීමත්,ජාත්‍යන්තර යුඳ අදිකරණය ඉදිරියේ අපේ රණ විරුවන්ට එල්ල වී තිබූ චෝදනාවලින් ඔවුන් ගලවා ගැනීමත් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්නා දුන්නේය.

අද සමහරු විපක්ෂයේ ඉදගෙන හොරු අල්ලන්නෙ නැද්ද යැයි අසන බවත් යහපාලන රජය සරත් ෆොන්සේකා හිරේට ගෙන ගිය ආකාරයටවත්,ශිරාණි බණ්ඩාරනායක පැය 24 න් අගවිනිසුරු පදවියෙන් ඉවත දැමීමටත් කටයුතු කළ ආකාරයෙන් ක්‍රියා නොකරන බව පෙන්වා දුන් කබීර් හෂීම් අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් විභාගයට ඇති ලිපිගොනු 94 ක් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉදිරියේදී වෙනත් අධිකරණ තුනක් පිහිටුවන බවත්, ඒවා මඟින් එම මෙම චෝදනා විභාගයට ගෙන අවසන් කරන බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.

බැඳුම්කර කොමිසමේ එල්ලෙන්නට බලා සිටි අයට අද එම වාර්තාව අනුව මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිව සිටි 2008 සීට 2014 දක්වා වැඩිම බැඳුම්කර වංචාවන් සිඳු වී තිබෙන බව කොමිසම් වාර්තාව මඟින් පෙන්වා දීම නිසා දැඩි අපහසුවකට මුහුණ දීමට සිදු වී තිබෙන බව පැවසීය.ඒ තත්ත්වය සැලකිල්ලට ගෙන එජාපය කතානායකවරයාගෙන් බැදුම්කර සම්බන්ධ විවාදයක් ඉල්ලා සිටින බවත්,ජනාධිපතිතුමාට නියම හොරු අල්ලාගන්න ඒ සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් එජාපය ඉල්ලා සිටින බවත් මෙහිදී අමාත්‍යවරයා පැහැදිළි කළේය.

නව අදහස දක්වන්න