අධිකරණ තීන්දුවට හිස නමනවා | දිනමිණ

අධිකරණ තීන්දුවට හිස නමනවා

අද වුණත් තනතුර අතහරින්න සූදානම්

ජනාධිපති ධුර කාලය දැරීමට තමාට ඇති කාලසීමාව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ඕනෑම තීන්දුවකට හිස නමා පිළිගැනීමට සූදානම් බවත්, ඒ පිළිබඳ කිසිවෙකුත් කලබල විය යුතු නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන්, අකුරැස්ස මැතිවරණ කොට්ඨාසයෙන්, ප්‍රාදේශීය සභාවලට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ අකුරැස්ස මහජන රැලිය ඊයේ (12) පැවැති අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.

අද අපේ රටේ මාධ්‍යත්, ඇතැම් දේශපාලන පක්ෂවල අයත්, මාගේ ජනාධිපති ධුර කාලය දැරීමේ වසර ගණන ගැන කතාබහ කරනවා. මගේ ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ අභිමතය විමසීමේ තීන්දුවක් ගත්තා. ඒ සමඟ තමයි බොහෝ දෙනෙක් මේ ගැන කතා කරන්න පටන්ගෙන තිබෙන්නේ.

මම ඉතාම පැහැදිලිව එක් කරුණක් කියන්න කැමැතියි. ඒ තමයි මාගේ ධුර කාලය හෙට නොවෙයි, අද වුණත් අතහැර දමා ඉවත් වී යෑමට මා සූදානම් බවයි. මම මේ තනතුරුවල පැළවී සිටීමට පැමිණි කෙනෙක් නොවෙයි.

නමුත්! මට මේ රටත්, රටේ ජනතාවගේ ජීවිත වඩාත් සෞභාග්‍යමත් කිරීමේ, පිරිසුදු, උතුම් මානව සංවර්ධනයක්, දියුණු රටක් බිහිකිරීමේ අවංක උවමනාවක්, අවශ්‍යතාවයක්, සිහිනයක් තිබෙනවා. ඒ සිහිනය කවර බාධක ආවත් මම ජය ගන්නවා.

මට අවුරුදු 35ක සිහියක් තිබුණා. ඒ සිහිනය මම මෑතකදී ජය ගත්තා. ඒ තමයි මොරගහකන්ද, කළුගඟ ජලාශයේ මහා ජලකඳ ගොවි ජනතාවට නිදහස් කරදීම. ඒ දේ ඉටු කළේ අනේකවිධ බාධක මැදයි.

අපේ රටේ ජනතාවට වඩාත් දියුණු, උසස් සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික නිදහසක් ලබාදීමට නොහැකි වී තිබෙන්නේ දූෂිත දේශපාලනඥයින් නිසායි. තමන්ගේ සාක්කු පුරවාගන්න, දූෂණය, අල්ලස ගන්න පෞද්ගලික න්‍යාය පත්‍රවලට වැඩ කරන දූෂිත දේශපාලනඥයින් නිසායි. මේ රටේ ජනතාව ඒ ගැන දැන් හොඳටම කරුණු දන්නවා.

අපි වඩාත් පිරිසුදු පාලනයක්, ගමෙන් ආරම්භ කරමු. පළාත් සභාවෙන්, රටට ගෙන එමු. ඒ සඳහා පෙළ ගැසෙමු ජනාධිපතිවරයා ඉල්ලීමක් කෙළේය. මම කවදාකවත් අධිකරණයේ කටයුතුවලට ටෙලිෆොන් කෝල් දී වගඋත්තරකරුවන් බේරා ගන්න, නිදහස් කරන්න කියන්නේ නැහැ. ඒවාගේම අධිකරණයට නිදහස, නීතියේ ආධිපත්‍ය මේ අවුරුදු තුනේ පාලනය තුළ ස්ථාපිත කළා යැයි ද ජනාධිපතිතුමා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජය ඉතාම පැහැදිලියි. අපි අපේ රට ලෝකයේ දියුණු ප්‍රබුද්ධ රාජ්‍යයක් බවට පත්කරමු යැයි ද ජනාධිපතිතුමා කීය.

ජනරැළිය අමතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක, විද්‍යා හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, මාතර දිස්ත්‍රික් ශ්‍රී. ල.නි.ප නායක හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාත් ක්‍රීඩා ඇමැති මනෝජ් සිරිසේන, හිටපු මහ ඇමැති එච්. ජී. සිරිසේන යන මහත්වරු කතා කළහ.

නව අදහස දක්වන්න