වෙල්ගම අසනීපෙන්: නඩුව කල් යයි | දිනමිණ

වෙල්ගම අසනීපෙන්: නඩුව කල් යයි

සිරන්ජනි කුමාරි

ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලයේ උප සභාපතිධුරයක් නොමැතිව තිබිය දී උප සභාපතිවරයෙකු පත් කර ආණ්ඩුවට පාඩු කළේයැයි කියන අල්ලස් චෝදනාව යටතේ හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා එරෙහි නඩුව ලබන පෙබරවාරි 23 යළි කැඳවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තනුජා කුලතුංග මහත්මිය ඊයේ (12) නියම කළාය. ‍පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා අසනිප තත්ත්වයේ පසුවන බවට වෛද්‍ය වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් කරුණු සලකා මහෙස්ත්‍රාත්වරිය නඩු විභාගය මෙසේ කල් දැමිණ.

සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය වෙත යොමු කරන ලද ප්‍රතිශෝධන අයදුමේ විභාගය ලබන මස 29 වන දින පැවැත්විමට නියමිත බවත් එහි තිරණය අනුව මෙම නඩුව සම්බන්ධ තිරණයක් ගත යුතු බවට අධිකරණයට සැල වු කරුණු ද ‍මහෙස්ත්‍රාත්වරිය මෙම අවස්ථාවේ සලකා බැලිණ.

වර්ෂ 2010 ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි ශාන්ත කුමාර ආනන්ද වෙල්ගම මහතා ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ උප සභාපතිධුරයක් නොමැතිව තිබිය දී 2010/6/23 වන දින MT /08/139/DB දරණ 2005 අංක 27 ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ පනතේ දෙවන වගන්තිය උල්ලංඝණය කරමින් මුදල් අවභාවිතයක් සිදු කරමින් එල්.ඒ .විමලරත්න මහතා උප සභාපතිධුරයට පත් කරමින් ආණ්ඩුවට පාඩු කළ බව පවසමින් 1994 අංක 20 සංශෝධිත අල්ලස් පනතේ 70 වගන්ති ප්‍රකාරව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත.

එල් ‍ඒ විමලරත්න යන අයට වැටුප් වශයෙන් 3,242,381,66 ක මුදලක් ගෙවිම ඇතුළු චෝදනා හතරක් හා නඩු භාණ්ඩ 8ක් සාක්කිකරුවන් 10ක් නම් කරමින් අල්ලස් කොමිසම වර්ෂ 2016/1/31 වන දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කරනු ලැබිණ. සිද්ධියට අදාලව නඩුව ඊයේ යළි කැඳවු අතර විත්තිකරු අධිකරණය හමුවේ පෙනි නොසිටි අතර සංශෝධිත පැමිණිල්ල ගොනු කිරිම සදහා නඩුව යළි පෙබරවාරි 23 වන දින කැඳවිමට නියමිතය. 

නව අදහස දක්වන්න