රෝහල් පරිගණකගත කිරීම එන වසර අග අවසන් කරනවා | දිනමිණ

රෝහල් පරිගණකගත කිරීම එන වසර අග අවසන් කරනවා

සන්ධ්‍යා කරුණාරත්න

රට පුරා සියලුම රෝහල් 2019 වසර වන විට පරිගණකගත කර අවසන් කිරීමේ නව වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රෝහල් පරිගණකගත කරන විට පැරණි ක්‍රමවලින් ඉවත් වී ඇඟිලි සලකුණු යන්ත්‍ර වැනි නවීන ක්‍රමවේදියන් භාවිතා කළ යුතු බවත් ඇඟිලි සලකුණු යන්ත්‍රයට එරෙහිව ජයවර්ධනපුර රෝහලේ ක්‍රියාත්මක කරන හෙද වැඩ වර්ජනය පදනමක් නොමැති එකක් බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් භූමියේ ස්ථාපිත කළ නව හෙද පීඨය සඳහා සිසුන් බඳවා ගැනීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා ඒ බව ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේද පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ උසස් හෙද සේවාවක් ස්ථාපිත කිරීම සදහා නව හෙද පීඨය ආරම්භ කළා. හෙද සේවාව කිර්තිමත් සේවාවක්. උසස් හෙද සේවාවක් ආරම්භ කරමින් හෙද සේවාව වෘත්තීය මට්ටමට ගෙන ඒම සදහා යෝජනා ඉදිරිපත් කළේ පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය සමයේයි. ඒ පිළිබදව සැලසුම් සකස් කරමින් සිටිය දී එම රජය විසුරුවා හැරුණා. හෙද සේවාවට වෘත්තීයමය තත්ත්වයක් ගෙනඒමට සුදානම් වූ අවස්ථාවේ දී වෛද්‍යවරුන් තර්ක කළා. නමුත් මම කරුණු පැහැදිලි කර දුන්නා. අපි ලෝක තත්ත්වයන්ට එකතු වෙමින් ඉදිරියට යා යුතුයි. වෛද්‍ය අධ්‍යාපනයේ මෙන්ම සෞඛ්‍ය සේවාවේ ද අද ඓතිහාසික දිනයක්. අපි ජාත්‍යන්තර මට්ටමින් සිටිය යුතුයි. උසස් අධ්‍යාපනය ලබාදීමේ දී ඇතැම් දේශපාලන පක්ෂ විවේචන එල්ල කරනවා. පෙළපාලි යනවා. විරෝධතා පවත්වනවා. පෙත්සම් ගහනවා. විපක්ෂයේ ඉන්න විට එවැනි ක්‍රියාකාරකම් කරන්න හරිම පහසුයි. නමුත් බලයේ ඉන්න විට ජනතාවට සෙත සැලසිය යුතුයි. කයිවාරු ගහන එවැනි දේශපාලන පක්ෂ වලට බලය ලබා දුන්නාම අසාර්ථක වෙනවා. යථාර්ථවාදීව කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාවෙත් ඉන්නේ එවැනි විවේචකයන්.

ඇගිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කරන විට එයට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. නවීන තාක්ෂණය භාවිත නොකර පොත්වලම අත්සන් කිරීමට තමයි ඇතැම් අය සුදානම් වන්නේ. එය පැරණි ක්‍රමයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය ඊ-හෙල්ත් ව්‍යාපෘතිය යටතේ රෝහල් 50 ක් මේ වනවිට පරිගණක ගත කර තිබෙනවා. පරිගණක දැනුම ඉතාම අත්‍යාවශ්‍යයි. ඉදිරියේ දී තවත් රෝහල් රැසක් පරිගණක ගත කරමින් 2019 වසර වන විට සියලුම රෝහල් පරිගණක ගත කිරීමට මම සැලසුම් කර තිබෙනවා. රෝගී ජනතාවට ඊ-හෙල්ත් කාඩ් පතක් ද හදුන්වා දෙනවා. එම නිසා දැනුම අපට අත්‍යාවශ්‍යයි.

පරිගණක දැනුම සහ නවීන තාක්ෂණය භාවිත කරමින් ඉදිරියට යා යුතුයි. එවැනි ආකල්පමය වෙනසක් ඇති නොවන නිසා තමයි අපි පිටුපසින් සිටින්නේ. ජාතිය, ආගම බේරාගන්න හදනවා. කථා කර කර ඉන්නවා. ලෝකයෙන්ම උතුම් රට ශ්‍රී ලංකාව කිය කියා ඉන්නවා. මෙය වෙනස් විය යුතුයි. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයටත් විරුද්ධ වෙනවා. නමුත් ලෝකයේ රටවල් රැසක මේ වනවිට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ව්‍යාප්ත වී තිබෙනවා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක, නව හෙද පීඨයේ පීඨාධිපති ආචාර්ය දේවක වීරසිංහ, දකුණු කොරියාවේ ඉන්ජෙ විශ්ව විද්‍යාලයේ අචාර්යවරුන්, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහදලියනගේ මහත්ම මහත්මීහු සහභාගි වූහ. 

නව අදහස දක්වන්න