ජනපති මෛත්‍රී යටතේ ශ්‍රීලනිපය තවත් ශක්තිමත් වෙනවා | දිනමිණ

ජනපති මෛත්‍රී යටතේ ශ්‍රීලනිපය තවත් ශක්තිමත් වෙනවා

බලයේ සිටින රජයේ මැති ඇමති වරුන්ට, රාජ්‍ය නිළධාරීන්ට එරෙහිව දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසමක් පත්කොට මුළු ලෝකයටම ආදර්ශයක් ලබා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිපතිතුමා බවත් දූෂණ වංචා වලින් තොරවූ යහපත් පාලනයක් ක්‍රියාත්මක කරමින් ජනාධිපතිතුමා ගෙනයන මෙම වැඩපිළිවෙල මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරන බවත් දොම්පෙ මැතිවරණ කොට්ඨාශයේ මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වී සිටින අපේක්ෂකයන් දැනුවත් කිරීම හා කෑරගල පරකඩමුල්ල පක්ෂ කාර්යාලය විවෘත කිරීම නිමිත්තෙන් පැවති ජනහමුවකට සහභාගි වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.

දොම්පෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි ගුණරත්න මහතාගේ සංවිධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ශුභ මොහොතින් පොල්තෙල් පහන දල්වා පරකඩමුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කළ අතර එයට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, උපාලි ගුණරත්න මහතා යන මහත්වරු ඇතුළු ප්‍රාදේශීය සභා අපේක්ෂක මහත්වරු රැසක් සහභාගි වූහ.

එහිදී කතා කල ලසන්ත අලගියවන්න මහතා,

‘පක්ෂයේ නව නායකත්වය යටතේ අප සියලුම දෙනාට වැඩ කරන්න සිදුවෙනවා. ඉකුත් ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එවකට පක්ෂ සභාපතිතුමා දිනවීමට අපි ක්‍රියා කළා. නමුත් වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි. ඒ නිසා අපි දැන් ඒ මහතා සමග වැඩ කරනවා. අපි ඉන්නේ පක්ෂය සමගයි. වත්මන් සභාපතිතුමා හෙට පක්ෂය හැරගියොත් ඊළඟට පත්වන පක්ෂ සභාපතිතුමා සමගින් පක්ෂයේ සිටිනවා. අපි හැමවිටම උත්සාහ කලේ පක්ෂය සමගි කරන්නයි. නමුත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිිපතිතුමා සමග සිටින පිරිසක් එයට බාධා කළා‘.

‘මෙවර පළාත් පාලන මැතිවරණයට ඉතා සරල වැඩ පිළිවෙලක් තමයි ක්‍රියාත්මක වන්නේ.කණ්ඩායම විශාලයි. පක්ෂයේ කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වෙනවා. හැම දෙයකින්ම කෙරෙන්නේ පක්ෂය ශක්තිමත් වීමයි. විරුද්ධ කල්ලිවාදීන්ට අනාගතයක් නැහැ. නායකයෙකු, ලේකම්වරයෙකු නිශ්චිත ලෙස නැති පක්ෂයකට වැඩ පිළිවෙලක් ඇත්තේ නැහැ. රට පිළිගත් දැවැන්ත පුද්ගලයන් ජනාාධිපතිතුමා සමග දිනපතා එකතු වෙනවා. පොදුජන පෙරමුණ අපේක්ෂකයින් 12 දෙනෙකු එතුමා සමග එකතු වුණා. නිදහස ලබා වසර 70ක් ගතවුවත් රට දියුණු වී නැහැ. එයට හේතුව දේශපාලඥයින්ගේ වංචා දූෂණ ක්‍රියාවලියයි. වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රට කිසියම් ස්ථාවරත්වයකට පත්ව තිබෙනවා. වංචාවට දූෂණයට එරෙහිව සිටින කණ්ඩායම හා වංචාවට දූෂණයට අනුබල දෙන කණ්ඩායමයි අද සිටින්නේ.පවුල් වාදයෙන් තොරව රටක් වශයෙන් සිතා ක්‍රියා කරන නායකත්වයක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙනවා.බැඳුම්කර වංචා සෙවීමේ කොමිසමේ නිර්දේශ ගණනාවක් නිකුත්කර තිබෙනවා. ඉදිරියේදී තවත් බොහෝ ක්‍රියා මාර්ග ගනු ඇති. බලපෑමකින් තොරව කොමිසමේ නියෝජිතයින්ට ඉදිරියේදී පාර්ලිමේන්තුවටත් යෝජනා ඉදිිරිපත් කිරීමට නියමිතයි.‘ 

ජී.එස්.තැලිගම-කිරිඳිවැල සමූහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...