ශ්‍රී ලාංකික පවුල් 7,200ක් ඉන්දියාවේ පුරවැසිභාවය ඉල්ලයි | දිනමිණ

ශ්‍රී ලාංකික පවුල් 7,200ක් ඉන්දියාවේ පුරවැසිභාවය ඉල්ලයි

මහින්ද අලුත්ගෙදර

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ‍වෙ‍සෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුල් 7,200 ක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ පුරවැසිකම ලබාදෙන මෙන් තමිල්නාඩු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ති‍බේ.

යුද සමයේ දී ඔවුන් ජීවත් වූ ගම්මාන හා ඉඩම් වෙනත් පිරිස් අල්ලාගෙන තිබීම ‍හේතු‍වෙන් ඔවුන්ට ජීවත්වීමට ස්ථානයක් නොමැති වීම නිසා ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි බවට ‍පෙන්වා‍ ‍දෙමින් ‍මෙ‍ලෙස පුරවැසිකම ඉල්ලා ති‍බෙන බව වාර්තා ‍වෙයි.

‍මේ අතර තමන්ට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ පුරවැසිකම ලබාදෙන මෙන් තමිල්නාඩු ප්‍රන්ත ප්‍රධාන ඇමැති ඕ.පනීර්සෙල්වම් මහතා වෙත ඉදිරිපත් කර ඇති කරුණුවල සඳහන් කොට ඇත්තේ තමන්ගේ දරුවන් තමිල්නාඩු ප්‍රන්තයේ විශ්ව විද්‍යාලවල හා ඩිප්ලෝමා ලබාදෙන ආයතනවලින් අධ්‍යාපනය හදාරා සිටින බැවින් ආපසු ශ්‍රී ලංකාවට ගොස් ඊට ගැලපෙන අන්දමේ රැකියාවන් ලබාගැනීම දුෂ්කර කාර්යක් බවයි.

එමෙන්ම දැනට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ගෙන් විශාල පිරිසක් ඉන්දීය ධීවරයින් සමඟ ධීවර කර්මාන්තයේ සහ විවිධ කර්මාන්ත ශාලාවල සේවය කරන බවද ඔවුන් සඳහන් කොට තිබේ.

තමිල්නාඩු ප්‍රන්ත ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම් මහතාගෙන් කළ ඉල්ලීමට ඔහු පිළිතුරු වශයෙන් ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දීය මධ්‍යම රජය සමඟ සාකච්ඡා කොට මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබාදෙන බවයි. 

නව අදහස දක්වන්න