මොබයිල් ෆෝන්වල හිරවුණ ළමයි | දිනමිණ

මොබයිල් ෆෝන්වල හිරවුණ ළමයි

ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතයේදී අපගේ මොළය නැවත නැවතත් එය ලබාගෙන තාවකාලිකව මොළයේ සන්තෝෂය ඇති කර ගැනීමට ක්‍රියා කරයි. ස්මාට්ෆෝන්වලට ඇති ඇබ්බැහිය ගැන පර්යේෂණ කරන විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන විටත් ස්මාට්ෆෝනය භාවිත කරන විටත් මොළයේ එකම ප්‍රදේශය සක්‍රිය වන බවය. එනම් ස්මාට්ෆෝනයෙන් කරනු ලබන තාවකාලික සතුට ලබන ක්‍රියාකාරකම තුළින් ඩොපමීන් නැමැති රසායනය උත්පාදනය වේ. ගංජා වැනි මත්ද්‍රව්‍යවලදී සිදු වන්නේද මොළයේ එවැනි උත්තේජනයක් ඇති වීමය.

දරුවන්ට ස්මාට්ෆෝන් ලබා දීම

සෙල්ලම් කිරීම, අන්තර්ජාලය පිරික්සීම වැනි බොහෝ රාජකාරි තිබෙන හෙයින් ස්මාට් ෆෝනයක් දරුවන්ට ලබා දීම දරුවන් නිහඩව තබා ගැනීමේ එක් උපායක් ලෙස ඇතැම් මවුපියන් සලකති. එහෙත් ඒ තුළින් දරුවාගේ සමාජීය කුසලතාවලට දැඩි බලපෑමක් එල්ල වේ. වැඩිහිටි සහ දරුවන් අතර මානසික සංකූලතා වැඩි වීමට ස්මාට් ෆෝන් භාවිතය හේතු වන බැව් වර්තමානයේ සොයාගෙන තිබේ.

ස්මාට්ෆෝන් හරහා අන්තර්ජාලයට පිවිසෙන දරුවා උචිත දේ පමණක් තෝරා බේරාගෙන කියවන්නේ හෝ රස විඳින්නේ නැත. ක්‍රමිකව දරුවන් වර්ධනය කරමින් යන පාසල් අධ්‍යාපනයට පරිබාහිරව විශාල ලෝකයට ක්ෂණිකව විවර කරන අන්තර්ජාලය කෙළින්ම භාවිතයට ඉඩ දීම දරුවාගේ මනස වර්ධනය ඇති කරන්නේ අයහපත් බලපෑමකි.

තාක්ෂණික ලෝකයේ ස්මාට්ෆෝන් ලැප්ටොප්වලින් දරුවන් පූර්ණ වශයෙන් ඈත් කර තැබීම කළ නොහැකිය. එහෙත් දිනකට පැයකට වඩා අඩුවෙන් ඒවා භාවිතයෙන් විනෝද වීමට සීමා කිරීම කළ යුතුය. නැතහොත් ස්මාට්ෆෝන් තුළින් දරුවාගේ අධ්‍යාපන කටයුතු ද අඩපණ වීමේ අවධානමක් තිබේ.

අවධානම හදුනාගත් තාක්ෂණික දැවැන්තයෝ

සමාජ මාධ්‍ය විසින් මිනිසුන්ට වන අහිතකර බලපෑම ගැන ෆේස්බුක් අඩවියේ ඉහළ කළමනාකාරීත්වයේ ද අවධානය යොමු වී තිබේ. ෆේස්බුක් හි මූලික ව්‍යුහයේ වැරදි ඇති බවත් ඒවා නිවැරදි කරගෙන මිනිසුන්ට වඩාත් පලදායි ලෙස ෆේස්බුක් දියුණු කළ යුතු බවටත් ෆේස්බුක් හි විධායක තනතුරක් දරන චමත් පලිහපිටිය විසින් ද මෑතකදී පෙරළිකාර අදහසක් ඉදිරිපත් කර තිබුණි. ඇතැම් විට සමාජ ජාලාවල ඇබ්බැහියට එදිරිව බටහිර සමාජය දක්වන ප්‍රතිවිරෝධය හමුවේ ෆේස්බුක්ද සිය ව්‍යෘපාරික අදහස් වෙනස් කළා වන්නට හැකිය.

ඇපල් සමාගමද දරුවන්ට ඇපල් ඩිවයිස් වන අයිෆෝන් සහ අයිපෑඩ්වලින් වන බලපෑම ගැන නව මානයකින් සිතා පර්යේෂණ වැඩි දියුණු කිරීමට අදහස් කරගෙන සිටී. එනම් ස්මාට් ෆෝනය උදව් කරන සීමාවේ සිට ජීවිතයට බාධාවක් වෙන මට්ටමට යෑම අවම කර ගැනීමට ඇපල් සමාගමටද අවශ්‍ය වී තිබේ. මේ ඇබ්බැහිය තාවකාලිකව තාක්ෂණික ලෝකයේ සමාගම්වලට ලාබයක් ඇති කළත් එතුළින් එන සමාජ ප්‍රතිරෝධය පසුකාලීනව ස්මාට්ෆෝන් සහ සෝෂල් මිඩියා කෙරහි අයහපත් ලෙස බලපාවි යැයි තාක්ෂණික දැවැන්තයෝ බිය වී ඇති සෙයකි.

වෙනස් කරන දරුවන්ගේ ක්‍රියාකාරකම්

ඇමරිකාව වැනි දියුණු රටවල කරන ලද අලුත්ම පර්යේෂණවලින් දරුවන් දිනකට පැය 4.5කට වඩා වැඩි කලක් සාමාන්‍යයෙන් ස්මාට් ෆෝන් හෝ ටැබ් කෙරෙහි දෑස් දල්වාගෙන සිටින බැව් සොයාගෙන ඇත. පෙර මෙන් සමාජයේ අනෙක් දරුවන් සමඟ එකතුව ක්‍රීඩා කිරීම, විවිධ ක්‍රියාකාරකම්වලට යොමු වීම වැනි දේට මැලි වන නූතන ස්මාට්ෆෝන් දරුන් කුඩා දේ පවා සෝෂල් මීඩියා හරහා බෙදා ගනිමින් මනෝ මූලික වූ ලෝකයක ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වන බව දියුණු රටවල කෙරෙන පර්යේෂණවලින් සනාථ වී තිබේ.

“මට ෆෝන් එක නැතුව ජීවත් වෙන්නත් අමාරුයි වගේ. ඒක නැති වුණාම නිරුවතින් ඉන්නවා වගේ දැනෙනවා" යැයි එක් අමෙරිකානු දරුවෙක් අදහස් දක්වා තිබුණි. එවැනි දරුවන් සිටින්නේ අමෙරිකාවේ පමණක්ම නොවේ. පාසලින් නිවසට ආ වෙලේ පටන් වැඩිහිටියන්ගේ හෝ වැඩිහිටියන් සෙල්ලම් බඩුවක් ලෙස අරන් දුන් ස්මාට් ෆෝනයේම එල්බීගෙන සිටින දරුවන් අප රටද දැන දැන් මතුවෙමින් පවතී.

ගලවා ගැනීම

ස්මාට් ෆෝනයෙන් දරුවන් ගලවා ගැනීම ගැන ඉහළ මට්ටමින් එනම් ස්මාට් ෆෝන් නිපදවන අය ගූගල් ෆේස්බුක් වැනි සයිබරයේ දැවැන්තයින් අතර ද කතිකාවත් ඇති වෙමින් පවතී. මවු කුසේ සිටින කාලයේ පටන් දරුවාට ස්මාට් ෆෝනය යනු අලුත් දෙයක් නොවේ. නූතනයේ වැඩිහිටි වී සිටින බොහෝ අයට ජීවිතයේ එක් කලක දී ස්මාට් ෆෝනය අන්තර්ජාලය හමු වුවත් වසර 2000දී ලොකුමහත් වන දරුවන්ට ස්මාට් ෆෝන් අන්තර්ජාල යනු කුඩා කල පටන් දකින බොහෝ සරල දේ වී ඇත. ඒවායින් සම්පූර්ණයෙන් ගලවා ගැනීම කළ නොහැකි වුවත් දරුවන් සම්බන්ධයෙන් නම් ටැබ් ස්මාට්ෆෝන් සහ ටෙක් උපාංග කෙරහි සීමා කළ යුතුමය. නැතහොත් අනාගතයේ විවිධ මානසික සහ කායික අඩුපාඩුවලින් යුත් දරුවෙකු බිහි වීමට දැඩි ස්මාට් ෆෝන් ඇබ්බැහිය හේතු වනු ඇත.

අමිල චතුරංග 


නව අදහස දක්වන්න

Or log in with...