ගැඹුරු මුහුදේ තැනෙන ලොකුම විදුලි බලාගාරය | දිනමිණ

ගැඹුරු මුහුදේ තැනෙන ලොකුම විදුලි බලාගාරය

මංජුලා විජයරත්න

මිලියන 80කට අධික ජනගහනයකට බල ශක්තිය සැපයිය හැකි ලොව විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සංවිධානය කෙරේ. බලාගාරය ඉදි කරන්නට සැලසුම් කර තිබෙන්නේ ගැඹුරු මුහුදෙහිය. එහි ඉදිකිරීම් කටයුතු, නෙදර්ලන්ත විද්වතුන්ගේ මැදිහත් වීමෙන් සිදුවන බව වාර්තා වේ. බලාගාරයේ ඉදිකිරීම්වලට සමගාමීව වර්ග කිලෝමීටර හයක පමණ වපසරියකින් යුත් කෘත්‍රිම දූපතක් මුහුදෙහි ගොඩනඟන්නටත් සැලසුම් කර තිබේ. වරායක්, ගුවන්තොටු පොළක්, මාර්ග පද්ධතියක්, කෘත්‍රිම විලක් සහ ගොඩනැඟිලි කිහිපයක් දූපතෙහි ඉදිවනු ඇත. මේ සියලු ඉදිකිරීම් 2027 වසර වන විට අවසන් කර විදුලිය ලබා දීම ආරම්භ කෙරෙන බවත් වාර්තා වේ.

එකී සුළං විදුලි බලාගාරය ඉදිකෙරෙන්නේ උතුරු මුහුද මුල් කරගෙනය. හරියටම කිවහොත් ඉදිකිරීම සිදු වන්නේ එක්සත් රාජධානියේ නැඟෙනහිර යෝර්ක්ෂියර්හි සිට සැතපුම් 78ක් පමණ මුහුද දෙසට වන්නටයි. එම ප්‍රදේශය ආශ්‍රිත මුහුදෙහි සුළං තත්ත්වය පිළිබඳ විධිමත් අධ්‍යනයක් පළමුවෙන්ම සිදු කර තිබේ. අධ්‍යනයෙන් පසුව ව්‍යාපෘතිය සඳහා එකී ප්‍රදේශය සුදුසු යැයි තීරණය වූ හෙයින් සැලසුම් ආරම්භ වූ බව ව්‍යාපෘතිය භාර කළමනාකරුවකු වන රොබ් වැන් ඩර් හේග් මාධ්‍යයට පවසා තිබිණ. 2030 , 2050 වන විට සුළං ධාරා වෙනස් වී යා හැකි බැවින් ගොඩබිම ඉදිකෙරෙන සුළං විදුලි බලාගාර මිනිසාට විශාල අභියෝගයක් වනු ඇති බව ඔහු වැඩි දුරටත් පෙන්වා දී තිබුණේය. ඒ නිසා ගැඹුරු මුහුද ආශ්‍රිතව සුළං විදුලි බලාගාර ඉදිකිරීමට අවධානය යොමු විය යුතු බව ඔහුගේ අදහසයි. ඒ අනුව ගැඹුරු මුහුදෙහි ඉදිකරන්නට සැලසුම් කෙරුණු මේ බලාගාරයට අයත් සුළං කුළුණු, කෘත්‍රිම දූපත වටා ස්ථාපනය කරනු ලැබේ. සුළං බලාගාරයේ කටයුතු පාලනය කෙරෙන මධ්‍යස්ථානය ඉදිකෙරෙන්නේ එම දූපතෙහි බව ඩේලි මේල් වෙබ් අඩවිය සඳහන් කරයි.

ලොව විශාලතම සුළං විදුලි බලාගාරයෙන් නිෂ්පාදනය කෙරෙන විදුලිය මුල් අදියරේදී එක්සත් රාජධානියටත්, නෙදර්ලන්තයටත් ලබා දීමට කටයුතු සංවිධානය කෙරේ. බලාගාරයේ ඉදිකිරීම මුළුමනින්ම අවසන් වූ විට බෙල්ජියම, නෝර්වේ, ජර්මනිය සහ ඩෙන්මාර්කය යන රටවලටත් විදුලිය ලබා දීමට හැකි වන බව ව්‍යාපෘතියට සම්බන්ධ ඉංජිනේරුවෝ පවසති. ගැඹුරු මුහුදෙහි ඉදිකෙරෙන බලාගාරයක නිෂ්පාදනය කෙරෙන විදුලිය ගොඩබිමට ලබා ගත හැකි වන්නේ මුහුදු පතුලෙහි එලන රැහැන් ආධාරයෙනි. ඒ සඳහා විශාල වියදමක් දරන්නට සිදු වේ. එසේ වුවත් කෘත්‍රිම දූපත ආශ්‍රිතව ඉඳි කෙරෙන සුළං බලාගාරයෙන් නිෂ්පාදනය කෙරෙන විදුලිය අඩු මුදලකට ලබා දිය හැකි වනු ඇතැයි කියා අනුමාන කෙරේ. ඒ අනෙකක් නිසා නොව, ගැඹුරු මුහුදෙහි මේ වන විට ඉදිකර ඇති සුළං බලාගාර තුළ භාවිතයට ගැනෙන සම්ප්‍රදායික තාක්ෂණික ක්‍රම බැහැර කර නවීන තාක්ෂණික ක්‍රමය භාවිතයට ගැනෙන්නට නියමිත නිසාය.

බලාගාරය මුළුමනින්ම ගොඩනඟා අවසන් වූ විට එය ගිගා වොට් 30 ධාරිතාවයකින් යුත් බලාගාරයක් වනු ඇත. එතරම් විදුලිය ධාරිතාවක් උත්පාදනය කරන ගැඹුරු මුහුදෙහි ස්ථාපිත සුළං බලාගාර යුරෝපයෙහි අද මේ වන විට දක්නට නැත. ගැඹුරු මුහුදෙහි ස්ථාපිත විශාලතම සුළං බලාගාරය ලෙස දැනට සැලකෙන්නේ එක්සත් රාජධානියේ පිහිටි “ලන්ඩන් ඇරේ” බලාගාරයයි. එහි ධාරිතාව මෙගා වොට් 630ක් පමණ වේ. වර්ග සැතපුම් 630ක සරියක ජීවත් වන පවුල් සඳහා විදුලිය ලබා දීමට එය සෑහේ. ගොඩ බිම ඉදිකර ඇති විශාලතම සුළං විදුලි බලාගාරය ලෙස සැලකෙන්නේ චීනයේ ගන්සු සුළං විදුලි බලාගාරයයි. 2012 වන විට මේ බලාගාරයේ ධාරිතාව මෙගා වොට් 6000ක් හෙවත් ගිගා වොට් 6ක් පමණ විණ. 2020 වන විට ගන්සු බලාගාරයේ ධාරිතාව මෙගා වොට් 20,000ක් හෙවත් ගිගා වොට් 20ක් බවට පත් කිරීම ඉලක්කය බව එහි බලධාරීහු පවසති. මේ අනුව බලන විට උතුරු මුහුද ආශ්‍රිතව ඉදි කිරීමට යෝජිත සුළං බලාගාරය ඒ සියලු බලාගාර අභිබවා යන තරමේ එකක් බව කිව හැකිය. එසේ වුවත් එහි ඉඳිකිරීම් කටයුතු සඳහා විශාල වියදමක් දරන්නට සිදුවන බව රහසක් නොවේ. දැනට ගණන් බලා ඇති අන්දමට ඇමෙරිකා ඩොලර් බිලියන 1.75කට අධික මුදලක් ඊට වැය වනු ඇත.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සම්බන්ධයෙන් තර්ක විතර්ක ඉදිරිපත් කෙරෙන මෙවැනි සමයක පුනර්ජනනී බලශක්ති ප්‍රභව වෙත යොමු වීම ඉතා වැදගත් බව යුරෝපා සංගමය විටින් විට පෙන්වා දී තිබේ. පොසිල ඉන්ධන දහනයෙන් බලශක්තිය ජනනය කිරීමට නැඹුරු වීම බරපතල පාරිසරික ගැටලු ඇති කරන බව ඒ සංගමය වැඩි දුරටත් පවසයි. එවැනි පාරිසරික ගැටලු තදබල ලෙසම මතු වන්නේ පොසිල ඉන්ධන දහනයෙන් ඇති වන කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට විමෝචනය කිරීමේදීය. වායු ගෝලයට එකතුවන කාබන් ඩයොක්සයිඩ් ගෝලීය උෂ්ණත්වය ඉහළ නංවන්නට හේතු වේ. මේ නිසා සූර්යය තාපය, සුළඟ වැනි ස්වභාවික ප්‍රභව ආධාරයෙන් බලශක්තිය ජනනය කර ගැනීම දැන් අනිවාර්යය වී ඇත. කෙසේ වුවත් තවමත් මිනිසා එවැනි ප්‍රභව ප්‍රශස්ත මට්ටමෙන් භාවිතයට ගන්නා බවක් පෙනෙන්නට නැති බව විද්‍යාඥයෝ පවසති.

විද්‍යාඥයන් ඒ බව සඳහන් කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පුනර්ජනනී බලශක්ති ප්‍රභව භාවිතය ගැන පෙන්වා දෙමිනි. ගැඹුරු මුහුදේ සුළං බලය ප්‍රයෝජනයට ගෙන බලාගාර තැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයට හොඳ ශක්‍යතාවක් ඇත. ගැඹුරු මුහුදේ සුළඟ ආධාරයෙන් ඇමෙරිකාව විදුලි බලය නිපදවන්නට සැරසෙන්නේ නම් වසරකට ගිගා වොට් 4,000ක පමණ බලයක් ජනනය කර ගත හැකි බව දැනට ගණන් බලා තිබේ. එය ඇමෙරිකාවට වසරකට අවශ්‍ය වන විදුලිය ධාරිතාවය මෙන් හතර ගුණයකට සමාන වේ. එසේ වුවත් ඇමෙරිකා එක්සත් ජනපදය කඩිනමින් ඊට යොමු වන බවක් දක්නට නැත.

Independent ඇසුරෙනි

නව අදහස දක්වන්න