පරමාණු | දිනමිණ

පරමාණු

දුෂ්මන්ත සිටියේ තමන්ගේ අලුත් වීරයා දෙසට ඔළුව නවාගෙන. එහෙන් මෙහෙන් ගැජට් කෑලි ඉලිප්පුණු අඩි හයක් හෝ හතක් හෝ උසැති බම්බුවක් වගේ තමා මේ වීරයා දිස් වුණේ. බැලු බැල්මට නම් රොබෝවක් වගෙයි. ඒත් මේක රොබෝවක් නෙවේ වැඩි දියුණු කරලා හදපු මයික්‍රොස්කෝපයක්. එහි දකුණු පස ඇති කුඩා යකඩ දොරටුවෙන් ඉවතට ඇදිය හැකි ලාච්චුවක් තියෙනවා. පරික්ෂා කිරීමට ඇති පටක සාම්පලය ඒ ලාච්චුව මත ඇති විශේෂ වීදුරු රඳවනයක් මත තියෙනවා. ඉන් පස්සේ ලාච්චුව ඇතුළට තල්ලු කර යකඩ දොරටුව වසනවා. දොරටුව ආසන්නයටම වෙන්න තියෙන ස්විචය දමා ආලෝකය ලබා දෙන ලාම්පුව දල්වනවා. ඒ ලාම්පුව පිටතට පේන්නේ නැහැ.

ඇස් දෙක ගාවම තියෙන්නේ අඟල් තුනක් හෝ හතරක් හෝ දිග කළු පැහැ යකඩ බම්බු දෙකක්. ඒ දෙකේ කෙළවර තියෙන්නේ කාච දෙකක්. කාච දෙකට ඇස් දෙක තියල ඇතුළට දමපු පටක සාම්පලයේ ක්ෂුද්‍ර විස්තර පරීක්ෂා කරතහැකි. ඒත් දුෂ්මන්ත ඒ පැරැණි ක්‍රමයට ආස වුණේ නෑ. පරීක්ෂා කිරීමට ඇති පටක සාම්පලයේ විස්තර සියල්ල මයික්‍රොස්කෝපයට ඉදිරියෙන් ඇති තිරයක් මතට ප්‍රක්ෂේපණය වන ක්‍රමයටයි ඔහු ආස වුණේ. එහෙත් දුෂ්මන්ත අන් මත ද ඉවසන බැවින් කාචවලට ඇස තබා පරීක්ෂා කිරීමේ ක්‍රමය ද මේ මයික්‍රොස්කෝපය නිර්මාණය කිරීමේ දී එකතු කළා .

'මම දන්නව උඹ මට උදව් කරනවා කියලා' අකිල දුෂ්මන්තගේ ඇඳෙන් වාඩි වෙන ගමන් කිව්වා.

'ඒත් මට සල්ලි වැදගත් නෑ ' දුෂ්මන්ත කීවේ මයික්‍රොස්කෝපය දිහා බලගෙනමයි.

'උඹට සල්ලි වැදගත් නෑ. ඒක මම දන්නවා. ඒක මම දන්නෙ පොඩි කාලෙ ඉඳන්මයි. උඹ දක්ෂයෙක්. උඹට ඕනේ ලෝකෙට දෙයක් දෙන්න. නිකම්ම දෙයක් නෙවෙයි. ලෝකේ වෙනස් කරන්න පුළුවන් දෙයක් දෙන්න. ඒක උඹ කවද හරිම කරනවා.'

මෙතෙක් වේලා පැවති අන්ධකාරය බිඳිමින් කාමරයේ විදුලි බල්බය දැල්වූ දුෂ්මන්ත අකිල දෙස එක එල්ලේ බලා සිටියා. අකිල ඇඳෙන් නැගිට ගොස් දුෂ්මන්ත ගේ උරහිස්වලින් අල්ලාගෙන ඔහුගේ මුහුණට එබුණා.

'කවදා හරි නෙවෙයි. උඹ දැනටමත් ඒක කරලා ඉවරයි. මේ වගේ දෙයක් මම කවදාවත් කොහෙදිවත් දැකල නෑ. උඹ දිනනවා බං. ඒක මට ෂුවර්. උඹ දිනනවා. උඹට සල්ලි ගහක්ම ලැබේවි.'

දුෂ්මන්ත අකිලගේ ග්‍රහණයෙන් මිදිල මයික්‍රොස්කෝපය දෙසට ගියා.

'මේක පිටින් බැලුවම නිකන්ම නිකන් මයික්‍රොස්කෝපයක්. මේකෙන් කරන්න පුළුවන් දේයි මට මේකෙන් කරන්න ඕන දේයි විතරයි වැදගත්කමක් තියෙන්නෙ.' දුෂ්මන්ත කිව්වා.

'මට ඕවා තේරෙන්නේ නෑ. මම උඹ තරම් ඉගෙනගෙනත් නෑ. මම දන්නේ මෙච්චරයි. මට සල්ලි ඕනේ. නැත්නම් උන් මාව මරයි. මාව බේරගනින්. උඹට විතරයි ඒක කරන්න පුළුවන්. මාව බේරගනින් '

අකිල දුෂ්මන්තව බදාගෙන වැලපෙන්න පටන් ගත්තා. ඒත් දුෂ්මන්ත ලේසියෙන් හැගීම්බර වෙන කෙනෙක් නොවෙයි. අකිලගේ දෑස්වලින් රූරා වැටෙන කඳුළු බිඳු දුෂ්මන්ත හැඳ සිටි කමිසයේ විවරය තුළින් පපුව දිගේ බේරෙන්න පටන් ගත්තා. පපුවේ වූ රෝම මත දැවටුණු ඒ කඳුළු, මාර්ගය අවහිර වීම නිසා රෝම මතම වියලුණා.

අකිල එක්වරම සිහිසුන් වුණා. කපා හෙළන කෙහෙල් කඳක් මෙන් අප්‍රාණික වූ ඔහුගේ දේහය බිම ඇද වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී දුෂ්මන්ත විසින් අල්ලා ගනු ලැබුවා.

'අකිල..අකිල..මොකද වුණේ ?'

දුෂ්මන්ත අකිලව වත්තන් කරගෙන ගොස් ඇඳ මත හාන්සි කෙරෙව්වා.

'අකිල..අකිල..' දුෂ්මන්ත අකිලගේ කම්මුල්වලට සෙමින් තට්ටු කරමින් කතා කළා.

'කලන්තේ දාන්න තරම් මොකක්ද බන් උඹට තියෙන ප්‍රශ්නේ.'

අකිල අමාරුවෙන් දෑස් හැරියා.

'මනුස්සයෙක් කලන්තේ දැම්මම වතුර උගුරක් දෙන්න දන්නේ නැති එකාට මිනිස්සු කලන්තෙ දාන්නෙ මොන වගේ ප්‍රශ්නවලටද කියල තේරෙනවද බන් '

අකිල ඇසුවේ අප්‍රසාදයෙන් සහ කේන්තියෙන්.

'කලන්තේ දාන හැම එකාටම වතුර දෙන්න හොඳ නැහැ බන්. දුෂ්මන්ත පැවසුවේ හැගීම් විරහිතවයි. අකිල එක්වරම නැඟිට ඇඳේ වාඩි වුණේ කිසිදු අපහසුවක් නොතිබුණු ගාණට.

'ඔව්. උඹ තමා ඔක්කොම දන්නේ. උඹට තමා ඔක්කොම තේරෙන්නේ. මයික්‍රොස්කෝප් මඟුලක් ගැන කොච්චර දැනගත්තත් මනුස්සකම මොකක්ද කියල උඹ දන්නෙ නෑ යකෝ. යාළුකම කියන්නෙ මොකක්ද කියල උඹට වැලි කැටයක් තරම්වත් තේරුමක් නෑ .'

'උඹ මිනිස්සුන්ට කෝටි ගාණක් ණයයි කියල මට මොකක් කරන්න කියලද කියන්නෙ. උඹ ඒවා ගත්තෙ උඹේ නාස්තිකාර ජීවිතේ අතෝරක් නැතුව පිස්සු නටන්න මිසක වැඩකට ඇති දේකට නෙවේ. ඒ ණය ගෙවන්න උඹම සල්ලි හොයා ගනින්. මම මගේ දක්ෂතාවය සල්ලිවලට පාවල දෙන්නෙ නෑ'

අකිලගේ මුහුණ රත් පැහැ වුණා. අත් දෙක වෙවුලන්නට පටන් ගත්තා. එක්වරම හිතට ආ ආවේගයට දුෂ්මන්ත වෙත අතුල් පහරක් එල්ල කරන්නට සූදානම් වුවත් ඔහු ඒ හැගීම වහා යටපත් කරගත්ත.

මයික්‍රොස්කෝපයේ දකුණු ඇස් කාචය බහාලු කළු පැහැ යකඩ බම්බුවේ අපරිණත ලෙස 'දුෂ්මන්ත' ලෙස තීන්ත හුරා තිබු සළකුණක් තිබුණා. එය දුටු අකිල තම දෑස් ඒ දෙසට ළංකර ඒ කුඩා කළ තමන් විසින්ම කෙටූවක්‌ යැයි ප්‍රත්‍යක්ෂ කොට ගත්ත.

'පර බල්ලා. උඹ පාහරයා. මේ මගේ අත් අකුරු. උඹට කොයින් ද මේ යකඩ කෑල්ල මේකට දාන්ඩ අයිතියක් ආවේ? මේක මගේ. දීපන් ඒක මට. දැන්ම දීපන්.'

'අකිල උඹට පිස්සු හැදිලද?' දුෂ්මන්ත ඇහුවේ වැඩි කලබලයක් නැතුවයි.

'ඔව්. මට පිස්සු තමා. ගලවල දීපන්. උඹට මාව බේරගන්ඩ මෙච්චර අවස්ථාව තිබිලත් උඹ ඒක කරන්නෙ නැත්නම් මගේ කිසිම දෙයක් මේකෙ තියෙන්ඩ බෑ.'

'මේක මළ වදයක් ඕයි.' දුෂ්මන්ත පළමු වතාවට උස් ස්වරයකින් කතා කළා.

'අන්න මරු .. උඹත් කෑ ගැහුවා ..'

කිසිවකට කලබල නොවන සුළු චරිතයකින් හෙබි දුෂ්මන්ත, කලබල වී කෑ ගැසීම ඔහුගේ ජීවිත කාලය තුළ සිදු වේ යයි නොසිතිය හැකි තරම්. තමන් විසින් ඔහුව ඒ විරල සංසිද්ධියට ඇද හෙළනු ලැබීම ගැන අකිලට ඇති වුණේ ආඩම්බරයක්. ලෙහෙසියෙන් හැගීම්බර නොවන්නකු හැගීම්බර වූ විට තත්ත්වය බරපතල බව අකිල අත්දැකීමෙන්ම දනී. එවැනි ප්‍රායෝගික අත්දැකීම්වලින් අකිල දුෂ්මන්තට වඩා ඉදිරියෙන් සිටී. මනුෂ්‍යයකු හැසිරෙන්නේ කෙසේද, ඔහුව තමන් වෙතට නම්මවාගන්නේ කෙසේද යන්න ඔහු ඉවෙන් මෙන් දනී.

'හරි. දැන් මට කියපන් උඹට මොනවද මගෙන් ඕනේ.'

අකිල දුෂ්මන්තගේ මයික්‍රොස්කෝප් වීරයා දෙසට සෙමින් සෙමින් ගියා. ඔහුගේ මුහුණේ තිබුණේ කපටි සිනහවක්. ඔහු මයික්‍රොස්කෝපය මෘදුව පිරිමැද්ද.

'මට ඕනේ සල්ලි විතරයි. උඹ උඹේ මේ අසහාය නිර්මාණය ඒ මිනිස්සුන්ට පෙන්නලා තරගයෙන් දින්නට පස්සෙ ලැබෙන සල්ලි මට දීපන්. උඹ කිව්වනේ උඹට සල්ලි වැඩක් නෑ කියලා. ඒ නිසා උඹට තෑග්ග විදියට ලැබෙන සල්ලි එපා කියන්නෙ නැතුව අරගෙන මට දීපන්.'

'මේක අසහාය නිර්මාණයක් නෙවෙයි. මේ වගේ ඒවා ලෝකේ තව තියෙනවා කියල උඹ දැකල නෑ . ඒ නිසයි උඹ මේකට අසහාය නිර්මාණයක් කියල කියන්නෙ.'

'එහෙනම් මොන ලබ්බකටද යකෝ ලොකු ලොකු පොරවල් ඇවිත් ඉංග්‍රීසියෙන් සට පට ගාන්නෙ? මේක අත ගගා ඉඳල යන්නෙ? උඹව බදා ගන්නෙ? සුබ පතන්නේ? උඹමයි කිවේ උන් විද්‍යාඥයෝ කියලා. මොන හත්තිලව්වක් ද එතකොට ඒක. උන්ට ද පිස්සු උඹට ද පිස්සු නැත්නම් මට ද?

'උඹට පිස්සුත් නෑ. ඒ අයට පිස්සුත් නෑ.'

'එහෙනම් මොකක්ද උඹ කියන හතර බීරි කතාව? '

'උඹ දැක්කේ ඒ මිනිස්සු මේක අත ගාන එක විතරයි. අත ගෑවේ මොකටද කියල දැක්කෙ නෑ. උඹ පරමාණුව ගැන දන්නෙ නෑ. ඒකයි ප්‍රශ්නේ.

දුෂ්මන්ත කිවූ දේ ඇසුණු අකිල මහා හයියෙන් සිනහ වෙන්නට පටන් ගත්තා. සිනහව කොච්චර ප්‍රබල වුණාද කිව්වොත් තමන්ගේ බඩ ගැලවිලා විසිවෙලා යන්නට තරමේ වේදනාවක් අකිලට දැනුණා. ඔහු දිග හුස්මක් ගෙන නැවතත් සිනහ වෙන්නට පටන් ගත්තා. බිම පෙරලුණා. කාමරයේ බිම පුරා එහෙට මෙහෙට පෙරළි පෙරළි සිනහ වෙන්නට වුණා.

අවඥාව සිනහවෙන් ලාබ කොට පළ කර හමාර වූ තැන අකිල තම සිනහව මඳින් මඳ නවතා ඇස් දෙක පියාගෙන හති දමන්නට පටන් ගත්තා. පියාගත් ඇහි පියෙහි වූ රුධිරයෙන් පෝෂිත පටක රත් පැහැ ගැන්වී ඇස් බෝල තුළට දර්ශණය වුණා. ඒ කාමරයේ දැල්වුණු විදුලි බුබුලේ ආලෝකයෙන්. එහෙත් එක්වරම ඒ ඇහි පිය රත් පැහැය ද කළු වී අඳුරු වූයේ දුෂ්මන්ත විසින් කාමරයේ විදුලි බල්බය නිවා දමනු ලැබූ නිසයි. එක්වරම ඇහි පිය අඳුරු වූයේ ඇයි දැයි යන අනපේක්‍ෂිත සිතුවිල්ලකින් මනස පුරවා ගත් අකිල දෑස් හැර බැලුවා .

මුළු කාමරය පුරාම තිබ්බෙ එකම කළුවරක්. දුෂ්මන්තවත් මයික්‍රොස්කෝපයවත් කාමරයේ තිබූ වෙනත් කිසිවකුත් වෙන් කර හඳුනාගත නොහැකි තරමේ ඝන කළුවරක් මුළු කාමරයම වෙලා ගෙන තිබ්බා.

'මොකද්ද වුණේ? දුෂ්මන්ත කෝ උඹ? ' අකිල ඇසුවේ මුළු ලෝකයම තමා තනිකර දමා අතුරුදන් වූවාක් මෙන් හැඟවෙන දැඩි භීතියකින්.

මතු සම්බන්ධයි...

ඉසුරු අංජුල පෙරේරා


නව අදහස දක්වන්න

Or log in with...