බියුටි ඇප් සහ සිහින ලෝක | දිනමිණ

බියුටි ඇප් සහ සිහින ලෝක

ඉස්සර කාලෙ දැන උගතුන් තරුණ පිරිමින්ට උපදෙස් දෙනවා කවදාවත් උත්සව සැණකෙළි, සැදෑ සාදවල දකින ගැහැනු ළමුන් එක්ක හාද වෙන්න එපා කියලා. මොකද්ද මේකට හේතුව? මේ පණ්ඩිතයෝ කියන විදියට මේ සැණකෙළි සාදවලට එන ගැහැනු ළමයි විවිධ ආලේපන ගල්වාගෙන, දිදුලන ඇදුම් ආයිත්තම් ඇදගෙන, ඉන්නවාට වඩා බොහෝම ලස්සන සහ ආකර්ශණීය විදියට පෙනී සිටිනවාලු. ඒ වාගෙම ඒ සාදවල තිබෙන බඹන අනග ස්වරූප නිසා මේ තරුණියන්ව තරුණයින්ට පේන්නෙ තව තවත් බොහෝම ආකර්ශණීය විදියටලු. ඒ නිසා දවාලක හොදට මූණකට ලස්සන බලලා මිසක මේ තරුණියන් එක්ක හාද වෙන්න එපා කියලා තමයි ඔවදන් දීලා තියෙන්නෙ.

අද කාලෙ වෙද්දි නම් මේ ඔවදන යල් පැනලා.දැන් කාලෙ ගෑනු ළමයි පිරිමි, ළමයි දෙපාර්ශ්වේටම දෙන්න තියෙන්නෙ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් තියෙන පොටෝ බලාලා නම් කවදාවත් වචනයක් දෙන්න එපා කියලා තමයි.

මේ මෑතක ඕන්න අපේ සූකිරි කියලා දැරිවියක් අලුතෙන් මූණු පොතේ ගිණුමක් හදාගෙන බොහෝම උනන්දුවෙන් එයාගෙ පරණ ඉස්කෝලෙ යාළුවො එයාගෙ යහළු ලැයිස්තුවට එකහු කරගන්නවා. ඔන්න ඔය අතරේ එයාට මිතුරු ඉල්ලීමක් ඇවිල්ලා. තනියම කියෝ කියෝ මෙයා බලනවා කවුද මේ මිතුරු ඉල්ලීම එවලා තියෙන්නෙ කියලා.

"හෑ, කවුද මේ.ආ...මේ නම නම් හුරුයි, ඒත් මෙහෙම මූණක් නෙමෙයිනෙ එයාට තිබුණෙ. කෝ බලමු ඉස්කෝලෙ.ආ...අපේ ඉස්කෝලෙ තමයි.මේ මගෙ යාළුවොත් ඉන්නෙ. ඒත් මේ ළමයගෙ මූණ මෙහෙම නෙමෙයිනෙ ඒ කාලෙ."

සූකිරිගෙ අපූරු ඒකපාත්‍ර භාෂණයට කන දාගෙන හිටපු එයාගෙ මිතුරිය ඔන්න කිට්ටු වෙනවා හෙමිහිට පරිගණක තිරය දිහාවට. "ඒ කවුරු ගැනද අනේ කියන්නෙ ඔයා ඔය තනියම කියෝ කියෝ?"

සූකිරි දැන් බොහෝම උනන්දුවෙන් ‍ෙෆාටෝ එකත් නමත් එයාගෙ මිතුරියට පෙන්නනවා.

"ආ මේ එයා තමයි අනේ..." එයා එහෙම කිව්වට සූකිරිට තාම විශ්වාසයක් නෑ.

"එහෙම වෙන්නෙ කොහොමද....මේ ළමයා කට්ට කළුයි නෙව ඒ කාලෙ. කොහොමද මෙච්චරම සුදු වුණේ.... හා?"

සූකිරිගේ මිතුරිය හිකිහිකි ගා සිනාසෙයි. "අයියෝ ඔය ෆොටෝ එක ෆොටෝ ඇප් එකකින් හදලා ඇති මෙලහකටත්."

සූකිරිගේ ප්‍රශ්නය අඩු හෝ වැඩි වශයෙන් කාට කාටත් අද කාලේ මූණ දෙන්න සිදුවීම ඒ තරම හොද වර්ධනයක් කියා දකින්නට අමාරුය. ෆිල්ටර්, එඩිට්, ඇඩ්වාන්ස් පොටෝ එඩිටින් ඇප් ආදී එකී මෙකී තාක්ෂණික ක්‍රමවේද නිසා අපි රියැලිටියෙන් දුරස් වීමත් පුද්ගල මානසිකත්ව වෙනස් වීමත්, ආතතිය, මානසික අවපීඩනය ආදී නොයෙක් ගැටලු ඇති වීමත් යහපත් තත්ත්වයක් ලෙස දකින්නට බැහැ. ෆොටෝ එකක් මූණු පොතේ පෙනුමට දැමීමේ වරදක් නැතත් අපි නිරන්තරයෙන්ම මේ මවාපෑම්වලට අනුගත වීම සුදුසු නෑ. ඒක තමන්ගෙ ස්වයං අභිමානයට සහ පෞරුෂයට හානි කරන්නත් සාමාන්‍ය සමාජ ඇසුර වෙනුවට අන්තර්ජාලයේ පමණක් වැඩි වැඩියෙන් ගැවසෙන්නටත් හේතුවක් වෙන්න පුළුවන්.

ඒ වගේම රියලිටියෙන් බොහෝ දුරස් වුණු දේ සමඟ මේ මවාගත් සුරංගනා ලෝක දිහා අනිත් කොනේ ඉදන් බලාගෙන ඉන්න පිරිසටත් මෙහි විවිධ බලපෑම් තිබෙනවා. අනේ මම මේ වගේ ලස්සන නෑ, මම මේ වගේ සුදු නෑ, මට මේ වගේ සුඛෝපභෝගී ජීවිතයක් නෑ කියලා සමහර කෙනෙක් මානසික කලකිරීම්වලට ලක් වෙන්න තිබෙන ඉඩකඩ බොහොමයි. මේ කැමරා කාච සහ ෆොටෝ ඇප් ලෝකය තුළ අතරමං වෙලා තමන් පිළිබඳ අවතක්සේරුවක් ඇති කර ගැනීම හරිම ඛේදනීය තත්ත්වයක්.

ඒ වගේම අපි නොසලකා හරින පැත්තක් තමයි මේ ෆොටෝ එඩිට් කිරීම හා සම්බන්ධ වෙළෙඳ ප්‍රචාරණය. වෙළෙඳ ප්‍රචාරණ කටයුතුවලදී ඡායාරූප පරිචාරණය (Photo Manipulation) මඟින් මිනිස් රූප තිබෙනවාට වඩා බොහෝම ආකර්ශණීය සහ කඩවසම් කිරීමෙන් ඒවා දෝෂ රහිත පරිසමාප්තයන් වශයෙන් ඉදිරිපත් කෙරෙනවා. පොඩි උදාහරණයක් ගත්තොත් ඔය අපේ රටේ ඉන්දියාවෙ සුරූපී නළු-නිළියො ඉන්න සබන් ඇඩ් එකක් මතක් කරගත්තොත් මේ කියන දේ හොදට වැටහේවි. මේ විදියට සර්ව සම්පූර්ණ පුද්ගල රූප ඉතාම සෘණාත්මකව තමයි ග්‍රාහකයාට බලපාන්නෙ. තමන්ගේ සැබෑ ස්වභාවික ස්වරූපය මේ නිර්මිත රූප සමඟ සංසන්දනය කරලා සාමාන්‍ය ග්‍රාහකයා තමන් පිළිබඳ මහත් කනස්සල්ලට ලක් වෙනවා. ෆොටෝ එඩිඩ් ඇප්වලින් අපි සොයන්නෙත් මේ වෙළෙඳ ප්‍රචාරණයෙන් නිර්මිත රූපයට නෑකම් කියන්නයි.

මේ විදියට ඡායාරූප පරිචාරණය කිරීම අද ඊයෙක පටන් ගත්තු දෙයක් නොවෙන බවත් කියන්න ඕනෙ. 1860 ගණන්වලට මේ ඉතිහාසය දිව යනවා. ඒ අතරින් බොහෝම ප්‍රසිද්ධ අවස්ථාවක් තමයි ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ ඡායාරූපය. මේ ඡායාරූපයේ ලින්කන්ගේ මුහුණ සවි කරලා තියෙන්නෙ ගාම්භීර පෙනුමකින් ඇති ජෝන් කැල්හොන් කියන දේශපාලනඥයාගේ ශරීරයටයි. ඉස්සර මේ දේවල් දුලබ වුණත් අද කාලෙ මේ තාක්ෂණික ක්‍රමවේද සුලබ සහ පාවිච්චියට ඇති පහසුවත් එක්ක බලත්දී කාගෙ කාගෙ ඔළු කොයි කොයි ශරීරවලට හයි කරලා ඇත්ද කියලා හිතද්දී ඔළුවත් ටිකක් කැරකෙනවා වාගෙ දැනෙනවා.

අමාලි මල්ලවආරච්චි
@mllwrachch 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...