නෑයන් යාළු කරන සිසිර ඔලිම්පික් | දිනමිණ

නෑයන් යාළු කරන සිසිර ඔලිම්පික්

කවදත් සිය න්‍යෂ්ඨික බලපුළුවන්කාරකම්වලින් ලෝක බලවතාට අභියෝග කරන්නට සූදානමින් සිටින උතුරු කොරියාව මේ දිනවලදී සිය අවධානය වෙනත් අතකට යොමු කොට තිබේ. ඒ එළැඹෙන පෙබරවාරියේදී පැවැත්වීමට නියමිත සිසිර ඔලිම්පික් සැණකෙළිය වෙතයි. උතුරු කොරියාවට මෙය විශේෂිත වන්නේ එය සිය පරම සතුරු රාජ්‍යයක් වන දකුණු කොරියාවේ පැවැත්වීමට සියල්ල සූදානම්ව ඇති නිසයි. කෙතරම් විරසකකම් තිබුණද ඔලිම්පික් තේමාවේ නාමයෙන් ඒ සියල්ල පසෙකලා ඔලිම්පික් ධජය සෙවණේ තරග වදින්නට උතුරු කොරියාව සැදී පැහැදී සිටියි. දකුණු කොරියාවද, උතුරු කොරියානු ක්‍රීඩකයින් සිය භූමියේ තරග වදිනවා දකින්නට සිටින්නේ පෙරුම් පුරාගෙනය. දෙරටේම වන මේ උනන්දුව නිසාම පසුගිය 09දා ‘සාම ගම්මානය‘ නොහොත් ‘පැන්මුන්ජොම්හීදි‘ දෙරටේම නියෝජිතයින් ‘සිසිර ඔලිම්පික් සාකච්ඡාවකට‘ එක්වූහ. එය 2015 වසරෙන් පසු උතුරු හා දකුණු කොරියාව එබඳු ඉහළ මට්ටමේ සාකච්ඡාවකට එක්වූ පළමු අවස්ථාවයි. එපමණක්ද නොවේ. එතෙක් කලක් අක්‍රීයකොට තිබූ උතුරු හා දකුණු කොරියාව අතර වන අන්තර් දුරකථන සම්බන්ධතාව යළි ක්‍රියාත්මක කිරීමට පවා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පියවර ගත්තේය. හිතුවක්කාර දඩබ්බර ගතිපැවතුම් ඇති කිම් ජොන් අන්ගෙන් එවැනි ප්‍රතිචාරයක් ලැබීම ඉබ්බකුගෙන් පිහාටු ගැනීම ය. සිසිර ඔලිම්පික් සැණකෙළිය නිසා උතුරු හා දකුණු කොරියා පමණක් නොව ලොවටම වසන්තය උදා වෙයිද දැයි මේ නිසාවෙන් ජාත්‍යන්තරයට ඇත්තේ දැඩි කුතුහලයකි. මෙම සාකච්ඡා වටය ඊට පෙරදින යෙදුණු කිම් ජොන් අන්ගේ උපන්දිනයට ලැබුණු හොඳම තෑග්ගක් වූවාටද සැකයක් නැත.

මෙම වසරේ දකුණු කොරියාවේ ‘යොන්ග්චැන්ග්හී‘ පැවැත්වෙන සිසිර ඔලිම්පික් උළෙලට උතුරු කොරියාව සහභාගි කර ගැනීමට පිඹුරුපත් සැකසෙන්නේ පසුගිය වසරේදී ය. ඊට මුල්වී තිබෙන්නේද උතුරු කොරියාවම වීමද විශේෂත්වයකි. උතුරු කොරියාවේ ක්‍රීඩා උප ඇමති දකුණු කොරියාවේදී එරට ක්‍රීඩා භාර නියෝජිතයකු හමුව ඇත්තේ අතිශය රහසිගතව ය. ඉකුත් 09දා දෙරටේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති සිසිර ඔලිම්පික් සාකච්ඡා වටය එම රහස් සාකච්ඡාවල ප්‍රතිඵලයකි. උතුරු හා දකුණු කොරියාව අතර වන දේශසීමාවේ දැඩි රැකවල් මධ්‍යයේ පිහිටි හමුදා ක්‍රියාකාරීත්වයෙන් තොරවූ නිරවි කලාපයක් වන පැන්මුන්ජොම්හීදි එය පැවැත්විණි. වචන හරඹවලින් මෙන්ම යුද හරඹවලින්ද එකටෙක කරමින් එකිනෙකා හා ඇවිලී සිටින උතුරු කොරියාව හා දකුණු කොරියාව ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් මුල සිටම දැක්වූයේ පුදුමාකාර උනන්දුවකි. නව වසරක උදාව සමරමින් ජාතිය ඇමතූ කිම් ජොන් අන් කියා සිටියේ සිසිර ඔලිම්පික් උළෙලට උතුරු කොරියාවෙන් ක්‍රීඩකයින් යැවීමට ලැබෙන්නේ නම්, දෙරටේ එකමුතුකම සංකේතවත් කිරීමට එය හොඳම අවස්ථාවක් බවය. දකුණු කොරියානු ජනපති ‘මූන්- ජේ- ඉන්‘ දෙරටේම නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 09දා පැවති සාකච්ඡාවට උතුරු කොරියාවට ඇරයුම් කරන ලද්දේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි. උතුරු කොරියානු ක්‍රීඩකයින් දකුණු කොරියාවේදී ඔලිම්පික් උළෙලකට සහභාගී වීම, උතුර හා දකුණ වෙන්ව ගිය දා සිට දෙරට අතර පවත්නා විරසකය අවසන් කිරීමට හේතුවක් නොවනු ඇති නමුත් දෙරටම කියා තිබූ ආකාරයට මෙම සාමයේ සංකේතය එම එදිරිවාදිකමේ සැර බාල කිරීමට හේතුවක් වනු ඇත.

දෙරට අතර මිලින වූ සබඳතා යළි මල් ඵල ගැන්වීමට මෙම සාකච්ඡාද, ඔලිම්පික් සැණකෙළියද හේතුවක් වනු ඇති බවට දකුණු කොරියානු ජනපතිවරයා තුළද වන්නේ දැඩි විශ්වාසයකි.

2016 වසරේදී පැවැති රියෝ ඩී ජැනයිරෝ ඔලිම්පික් උළෙලේදී උතුරු හා දකුණු කොරියානු ජිම්නාසිටික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව ගත් සෙල්ෆී ඡායාරූපය එම අන්‍යෝන්‍ය අවබෝධය කියා පාන්නකි. තම රටවල රජයන් අතර දේශපාලනික වශයෙන් පවත්නා විරසකකම් පසෙකලා, අන්‍යෝන්‍ය ගෞරවය හා සුහදත්වයෙන් කුලු ගැන්වුණු ක්‍රීඩාකාමී හැඟීමත්, ඉන් ගම්‍ය විය. මෙම වසරේදී දකුණු කොරියාව බලායෑමට නියමිත හිම මත ලෙස්සායාමේ ඉසව්වෙන් තරග වදින උතුරු කොරියානු ක්‍රීඩකයින් දෙදෙනාට තවත් සම්භාව්‍ය අමුත්තියකද එක්වීමට නියමිතය. ඒ කිම් ජොන් අන්ගේ බාල සොයුරිය මෙන්ම ඔහුගේ සමීපතම උපදේශිකාවකද වන ‘කිම් යෝ ජොන්ය‘. අනාගතයේදී උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි න්‍යෂ්ඨික තර්ජනයකට එරෙහිව මිත්‍රත්වයේ දෑත් දිගු කිරීමට ඔවුන්ට හැකි වේද ? සිසිර ඔලිම්පික් සැණකෙළිය විසින් එය තීරණය කරනු ඇත.

රුක්ලන්ති පෙරේරා

නව අදහස දක්වන්න