විවාහයේ තෙවැනි ඉනිම | දිනමිණ

විවාහයේ තෙවැනි ඉනිම

චම්පිකා දීපානි රණසිංහ

ක්‍රි කට් ලෝකයේ අමරණීය තරුව ඉම්රාන් ඛාන් නම දැන් මුව මුව තුඩුදෙන්නේ දේශපාලනය සහ ආදරය නිසයි. ලකුණු තුන්දහසකට වඩා, කඩුලු තුන්සීයකට වඩා ගත් ලොව ක්‍රිකට් වීරයන් අටදෙනා අතරට එක්වී සිටින ඔහු මෙවර වාර්තාගත වන්නේ තෙවැනි වරටද විවාහවීමට යාම නිසාය.

බුෂ්රා මනේකා ඔහුගේ තෙවැනි බිරිය බවට පත්වීමට ඉඩ ඇත. හතළිහේ දශකයේ අවසන් භාගය පසුකරමින් සිටින බුෂ්රා මනේකා ආධ්‍යාත්මික රෝග සුවකරන පවුලකින් පැවත එන්නියකි.

ඉම්රාන් ඛාන් ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්හිදී ආධ්‍යාත්මික සුවය සඳහා පිහිට පතා ගියේ බුෂ්රා මනේකා ළඟටය. දැන් ඔහුට දිවි ඇති තුරු ඇය සමීපයෙන් තබාගෙන ඇයගේ පිහිටි පැතීමට ඇවැසි වී තිබේ. මනේකාව හමුවීමට පසුගිය දෙවසරේදීම ඉම්රාන් නිවෙසට ගොස් ඇත.

මනේකා කාවර් ෆරීඩ් සමඟ විවාහ වී දික්කසාද වූ තැනැත්තියකි. ඇයට පුතුන් තිදෙනෙක් සහ දියණිවරුන් දෙදෙනෙක් සිටිති. දැනට ජීවත්වන්නේ මවත් සමඟ ලාහෝර්වලය.

පුවත පැතිරී යාමත් සමඟ ඉම්රාන් නිසා මනේකාගේත් කාවර්ගේත් විවාහ සංස්ථාව බිඳ වැටුණු බවට රාවයක් පැතිරිණි. එහෙත් සැමියා, කාවර් ඉම්රාන් සහ සිය බිරිය මුව පුරා පසසමින් කියා සිටින්නේ දික්කසාදයට කිසිසේත්ම ඉම්රාන් හේතු නොවූ බවය. ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියකු වන ඔහු බිරිය හා ඉම්රාන් ගැන කර ඇත්තේ මෙවන් ප්‍රකාශයකි.

“මගේ බිරිය බුෂ්රා වැනි ගුණ යහපත් කාන්තාවක් ලෝකයේ නැහැ. අවුරුදු 30ක ප්‍රීතිමත් යුග දිවියක් අපි ගත කළා. ඒත් පසුගිය අවුරුදු තුනේ ඇති වූ යම් යම් ගැටලු නිසා දික්කසාද වුණා. ඇතැම් අධ්‍යාත්මික සුවතා ප්‍රතිකාර සමඟ ඇයගේ ඇති බැඳීම් ගැටලු ඇති කළා.”

කාවර් බුෂ්රාගෙන් වෙන් වූයේ මීට තෙමසකට පෙරදීය. ඉම්රාන් ඛාන් වැනි මහත්මා ගතිගුණවලින් හෙබි අයකු ගැන මෙවන් කතාවක් පැතිරීම ගැන ඔහු කනගාටු වෙයි. පකිස්තානු තෙරීක් ඊ ඉන්සාන් (පී.ටී.අයි.) පක්ෂයේ නායකයා වන ඉම්රාන් ඛාන් තම ජීවිතයේ දුටු ගෞරවනීය පුද්ගලයා බව කාවර් පවසයි.

ඉම්රාන් බුෂ්රාට කළ මංගල යෝජනාව ගැන සිතා බැලීමට ඇය යම් කාලයක් ඉල්ලා තිබේ. යෝජනාව සම්මත වුවහොත් ඉම්රාන් එය චාරිත්‍රානුකූලව පවසනු ඇත. එතෙක් තම පවුලේත් ඇයගේ පවුලේත් විශේෂයෙන්ම දෙපාර්ශ්වයේ දරුවන්ගේ පෞද්ගලිකත්වය සුරකින ලෙස ඔහු මාධ්‍යයට ට්විටර් පණිවුඩයක් යවා තිබේ.

මේ වනවිටත් බුෂ්රාගේ එක් පුත්‍රයකු වන මූසා මනේකා සිය මව ඉම්රාන් සමඟ විවාහ වන පුවත ප්‍රතික්ෂේප කර අවසන්ය. ඉම්රාන්ගේ සොයුරිය අලීමා ඛාන් ද මේ කතාව ප්‍රතික්ෂේප කරන්නීය. එසේ ප්‍රතික්ෂේප කරන්නේ හේතු නොදක්වාම නොවේ. ඇය ෆේස්බුක් සමාජ අඩවියේ උර්දු බසින් දක්වා ඇති වදන් පෙළේ ඉංග්‍රීසි අරුත මෙයයි.

“මට සියයට සියයක් විශ්වාසයි ඉම්රාන් ඛාන්, රෙහාම් ඛාන් සමඟ එකගෙයි වසන බව. රෙහාම් බ‍ටහිර කාන්තාවක්. ඇය දන්නවා එක ගෙයි වාසයේ වාසි. ඒවගේම ඇය දන්නවා අතීතයේදී කුමන මොහොතක හෝ ඔහු දික්කසාද විය හැකි බව. බටහිරදී මෙන් ඔවුන් විවාහ නොවී එක්ව දිවි ගෙවෙනවා.”

ඉම්රාන්ගේ තෙවැනි විවාහය ගැන මීට දෙවසරකට පෙර සුප්‍රකට අනාවැකි කියන්නියකු වූ ඛන්දීල් බලොච් ද පවසා තිබිණි. ඇය ඒ බව පවසා තිබුණේ පෞද්ගලික නාළිකාවක උදෑසන වැඩසටහනකදීය. ඉම්රාන් - බුෂ්රා පෙම් අන්දරයරාව ප්‍රතිරාව දීමත් සමඟම පුවත අඩංගු වීඩියෝ පටයද සමාජ වෙබ් අඩවියකට මුදාහැරිණි.

දැන් පකිස්ථානයේ ප්‍රධාන පුවත වී ඇත්තේ ඉම්රාන්ගේ තෙවැනි විවාහයයි. දේශපාලන සතුරන්ට එය ඉම්රාන්ගේත් ඔහුගේ පක්ෂයේත් ගෙල සිඳ දැමීමට දෙපැත්ත කැපෙන ආයුධයකි. ක්‍රිකට් තරුවක් ලෙස ඉම්රාන් දකින්නන්ට පදමට ලුණු ඇඹුල් යෙදූ රස කට කතාවකි.

ආරංචිය පැතිරී තෙදිනකදී ලැබෙන කටුක අදහස් උදහස් නිසා ඉම්රාන් ද තදින් ප්‍රකාශ නිකුත් කිරීමට පටන්ගෙන ඇත. බැංකු මංකොල්ලකරුවෙක්, ජනතා ධනය කොල්ලකෑ අයෙක්, ඉන්දියාවට පකිස්තාන රාජ්‍ය රහස් සපයන්නෙක් ලෙස තමන්ගේ තෙවැනි විවාහය ගැන අදහස් දැක්වීම ගැන ඔහු සිටින්නේ කනගාටුවෙනි.

ඉම්රාන් මුලින්ම විවාහ වූයේ ජෙමීමා ‍ගෝල්ඩ්ස්මිත් සමඟය. 1995 මැයි 16 වැනි දින විවාහ වූ දෙදෙනා නව වසරකට පසු දික්කසාද වූහ. ජෙමීමා විවාහයට මාස කීපයකට පෙර ඉස්ලාම් ආගම වැලඳ ගත්තාය. ජෙමීමා සැමියාගේ දේශපාලන දිවියට අත්වැලක් වූයේ සාම්ප්‍රදායික පකිස්තානුවන්ගේ දැඩි තර්ජන මධ්‍යයේය. 2004 ජූනි 22 වැනිදා දික්කසාද වන විට ඉම්රාන් වෙන්වීමට හේතුව වශයෙන් කියා සිටියේ පාකිස්තානයට ගැළපෙන ලෙස හැඩ ගැසීමට ඇති දුෂ්කරතාවයි. දික්කසාදයට පෙර මාස හයක් පසු මාස හයක් ජීවිතයේ දුෂ්කරම කාලය ලෙස ඔහු පළකර සිටියේය. ඉම්රාන් 1952 උපන් අයෙක් වූ අතර ජෙමීමා උපන්නේ 1974 දීය. ඇය මාධ්‍යවේදිනියක වූවාය. ජෙමීමා ඉම්රාන් කැදැල්ලට 1996 දී සුලෙයිමාන් පුතුත් 1999 දී කාසීම් පුතුත් එක්විය.

ජෙමීමා එංගලන්‍තයේ රෝසකුසුම ඩයනා ස්පෙන්සර් ආර්යාවගේ සමීපතම මිතුරියකි. ඉම්රාන් දෙවැනි විවාහයක් 2015 කරගන්නා තුරුම ඇය ඛාන් වාසගම පවුලේ වාසගම ලෙස භාවිත කළාය. අදටද ජෙමීමා, ඉම්රාන් කිසිදු නොහොද නෝක්කාඩුවකින් තොරව ඇසුරු කරති. පාසල් නිවාඩුවේදී පුතුන් දෙදෙනා පාකිස්තානයට පැමිණෙන අතර බ්‍රිතාන්‍යයට ගියවිට ඉම්රාන් ද ජෙමීමා හමුවේ.

ඉම්රාන්ගේ දෙවැනි විවාහය බී.බී.සී. පුවත් සේවාවේ කාලගුණ වාර්තා ගෙන ආ මාධ්‍යවේදිනියක වු රෙහාම් සමඟය. එය රෙහාම්ගේද දෙවැනි විවාහය විය. පළමු විවාහයෙන් රෙහාම්ට දරුවන් තිදෙනකු සිටියහ. රෙහාම් දේශපාලනයට පිවිසීමට සැලසුම් කිරීමත්, ඉම්රාන්ගේ පුතුන්ගෙන් පවුලෙන් එල්ල වූ විරෝධයත් නිසා දස මාසයකින් ඒ යුග දිවිය අවසන් විය. රෙහාම් 1973 උපන් අයෙකි. ජෙමීමා මෙන්ම රෙහාම් ද නිෂ්පාදනයෙන් සිනමාවටද දායකවී ඇත.

ඉම්රාන් යනු ලෝකයේ පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩකයකු පමණක් නොවේ. පකිස්ථානයට පළමු පන්තියේ දේශපාලන නායකයකු වෙයි. දැන් ලොවට ඔහු ප්‍රථම පන්තියේ ආදරවන්තයකුද වී අවසානය.

අන්තර්ජාලයෙනි

නව අදහස දක්වන්න