පුංචි රොකට් මෑන්ගේ සාම නැමියාව | දිනමිණ

පුංචි රොකට් මෑන්ගේ සාම නැමියාව

ධම්මික සෙනෙවිරත්න

දකුණු කොරියාවේ අදහස කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවි මුක්ත කලාපයක් විය යුතු බවය. අඟහරුවාදා පැවැති පළමු සාකච්ඡා වටයේදී න්‍යෂ්ටික වැඩපිළිවෙළට අදාළ කාරණා ගැන සාකච්ඡා කිරීම උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර ඇත. එසේ වුවද හමුදා අංශ අතර සබඳතා පවත්වාගැනීමට එකඟතාව පළ කර තිබේ.

පෙබරවාරි මාසයේදී දකුණු කොරියාවේ සෝල් නුවරදී පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලට තම කණ්ඩායමක් සහභාගි කරවීමට කැමැත්ත ප්‍රකාශ කරමින් දකුණු කොරියාවත් සමඟ යළි සාකච්ඡා ඇරැඹීමට ද උතුරු කොරියාව පියවර ගත්තේය. උතුර සහ දකුණ අතර යුද අවදානම අවම කිරීමට බලපානු ඇති එම ස්ථාවරය දෙරට අතර දෙවසරකට පසු යළි සාකච්ඡාමය විසැඳුමක් සඳහා ඇති වූ පළමු ප්‍රවේශයයි. එම ප්‍රවේශය අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රසාදයට ද ලක්ව ඇත. මෙවැනි පියවරක් වෙත ගමන් කිරීමට අවශ්‍ය බලකිරීම ජනාධිපති ට්‍රම්ප් විසින් කර ඇති බවද පෙනෙන්නට තිබේ. මෙහි ගෞරවය ට්‍රම්ප්ට හිමිවිය යුතු බව දකුණු කොරියා ජනාධිපතිවරයාද පවසා ඇත.

දෙරටේ ඉහළ නිලධාරීහු ඉකුත් අඟහරුවාදා ‘සටන් විරාම ගම්මානය’ යනුවෙන් ප්‍රකට දේශසීමාබද පන්මුන්ජොම් හිදී හමුවූහ. එම ප්‍රදේශය කොරියානු අර්ධද්වීපයේ යුද මුක්ත කලාපයකි. සාකච්ඡාවලින් අනතුරුව නිකුත් වූ ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන් පරිදි උතුරු ‍කොරියාව ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකා කණ්ඩායමක් දිරිගැන්වීමේ කණ්ඩායමක්, ටයිකොන්ඩෝ කණ්ඩායමක් ප්‍රසංග කලා ශිල්පීන් සමූහයක්, මාධ්‍ය කණ්ඩායමක් මෙන්ම අමුත්තන් පිරිසක්ද සහභාගි කරවනු ඇත.

මිසයිල ප්‍රශ්නය

උතුරු කොරියාව ප්‍රබලම හා වැඩිම මිසයිල අත්හදාබැලීම් සංඛ්‍යාවක් සිදු කළේ ඉකුත් වර්ෂයේදීය. එම මිසයිල හා න්‍යෂ්ටික වැඩපිළිවෙළ එරටට එරෙහිව සම්බාධක පැනවීමට තරම් බලපෑවේය. අමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පිහිටා ක්‍රියාකරන සෙයක්ද දක්නට ලැබිණි.

තම මිසයිලවලට අමෙරිකාව සොයා ඒමට හැකියාව ඇති බව උතුරු කොරියානු නායක කිම් ජොංග් අං කියා සිටි අතර අමෙරිකානු ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ තමන් නිකම් බලා සිටින්නේ නැතැයි කියමිනි. අමෙරිකාවද ‘සියලු අවිබල බව’ වශයෙන් හැඳින්වුණු මෙතෙක් ලොව අත්හදා බලා ඇති විනාශකාරීම අවියද ඉකුත් වසරේ පරීක්ෂාවට ලක් කළේය. උතුරු කොරියානු මිසයිල ජපානයට ඉහළින් ගමන්කර ජපන් මුහුදට පතිතවීම නිසා ජපානය සිටියේද කැළැඹීමෙනි.

ජපානය හා උතුරු කොරියාව අතර යුද ගැටුමක් ඇවිළ යනු ඇති දැයි බිය පළ විය. උතුරු කොරියානු නායකයාගේ හිතුවක්කාරී පිළිවෙත මෙන්ම දකුණු කොරියාව සහ අමෙරිකාව අතර කොරියානු අර්ධද්වීපයේ සිදු වූ යුද අභ්‍යාසද එම කලාපයේ සාමය බිඳ දැමීමට හේතු විය. දකුණු කොරියාව කියා සිටියේ එම යුද අභ්‍යාස උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණදීමට කරන ඒවා බවයි. උතුරු කොරියාව නිතර අවධාරණය කළේ එම අභ්‍යාස නතර කළ යුතු බවය.

උතුරු කොරියානු නායකයා 2018 නව වසරට සුබ පැතීම් එක් කරමින් කියා සිටියේ ශීත ඍතු ඔලිම්පික් උළෙලට තම රටද සහභාගිවන බවයි. මේ ප්‍රකාශය වසර කිහිපයක් ලොව ඉහළ යුද අවදානමක් පැවැති ගැටුමකට යම් සිසිලසක් ලබාදීමට හේතු වූ අතර ඔලිව් අත්ත දිගු කිරීමක් විය. 2016 වසරේදී ද දෙරට ශීත ඍතු ඔලිම්පික් කෙළි බිමේදී හමු වූහ.

දකුණු කොරියා ජනාධිපති මුන් ජේ.ඉන් කොරියානු සාකච්ඡාවල වැඩි ගෞරවය ජනාධිපති ට්‍රම්ප්ට හිමිවිය යුතු බව ප්‍රකාශ කර ඇත. මෙම සුබදායක පියවර තැබීමට හැකිවූයේ අමෙරිකාව මුල්වෙමින් උතුරු කොරියාව මත පනවා ඇති සම්බාධක හා පීඩනය බවද ඔහු පෙන්වාදී තිබිණි.

සාකච්ඡා පැවැති දිනට පසු දිනම එනම්,ඉකුත් බදාදා ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයට පැමිණි උතුරු කොරියා නියෝජිතයකු ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා තම රටේ සහභාගිත්වය ස්ථිර කරන බව දන්වා සිටියේ ය.

රුසියානු විදේශ අමාත්‍යාංශයද යුදමය වශයෙන් පැනනැඟී ඇති ප්‍රශ්න විසඳාගැනීමට උතුරු දකුණු කොරියා අතර ඇති වූ එකඟත්වය අගය කර තිබේ. එය කලාපයේ ස්ථාවරත්වය ගොඩනැඟීමට හේතුවනු දැක්ම රුසියාවේ අභිලාෂය බවද එහි වැඩිදුරටත් දක්වා තිබිණි.

විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දමට උතුරු කොරියා න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කාරණා 2ක් පැහැදිලිය. එකක් නම්, සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ හකුළාගැනීමට ඔවුන් නොපෙලඹෙනු ඇති බවයි. අනෙක, අමෙරිකාවට පහරදීමට තරම් හැකියාවක් ඇති අවි නිෂ්පාදනයෙන් එරට වැළැක්වීමට අමෙරිකාවට අවශ්‍ය වී ඇති බවය. මීට පෙර ජනාධිපති ට්‍රම්ප් පවසා තිබුණේ නියමිත මොහොත එළැඹි පසු නිවැරැදි කොන්දේසි යටතේ උතුරු කොරියානු නායකයා සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවය.

අමේරිකාවේ මැදිහත්වීම

උතුරු - දකුණු කොරියා අතර සාකච්ඡා දියත්වීමත් සමඟ ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම දෙපාර්ශ්වයටම නිවැරදි මොහොත උදාවී ඇත යනුවෙනි. උතුරු කොරියානු නායකයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ. කෙසේ වුවද, උතුරු කොරියා නායකයා සහ අමෙරිකා ජනාධිපතිවරයා අතර හමුවක් නුදුරේදී පැවැත්වේදැයි තවමත් ප්‍රකාශ වී නැත.

උතුරු කොරියා නායකයා සමඟ ඔලිම්පික් උළෙල පැවැත්වෙන දින කිහිපය තුළ හෝ සාකච්ඡා කිරීමට සූදානම් බව දකුණු කොරියානු නායකයා පවසා ඇත. දකුණු කොරියාවේ අදහස කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවි මුක්ත කලාපයක් විය යුතු බවය. අඟහරුවාදා පැවැති පළමු සාකච්ඡා වටයේදී න්‍යෂ්ටික වැඩපිළිවෙළට අදාළ කාරණා ගැන සාකච්ඡා කිරීම උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර ඇත. එසේ වුවද හමුදා අංශ අතර සබඳතා පවත්වාගැනීමට එකඟතාව පළ කර තිබේ.

සම්බාධක ලිහිල් කිරීමක්

2006 ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී කළ පරිදිම උතුරු සහ දකුණු කොරියා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සමාරම්භක උළෙලට සහභාගිවීම සුදුසු බවට දකුණු කොරියාව යෝජනා කර ඇත. බොහෝදුරට මෙවර එය එසේ වනු ඇතැයි පෙනෙන්නට තිබේ.

උතුරු කොරියාවද දක්වා ඇති සුබදායී ප්‍රතිචාරය අගය කිරීමක් වශයෙන් ඇතැම් සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සමඟ සාකච්ඡා කරන බවද දකුණු කොරියාව ප්‍රකාශ කර ඇත.

දෙරට අතර සාකච්ඡා යළි දියත්වීමත් සමඟ එම ආරම්භය පිළිබඳ දකුණු කොරියා ජනාධිපතිවරයා අමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට දන්වා තිබිණි. නායකයන් දෙදෙනා අතර දුරකථන සංවාදය විනාඩි 30ක් පමණ සිදුවී ඇතැයි පැවසේ. දකුණු කොරියාව සහ අමෙරිකාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීමටද එහිදී අවධානය යොමුවිය. උතුරු - දකුණු කොරියා සාකච්ඡා ඉදිරියට ඇදෙනවිට උතුරු කොරියාව සහ අමෙරිකාව අතරද සාකච්ඡාවක් පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. දැනටමත් ඒ සඳහා කොළ එළි දැල් වී ඇත. උතුරු සහ දකුණු කොරියා අතර සාකච්ඡා පැවැත්වෙන අතරතුර හමුදාමය ක්‍රියාමාර්ග කිසිවක් සිදුනොවනු ඇති බවට දෙරටම විසින්ම වගබලාගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත. අමෙරිකාවද එලෙසම ක්‍රියා කරනු ඇත.

කෑම්ප් ඩේවිඩ් හිදී මාධ්‍යකරුවන් අමතමින්ද ජනාධිපති ට්‍රම්ප් මීට දින කිහිපයකට පෙර කියා සිටියේ උතුරු කොරියා නායකයා සමඟ සාකච්ඡා පැවැත්වීමට තමා සූදානම් බවයි. තමන් නිරන්තරයෙන් සංවාදය පිළිබඳ විශ්වාසය තබන බව ඔහු එහිදී අවධාරණය කර තිබිණි. මෙහිදී තම ස්ථාවරය පැහැදිලි බවද ඔහු සඳහන්කොට ඇත. කවර පසුබිමක් යටතේ හෝ සාකච්ඡා කිරීමට තමන් සූදානම් යැයි ඉන් අදහස් නොවන බවද ජනාධිපති ට්‍රම්ප් පවසයි. උතුරු - දකුණු ‍කොරියා අතර ඵලදායී සාකච්ඡා සිදුවීම අවශ්‍ය බවත්, එසේ වුවහොත් එය මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි. එය එසේ වන්නේ නම් පමණක් කිම් ජොං අං සමඟ තමා සාකච්ඡා මේසයේ අසුන්ගනු ඇත යන්න ට්‍රම්ප්ගේ ස්ථාවරයයි. මෙහිදී ජනාධිපති ට්‍රම්ප් උපායමාර්ගිකව සිය බලය යෙදවූ බව පැහැදිලිය.

“පුංචි රොකට් මිනිසා” යනුවෙන් ප්‍රකට කිම් ‍ජොං අං ට මෑතදී ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ, සිය න්‍යෂ්ටික බොත්තම උතුරු කොරියාවට වඩා විශාල මෙන්ම ප්‍රබල බවය. මේ වසර මුලදී ඔහු තැබූ ට්විටර් පණිවිඩයක දැක්වුණේ අනුවණ ක්‍රියාවක් විය හැකි වුවද සාකච්ඡා යනු යහපත් දෙයක් බවය. කොරියානු අර්ධද්වීපයට සාමය උදාකළ හැක්කේ ශක්තිය තුළින් බවද ඔහු අවධාරණය කර ඇත. උතුරු කොරියාවට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාව සලකා බලමින් සිටින බවට පළ වූ මාධ්‍ය වාර්තා ද ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. “අපි වෑයම් කරන්නේ” සාමය උදාකිරීම සඳහා ශක්තිය යෙදවීමට” යනුවෙන් ඔහු ඊට ප්‍රතිචාර දක්වා තිබිණි. ඇති වූ සාකච්ඡාමය එළැඹුම මෙම වැඩපිළිවෙළට විශාල ශක්තියක් බව පෙන්වා දෙන ඔහු තමන් ඊට බෙහෙවින්ම කැමැති බවද පවසා ඇත.

ශීත ඍතු ඔලිම්පික් උළෙලට අමෙරිකානු නියෝජිත පිරිසක්ද සහභාගිවීමට නියමිතය. ඊට නායකත්වය දෙන්නේ උප ජනාධිපති මයික් පෙන්ස්ය. ධවල මන්දිර වාර්තා පවසන පරිදි උප ජනාධිපතිවරයාගේ එම සංචාරය අතරතුර ඔහු ඇලස්කාවේ ස්ථාපිත අමෙරිකානු බැලස්ටික් මිසයිල පද්ධතිද පරීක්ෂාවට ලක් කරනු ඇත. දකුණු කොරියාව සහ අමෙරිකාව අතර දීර්ඝ කාලීන මිත්‍රත්වයක් පවතී. එහි ඉතිහාසය 1953 කොරියානු සටන්විරාම සමය තෙක් දිවයන්නකි. දකුණු කොරියාවේ අමෙරිකානු හමුදා කඳවුරුද පවතී.

එක්වීමේ අපේක්ෂා

උතුරු සහ දකුණු ‍කොරියා එක්විය යුතු බවට දකුණු කොරියානුවන් තුළ මෙන්ම උතුරු කොරියානුවන් තුළද අපේක්ෂාවක් පවතී. දකුණ දේශපාලනිකව එවැනි මතයක සිටියද එය විය නොහැක්කක් ලෙස සලකයි. එසේ වුවද දකුණේ ඇතැම් අයගේ විශ්වාසය මේ එක්වීම ඉක්මනින් සිදුවනු ඇත යන්නය. උතුර ද එකතුවට පක්ෂව අදහස් පළ කළද එය හුදෙක් එය වචනයට සීමා කිරීමට වගබලා ගන්නා බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසය. එවැන්නක් සිදුවේනම් එය කිම් ජොං අං ගේ පාලනයට තුළ සිදුවනු ඇත්තේ හමුදාමය ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් ලෙස විය හැකි බව තවත් විශ්ලේෂකයන්ගේ අදහසය. උතුරු කොරියානු නායකයාගේ නව අවුරුදු පණිවිඩයට පෙර විශ්වාස කෙරුණේ එරටින් ශීත ඍතු ඔලිම්පික් උළෙලට සයිබර් ප්‍රහාරයක් වත් එල්ලවනු ඇතැයි යනුවෙනි. එහෙත්, දැන් තත්ත්වය වෙනස් වී තිබේ.

ක්‍රීඩාව සමගිය මෙන්ම සාමය ගොඩනැඟීම සඳහා ද ඉවහල් වේ. ඊට ප්‍රායෝගික උදාහරණයක් උතුරු සහ දකුණු කොරියාව එක්ව සපයන අයුරු බොහෝදුරට පෙබරවාරි 9 වැනිදා ඇරැඹෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී දැකගත හැකිවනු ඇත.

නව අදහස දක්වන්න