තෛපොංගල් සුබ පැතුම් පණිවිඩ | දිනමිණ

තෛපොංගල් සුබ පැතුම් පණිවිඩ

ස්වයංපෝෂිත වීම කරා යන රජයේ ගමනට ශක්තියක්
- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

කෘෂිකර්මාන්තයට බුහුමන් පුදන තෛපොංගල් උළෙල ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම කරා යෑමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන අතරම එයට ශක්තිය සපයන අවස්ථාවක් වශයෙන් සලකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෛපොංගල් සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් කියා සිටී.

එහි මෙසේ ද සඳහන් වේ.

මිනිස් සංහතිය ශිෂ්ටත්වය කරා පැමිණි ගමනේදී, කෘෂිකර්මාන්තය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බව නොරහසකි. වත්මනෙහි දක්නට ලැබෙන කාර්මික හා තාක්ෂණික දියුණුව හමුවේ ගැමි ප්‍රජාව ගොවිකම අතහැර නගර කරා ඇදී යමින් සිටින පසුබිමක වුව, අතීත සම්ප්‍රදායන් සුරැකීමටත්, එය සැමරීමටත් නිමිති සපයන තෛපොංගල් උත්සවය, මිනිස් සමාජයේ සංස්කෘතිය, සදාචාරය, මනුෂ්‍යත්වය, සමගිය හා සංහිඳියාව, බෙදා හදා ගැනීමට ඇති ලැදියාව මෙන්ම මිනිසා තුළ පවතින සත්ත්ව කරුණාව වැනි ගුණාංග තව තවත් සමාජය තුළ තහවුරු කරලීමට මඟ සාදයි.

කෘෂිකර්මාන්තයට නිසි බුහුමන පුදන තෛපොංගල් උළෙල ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතවීම කරා යාමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන අතරම එයට ශක්තිය සපයන අවස්ථාවක් වශයෙන් ද සැලකීමට කැමැත්තෙමි.

හින්දු ධර්මය අනුව දිවි ගෙවන දෙමළ ජනයා, තෛපොංගල් ‍සමය ඔවුන්ගේ නව වසරක උදාව ලෙසත්, නව අවස්ථා උදාකරන වසරේ ශුභාරම්භය ලෙසත් සලකති. එවන් සුබ මොහොතක අප රටේ මෙන්ම විදෙස් රටවල ද තෛපොංගල් සමරන හින්දු ජනයාගේ ජීවිත අර්ථවත් හා සෞභාග්‍යමත් වේවායි ප්‍රාර්ථනා කරන අතර, කෘෂි සංස්කෘතියේ ගැඹුරු හරයන් යළි යළිත් අප වෙත සමීප කරමින් තෛපොංගල් උළෙල සමරන බැතිමතුන් සමඟ එක්වෙමි. 


සාමය සංහිඳියාව ගොඩනැඟීමට විශේෂ අවකාශයක්
- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

හින්දු ජනතාව ආගමික භේදයකින් තොරව සමස්ත ජනතාව සමඟ බෙදා හදා ගනිමින් තෛපොංගල් උත්සවය සැමරීම සාමය, සංහිඳියාව ගොඩනැඟීමට සුවිශේෂ අවකාශයක් උදාකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් දිනය වෙනුවෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

සූර්ය දෙවි වන්දනාවට ප්‍රමුඛත්වය දෙන මෙම උත්සවය මානව ජීවිතය සමෘද්ධිමත් කිරීම සඳහා ජීවය ලබාදෙන සොබාදහමට කෘතවේදීත්වය පුදකරන අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.

කෘෂිකාර්මික සමාජයේ හිරු නමදින්නේ දේවත්වයෙනි.

සාර අස්වැන්නක් ලබා ගැනීමට ශක්තිය වූ හිරු දෙවියන්ට අස්වැන්නෙහි අග්‍රඵලය පුදදෙමින් කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උළෙලේ වැදගත් චාරිත්‍රයකි. මෙහිදී කෘෂිකාර්මික කටයුතු සඳහා දායකවන ගවයින් වැනි සතුන්ටද සුවිශේෂීව සලකනු ලැබේ. මේ සියලු චාරිත්‍ර මිනිසා සහ පරිසරය අතර සබඳතාව වඩ වඩාත් ශක්තිමත් කරයි. අරුත් ගන්වයි.

තෛපොංගල් උත්සවයෙන් අපට පෙන්වා දෙන්නේ සියලු දහම්වල හරය කැටි කොටගත් සොබාදහමේ අගයයි. සමානාත්මතාවය කෙරෙහි ගරුත්වය දැක්වීමේ වටිනාකමයි. කෘතවේදීත්වයේ උතුම් බවයි. හින්දු ජනතාව ආගමික භේදයකින් තොරව සමස්ත ජනතාව සමඟ බෙදා හදාගනිමින් තෛපොංගල් උත්සවය සැමරීම සාමය , සංහිඳියාව ගොඩනැඟීමටද සුවිශේෂ අවකාශයක් උදාකරයි.

සොබාදහ සමඟ සහසම්බන්ධතාවයෙන් එහි සුරක්ෂිත බව උදෙසා කැපවන්නටත්, වාර්ගික, ආගමික භේද ඉක්මවා සාමය සහෝදරත්වය රජයන මානව සමාජයක් ගොඩනඟන්නටත් මෙවර තෛපොංගල් උත්සවය පරමාදර්ශයක් වේවා.

නව අදහස දක්වන්න