සයිටම් විසඳුම! | දිනමිණ

සයිටම් විසඳුම!

සයිටම් ගැටලුව විසැඳීම සඳහා පත් කළ නව දෙනකුගෙන් සමන්විත කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර තිබේ. එම නිර්දේශ දෙස බලනවිට පෙනී යන්නේ ඒවාට එරෙහි වීමට කිසිදු සාධාරණ හේතුවක් නැති බවය. සයිටම් ගැටලුව ආශ්‍රිතව සමාජයේ කතාබහට ලක් වූ කරුණු ගණනාවක් තිබේ. ඉන් ප්‍රධාන කරුණු කිහිපයක් වන්නේ; වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය බිඳවැටීම, අධ්‍යාපනය හා උපාධි මුදලට විකිණීම, ‍පෞද්ගලික ආයතනයකට උපාධි අලෙවි කොට මුදල් ඉපැයීමට අවස්ථාව ලබාදීම, සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලයක් සයිටම් ආයතනය සතු නොවීම යනාදිය යි.

තවත් අතෙකින් සයිටම් විරෝධීන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ මේ ආයතනය වසා දමනු යන්න ය. ඒ සමඟ ඉදිරිපත් වූ තවත් ඉල්ලීමක් වූයේ සයිටම් ආයතනය හා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගනු යන්න ය. මේ ආයතනයේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටි සිසුන් සම්බන්ධයෙන්ද ගැටලු ගණනාවක් ඉදිරිපත් වී තිබිණි. එක ගැටලුවක් වන්නේ ඔවුනට සායනික පුහුණුවට අවස්ථාවක් නොතිබිම ය. රජයේ රෝහල් වෙතින් එම පුහුණුව ලබා දිය යුතු යැයි අධිකරණ තීන්දුවක් ලබා දී තිබුණ ද රජයේ වෛද්‍යවරුන් එම පුහුණුව ලබා දුන්නේ නැත.

නව නිර්දේශවලට අනුව ඉහත ආයතනය හා එහි කළමනාකාරිත්වය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත පවරනු ලැබේ. ඒ අනුව වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවශ්‍ය බඳවා ගැනීම්, පාඨමාලාවල ප්‍රමිතිය, සායනික පුහුණුව ආදිය පිළිබඳ තීරණ වෛද්‍ය සභාවේ අනුමැතිය පරිදි සිදු කෙරේ. නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට නියමිත ය. මේ මඟින් රජයට රුපියල් බිලියන තුනකට වැඩි වත්කමක් හිමිවනු ඇත. තවත් පිරිසකට වෛද්‍ය අධ්‍යාපනය සඳහා රජයේ ප්‍රමිතිය හා පිළිගැනීම සහිත ආයතනයක් ලැබීමත්; එය ලාභ ලැබීමේ පරමාර්ථ‍යෙන් තොරව ක්‍රියාත්මක වීමත් මෙහිලා සිදුවන විශේෂ කාර්යයකි.

වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අධි ඉල්ලුමක් රට තුළ පවතී. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මේ ඉල්ලුම සපුරාලිය නො හැකි ය. ඒ අනුව එක්කෝ ප්‍රමිතියක් සහිත පිළිගත් පෞද්ගලික වෛද්‍ය පීඨ බිහි කළ යුතුය. නැතහොත් විදේශීය අධ්‍යාපනය ලැබිය හැකි ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කළ යුතුය. දැනට ම සැලකිය යුතු පිරිසක් විදේශීය රටවල වෛද්‍ය අධ්‍යාපනය ලබති. ඒ සඳහා වැය වන මුදල අධික ය . එය විදේශ විනිමය ගලායෑමක් ලෙස ද සැලැකිය හැකි ය. මේ අනුව සයිටම් විසැඳුම් නිර්දේශය ඉතා කාලෝචිත බව පෙනී යයි. 2019 සිට තොරතුරු තාක්ෂණ ආයතනය යටතේ ක්‍රියාත්මක වන ආයතනයට සිසුන් බඳවාගනු ලැබේ.

නව වෛද්‍ය අධ්‍යාපන ආයතනයට අවශ්‍ය ප්‍රමිතිය වෛද්‍ය සභාවේ නිර්දේශ මත ස්ථාපිත කිරීමට නියමිත ය. අවශ්‍ය නියාමනය රජය විසින් සිදු කරනු ලැබේ. සයිටම් ආයතනය වෙත එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ එහි වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතියෙන් තොරය යන්න ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වරක් කියා සිටියේ මහජනයා සයිටම් වෛද්‍යවරුන් වෙත නොයා යුතු බව ය. ඔවුන් නියම වෛද්‍යවරුන් නො වන බව ද සංගමය කියා සිටියේ ය. නව ආයතනයේ සිසුන්ගේ පාඨමාලා හා සායනික පුහුණුව ආදිය වෛද්‍ය සභාවේ නිර්දේශ මත සිදු වන බැවින් කිසිවකුටත් ඊට චෝදනා කළ නො හැකිය .

සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලැබූ වෛද්‍ය සිසුනටද අයුක්තියක් සිදු නොවන අයුරින් ගැටලුව විසැඳීමට කමිටුව සමත් වී ඇත. ඒ අනුව වෛද්‍ය උපාධි අපේක්ෂකයන් සඳහා නැවත සායනික පුහුණුව ලබාදීමට වෛද්‍ය සභාව කටයුතු කරනු ඇත. අදාළ පරීක්ෂණ ප්‍රමිතියකින් යුතුව සිදු කිරීමටද වෛද්‍ය සභාව කටයුතු කරනු ඇත. ඒ අනුව කෙටි කාලයක් තුළ දී අදාළ සිසුනට වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි වීමේ හැකියාව ලැබේ. සයිටම් අර්බුදයේදී මාපිය සංගමය කියා සිටියේ ඔවුන්ගේ දරුවන්ට සාධාරණය ඉටුකර දෙනු යන්න ය. දැන් එම සාධාරණය ඉටු වී ඇතැ’යි සිතන්නට පුළුවන.

උතුරු කොළඹ ‍වෛද්‍ය පීඨය බිහිවූයේ ද පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනයක් රජයට පවරා ගැනීමෙන්ය. එවකට මේ පෞද්ගලික අධ්‍යාපන ආයතනය සම්බන්ධයෙන් විශාල විරෝධයක් මතු විය. එහි ප්‍රතිඵලය වූයේ ආයතනය රජයට පවරාගෙන එය කැලණිය විශ්වවිද්‍යාලයට අනුයුක්ත කිරීම ය. සයිටම් ගැටලුව විසැඳීමට පත් කළ කමිටුව ද ඊට සමාන විසැඳුමක් නිර්දේශ කර ඇත. ඒ අනුව සයිටම් ආයතනය සතු වත්කම් හා කාර්ය මණ්ඩල රජයට පවරාගනු ලැබේ. අදාළ ආයතන ලාභ උපයන අපේක්ෂාවෙන් තොරව මහජන ආයතන ලෙස ක්‍රියාත්මක ‍වෙයි. මේ ආයතන ලාභයක් ලබන්නේ නම්; ඒවා ආයතන‍යේ හා අධ්‍යාපන‍යේ ප්‍රගතිය සඳහා යෙද‍‍වෙනු ඇත.

සයිටම් ගැටලුව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල සංවාදයක් ඇති කර තිබූ අතර එය රජයට එරෙහි ව්‍යාපාරයක් ලෙස ද ක්‍රියාත්මක වූ බව පෙනෙයි. ඇතැම්විට උද්ඝෝෂකයන්ගේ මතය වූයේ මෙය රජය පෙරළා දමන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වන බවය. මාස ගණනාවක් පුරාවට සරසවි පන්ති වර්ජන පැවැත්විණි. උපවාස හා උද්ඝෝෂණ පැවැත්විණි. රජයේ වෛද්‍ය පීඨවල කිසිදු අධ්‍යාපනයක් නො සිදුවුණු තරම් ය. අවසන් ලෙස ජනාධිපතිවරයා මැදිහත්වී ඍජු තීරණයක් ලබාදීමෙන් පසු විරෝධතා නැවැත්විණි. එතැන් සිට වෛද්‍යවරුන් ගේ වැඩ වර්ජනද නැවතිණි.

ජනාධිපතිවරයා ගත් තීරණය මෙන් ම ගැටලු විසැඳීම සඳහා තෝරාගත් ක්‍රමවේදය ද බුද්ධිමත් ය. සයිටම් අහෝසි කරන බවට 2017 ඔක්තෝබර් 29 දා තීන්දුවක් ලබා දුන් අතර ඉදිරි වැඩපිළිවෙළ යෝජනා කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කළේ ය. එම කමිටුව නව දෙනකුගෙන් සමන්විත විය. කමිටුවේ නිර්දේශ නිකුත් වී ඇත්තේ සියලු සාමාජිකයන්ගේ ඒකමතික අනුමැතියට අනුව ය. මේ වැඩසටහන හා ජනාධිපතිවරයා ගත්ත තීන්දුව අපට වැදගත් පණිවිඩයක් ලබාදෙයි. එනම්; ජාතික වශයෙන් ඔඩු දුවන ගැටලු විසැඳීම සඳහා බුද්ධිමත් හා කාලෝචිත පියවර ගත යුතු බව ය. මේ විසැඳුම්වලට වෛද්‍ය සභාවට විරුද්ධ විය නො හැකි ය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විරුද්ධ විය නො හැකි ය. සරසවි සිසුන්ටද, සයිටම් සිසුන්ට ද විරුද්ධ විය නො හැකි ය.

නව අදහස දක්වන්න