බැඳුම්කර වාර්තාවට විවාදයක් ඉල්ලුවා | දිනමිණ

බැඳුම්කර වාර්තාවට විවාදයක් ඉල්ලුවා

ස්වර්ණා විජේකෝන්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර කැඳවා හෝ වාර්තා ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් , ධීවර හා ජලජ සම්පත්, මහවැලි රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම කොමිෂන් සභාව පත් කළ බවත් මෙවැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් රටක රාජ්‍ය නායකයා සක්‍රීය ලෙස මැදිහත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවත් මහින්ද අමරවීර මහතා පැවසීය.

එබැවින් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවෙහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට පූර්ණ විවා‍දයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවත් ඇමැතිවරයා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ‍ලේකම් මහින්ද අමරවිර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (4) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවිර මහතා සඳහන් කළේ බැඳුම්කර සිද්ධියට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පමණක් නොව මහා පරිමාණ දුෂණ හා රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ ‍කොමිෂන් සභා වාර්තාව පිළිබඳවත් විවාද කිරීමට හැකි පරිදි මෙම විවාදය ලබාදිය යුතු බවයි.එම විවාදයේ දී බැඳුම්කර සිද්ධිය පිළිබඳව හා මහා පරිමාණ වංචා දූෂණ විමර්ශන පිළිබඳ කොමිෂ‍මේ වාර්තාව පිළිබඳවත් විවාද කිරීමට අවස්ථාව ලබාදිය යුතු අතර හොරකමට සම්බන්ධ කිසිවෙක් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා‍ නිදහස් සන්ධා‍නය සූදානම් නොමැති බවත් ඇමැතිවරයා පැවසීය.

මෙම සිද්ධින්වලට අමතරව ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ආයතන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කිරීමට නියමිත ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. 


නව අදහස දක්වන්න

Or log in with...