පළාත් පාලන ඡන්දෙනුත් ආණ්ඩුව වෙනස් කළ හැකියි | දිනමිණ

පළාත් පාලන ඡන්දෙනුත් ආණ්ඩුව වෙනස් කළ හැකියි

අනුර ප්‍රේමලාල්

පළාත් පාලන මැතිවරණය ආණ්ඩු වෙනස් නොකරන එකක් යැයි ඇතමුන් පැවසුවත් එය එසේ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාපැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් දා (3) කොළඹ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ගේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

එහිදි වැඩිදුරටත් කතා කළ මන්ත්‍රීවරයා මෙසේද කීය. ඒකාබද්ධ විපක්ෂය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර තියෙනවා. අද මැතිවරණ තේමාව පළමුවරට ඉදිරිපත් වුණා. 'රටවනසන ආණ්ඩුව පන්නමු යළිත් අපි රට හදමු' යන්නයි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ චකිතයකින් තොරව ඒකමතිකව තීරණය කළා. මේ තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහෝට්ටුට යටතේ තරග කරන සියලුම අපේක්ෂකයන්ට ජයග්‍රහණය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. ඇයි අපි එහෙම තීන්දුවක් ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රය පරාජයට පත් කිරීම අපේ ආත්මීය දේශපාලන වුවමනාව නිසායි. රට පුරා තිබෙන පළාත් පාලන ආයතන තුන්සිය විසිහතක පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අපේක්ෂිකවන් සිටින පොහෝට්ටුව වෙත ලබාදීමට අපි තීරණය කළා. ඇයි අපි මෙහෙම තීන්දු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ප්‍රගතීශීලි කඳවුරේ , වාමවාදි ව්‍යාපාරයේ, අනාගතවාදි, දේශප්‍රේමි කඳවුරේ, මහගෙදරයි. අවසානවකට මේ මහා ගෙදර එක්සත් ජාතික පක්ෂය බදු අරගෙන තියෙනවා. ඒ නිසා මේ කඳවුරුවල හා ව්‍යාපාරවල සිටින අයට රැඳෙන්න මහගෙදරක් නැහැ. ඒ නිසා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මෙම මැතිවරණයේ දී පොදුජන පෙරමුණ ජයග්‍රහණය දක්වා ගෙන යන්න අපි තීරණය කළා.

ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන , පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරුද අදහස් දැක්වූහ.

නව අදහස දක්වන්න