බැඳුම්කර වාර්තාවේ පිටපත් 26ක් පාර්ලිමේන්තුවට ලබාදීමට ජනාධිපති නියෝග කරයි | දිනමිණ

බැඳුම්කර වාර්තාවේ පිටපත් 26ක් පාර්ලිමේන්තුවට ලබාදීමට ජනාධිපති නියෝග කරයි

ස්වර්ණා විජේකෝන්,රෝෂන් තුෂාර, සන්ධ්‍යා කරුණාරත්න

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ පිටපත් 26ක් ලබන 17 වැනිදා වන විට පාර්ලිමේන්තුව වෙත ලබාදිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කර ඇත.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාට ලිපියක් මඟින් දැනුම් දී ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ (10) දහවල් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපිය කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

2015 පෙබරවාරි පස 01 වනදා සිට 2016 මාර්තු 31 දක්වා කාල පරිච්ඡේදය තුළ භාණ්ඩගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා පත් කරන ලද කොමිෂමේ වාර්තාවේ පිටපත් 26ක් ද බරපතල වංචා දූෂණ,රාජ්‍ය සම්පත්,වරප්‍රසාද,බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් 34ක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එම ලිපියේ සඳහන් වන බවත් කතානායකවරයා සඳහන් කළේය.

මෙම වාර්තා 34 දැනට නොමැති බැවින් එම පිටපත් ලබාදෙන ලෙස අදාළ කොමිෂන් සභාවේ සේවය කළ ලේකම්වරයාට අදම දැනුම් දෙන බවත් එම පිටපත් ලැබුණු වහාම පාර්ලිමේන්තුවට ලබාදෙන බවත් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත.

මේ පිළිබඳව නීතිපතිවරයාගෙන් සිදු කරන ලද විමසීමේදී ලැබුණු උපදෙස වී ඇත්තේ, වාර්තාවේ සඳහන් වන නිර්දේශ අදාළ නීතිරීති හා ක්‍රියා පිළිවෙත් අනුව ක්‍රියාවට නැංවීම සලකා බැලීම සඳහා වාර්තාවේ හඳුනාගත් නිලධාරීන්, ආයතන වෙත මෙකී වාර්තාව සහ අදාළ ලේඛන ඉදිරිපත් කළ යුතු බවයි.තවද නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ නීති හා ක්‍රියාපිළිවෙත් පරිදි ගත යුතු පියවර නීතිපතිවරයා විසින් ගන්නා බවද එම ලිපියෙන් සහතික වී ඇත. මෙම උපදෙස් පරිදි ඊයේ (10) පෙරවරුවේ මහබැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්වාමි මහතාටත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතාටත් වාර්තාවේ පිටපත් දෙකක් පෞද්ගලිකවම භාර දුන් බවත් එම ලිපියේ සඳහන් වේ.එම වාර්තාව නිකුත් කළ හැක්කේ ජනාධිපතිවරයාගේ අභිමතයට යටත්ව බවත් වැඩිදුරටත් සඳහන් වේ. 

නව අදහස දක්වන්න