පක්ෂ නායක රැස්වීම තැබුවා නම් ගුටි කෙළිය ඇති වෙන්නේ නෑ | දිනමිණ

පක්ෂ නායක රැස්වීම තැබුවා නම් ගුටි කෙළිය ඇති වෙන්නේ නෑ

ස්වර්ණා විජේකෝන්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ගැන විවාද කිරීමට පාර්ලිමේන්තුව කැඳවීමට පෙර පක්ෂ නායකයන් කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට හා අවම වශයෙන් වාර්තාව පාර්ලිමේන්තුවට ලබාගත හැකි දිනය පිළිබඳ සාකච්ඡා කළ යුතුව තිබූ බව විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවැසීය.

පාර්ලිමේන්තුව කැඳවීම‍ට පෙර පක්ෂ නායකයින් රැස්කර මේ පිළිබඳ සාකච්ඡා කර තිබුණේ නම් පසුගියදා පාර්ලිමේන්තුව තුළ සිදුවූ ගුටි බැට හුවමාරුව වළක්වා ගැනීමට තිබූ බවත් ඇමැතිවරයා පැවැසීය.

කෙසේ වුවද පාර්ලිමේන්තුව තුළ සිදුවූ සිදුවීම තමන් කිසිසේත් අනුමත නොකරන අතර මහජන ඡන්දයෙන් තේරිපත්වී නීති සම්පාදනය වෙනුවෙන් පාර්ලිමේන්තුවට යන මහජන නියෝජිතයන්ට නීතිය පිළිබඳ අවබෝධයක් නොවූ විට මෙවැනි සිදුවීම් සිදුවන බවත් ඇමැතිවරයා පැවැසීය.

ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස අපගේ මැතිවරණ ව්‍යාපාරය අනුරාධපුරයෙන් ඊයේ (10) ආරම්භ කළා. මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර අපි උදේ වරුවේ ආගමික වතාවත්වල නිරත වුණා. පසුගිය සෑම මැතිවරණයකදීම පාහේ අපි අපගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ අනුරාධපුරයෙන්. මම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස කටයුතු කළ වකවානුවේදිත් එලෙස අනුරාධපුරයෙන් අපගේ ප්‍රධාන රැලි ආරම්භ කළා. ඒ කාලයේදි පැවැති මැතිවරණ රැස්වීම්වලට අනුරාධපුරයෙන් පමණක් නෙවෙයි ලංකාවේ සෑම දිශාවකින්ම පාහේ ජනතාව පැමිණියා‍. නමුත් මෙවර ආරම්භක රැස්වීමට ලංකාවේ වෙනත් කිසිම දිශාවකින් ජනතාව ආවේ නැහැ. අනුරාධපුරයේ ජනතාව පමණයි පැමිණියේ.

ඊයේ දිනයේදි පාර්ලිමේන්තුවේදි ඇතිවූ සිද්ධිය ගැනත් යමක් පැවැසීය යුතුයි. ඇත්තටම මෙය කිසිසේත් අනුමත කළ නොහැකි සිදුවීමක්. මෙම සිදුවීමට ප්‍රස්තුත උනේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂමේ වාර්තාවයි. මෙම කොමිෂම මාස 10ක් පුරා ක්‍රියාත්මක උනා.‍ මෙම කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දුන්නා. ඉන් පසුව එම වාර්තාව පිළිබඳ සංක්ෂිප්ත ඉදිරිපත් කිරීමක් ජනාධිපතිවරයා විසින් සිදුකළා. මෙම වාර්තාව පිටු 1500කට වැඩි වාර්තාවක්. මෙම වාර්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිදුවන්නේ නීතිපතිවරයාගේ උපදෙස් මතයි. එමෙන්ම මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවද, වෙනත් තැනකට ඉදිරිපත් කරනවද යන්න ආදි සියල්ල සිදුවන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදියි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පැවසුවා. නීතිපතිවරයාගේ උපදෙස් අනුවයි අපි කටයුතු කළ යුත්තේ; ඒ සඳහා දින කිහිපයක් ගතවේවි. ඒ වගේම මෙහිදි තවත් අවධානය යොමු කළයුතු කරුණක් තිබෙනවා. නිර්දේශවල යම් යම් සාක්ෂි තිබෙනවා. යම් යම් තොරතුරු තිබෙනවා. ඇතැම් තොරතුරු තවමත් මහ බැංකුව තුළම තිබෙන්නට පුළුවන්. ඒ සාක්ෂි සුරක්ෂිත කළ යුතුයි. එම සාක්ෂි සුරක්ෂිත නොකළොත් විත්තිකරුවන්ට එම තොරතුරු වෙත ළඟාවෙන්නට පුලුවන් වේවි. ඒ නිසා එවැනි සාක්ෂි සුරක්ෂිත කළ යුතුයි. වාර්තාව ඕනම වෙලාවක ඉදිරිපත් කරන්නට පුළුවන්. නමුත් අපි අදාළ තොරතුරු සුරක්ෂිත කළ යුතුයි. ඒ නිසයි මෙම වාර්තාව ලබාදීම සඳහා සතියක කාලයක් ඉල්ලා සිටියේ.

මෙම වාර්තාව ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මහ බැංකුවේ නිලධාරින් කෝප් කටිටුවට සාක්ෂි දෙන්න ආවේ හිටපු මහ බැංකු අධිපති සිටින වකවානුවේදී. නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහ බැංකු අධිපති ඉවත් කර, මෙම කොමිෂන් සභාව පත්කළ නිසයි මේ තොරතුරු සියල්ලම එළියට ආවේ. ඒ වගේම තමන්ගේ ප්‍රධානියාට විරුද්ධව මොන නිලධාරියාද සාක්ෂි දෙන්නේ. ඇත්තටම කව්රු මොනව කිව්වත් ජනාධිපතිවරයා මේ කොමිෂම පත්කළ නිසයි මේ තොරතුරු ගැඹුරට අධ්‍යයනය කරන්නට පුළුවන් උනේ.

ඒ වගේම මෙම කොමිෂන් සභාව වෙනුවෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් නම් පාර්ලිමේන්තුව රැස් කළා නම් විශේෂ ප්‍රකාශ සිදුකිරීමේ අවශ්‍යතාවක් නැහැ. ජනතාවගේ ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට යන්නේ නීති සම්පාදනය කිරීමටයි. නමුත් නීතිය ගැන නොදන්න අය මේ ආකාරයට මැර ආකාරයෙන් කටයුතු කරනවා. ඒ වගේම කොමිෂමේ වැඩ කටයුතු අවසන් වනතෙක් මාස දහයක් සිටියනම් වාර්තාව දෙනතෙක් තව සතියක් ඉන්න බැරිද?

ඒ වගේම මම දැක්කා තව පිරිසක් කියා තිබෙනවා, මේ කොමිෂම වෙත පත්කර සිටින අයගේ හැකියාව, හා විශේෂඥ දැනුම ගැන ප්‍රශ්නයක් තිබෙන බවට. මෙම කොමිෂමට පත්කළ සියලු දෙනාම ඉතා දක්ෂ, පළපුරුදු සහ මීට වඩා බරපතළ වගකීමක් උනත් භාර දුන්නම නිවැරදිව ඉටුකරන්නට පුළුවන් පිරිසක්. නීතිය නොදන්න අය විවිධ ආකාරයේ ප්‍රකාශ සිදුකරනවා. ඒවා ගැන කලබල වියයුතු නැහැ.

ඒ වගේම මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, විවාද කර පොදු ලියවිල්ලක් බවට පත්වූ විට පුරවැසියාටත් මීට එරෙහිව නඩු දැමීමේ අයිතිය තිබෙනවා‍.

නව අදහස දක්වන්න