මෙවර පුංචි ඡන්දයේ දී දේශපාලනය පිරිසුදු කරන්න ජනතාවට පුළුවන් | දිනමිණ

මෙවර පුංචි ඡන්දයේ දී දේශපාලනය පිරිසුදු කරන්න ජනතාවට පුළුවන්

දේශපාලනය පිරිසුදු තැනකට ගෙන ඒම සඳහා ඡන්දය පාවිච්චි කිරීමට ගමේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

රට නව දිශාවකට යොමු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උත්සාහ කරමින් සිටින අතර කොට්ඨාස මැතිවරණ ක්‍රමය හදුන්වා දීමත් අගය කළ යුතු බව ඇමැතිවරිය සඳහන් කළාය.

ඇමැතිවරිය මේ බව සඳහන් කළේ දිවංගත ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 65වන ජන්ම දිනය නිමිතිකොට ගෙන කටාන විවිධ සේවා සමූපකාර සමිතිය මගින් හීනටියන විවෘත කළ නව මිනිකෝප් සිටී වෙළෙඳසල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේද සඳහන් කළාය.

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොමිසමක් පත් කළා. එය සුවිශේෂි ක්‍රියාවක්. ඒ නිසා බොහෝ දේ අනාවරණය වුණා.

අපට මතක ඇති ඉතිහාසයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක බණ්ඩාරනායක මැතිතුමා එදා වෝල්ටර් තල්ගහපිටිය කොමිෂන් වාර්තාව මගින් එහි නිර්දේශ මත තම ඇමති මණ්ඩලයේම ඇමතිවරුන් තිදෙනෙකු ඉවත් කිරීමට කටයුතු කිරීමයි. බණ්ඩාරනායක මැතිතුමාගේ දේශපාලන දර්ශනය අද දවසේ ක්‍රියාත්මක කිරීමට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පියවර ගැනීම මෙරට දේශපාලනයට ඉතා වැදගත් අවස්ථාවක්.

කටාන ආසනයේ කටුනායක සීදුව නගර සභාව සහ කටාන ප්‍රාදේශීය සභාව සඳහා හොඳ අපේක්ෂිකයන් අපි ඉදිරිපත් කර තිබෙනවා. නව මැතිවරණ ක්‍රමය යටතේ ගමටම වගකියන නියෝජිතයෙක් තෝරා ගන්නට ඔබට හැකියාව තිබෙනවා. මීට පෙර විවිධ කොට්ඨාසවල පුද්ගලයෝ ඔබේ ගමට ඇවිත් මනාපය අරගෙන ඉන් පස්සේ හොයා ගන්නවත් පුළුවන් වුනේ නෑ. නමුත් ඔබේ ගමේම නියෝජිතයකු මෙවර ඔබට පත් කර ගන්න පුළුවන්.

ආණ්ඩුවේ සංවර්ධනය ගමට ගෙන යනකොට මා සමඟ ගමට කටයුතු කරන්න පුළුවන් කෙනෙක් අප නම් කරලා තියෙන්නේ. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයට සිටින එකම පළාත් අමාත්‍යවරයා නියෝජනය කරන්නේ කටාන ආසනයයි. ඒ නිසා එතුමා සමඟ ද හොඳ සම්බන්ධතාවක් තිබෙන අපේක්ෂකයෙක් තමයි ගමට අවශ්‍ය වන්නේ.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා 1989 පළමු වතාවට පාර්ලිමේන්තුවට තේරීපත් වීමෙන් අනතුරුව එතුමාගේ විමධ්‍යගත අරමුදල්වලින් හීනටියන ප්‍රදේශයට විදුලිය ලබා දෙන්න පියවර ගත්තා. අද වනවිට හීනටියන ධම්මාලෝක විද්‍යාලයේ පළමු ශ්‍රේණියට තවත් පන්ති කාමරයක් වැඩි කරගන්න අපට හැකියාව ලැබුණා. ශාලා පහසුකම් වැඩි දියුණූ කිරීම නිසා අද වන විට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන්ගේ ප්‍රමාණයද වැඩි වෙලා.

ජෙයරාජ් ප්‍රන්දුපුල්ලේ මැතිතුමා හීනටියන ගම්මානයට කළ සේවය නොකඩවා කරගෙන යාමට මම කටයුතු කරනවා. එමෙන්ම මත් විරෝධි හඬ ගම පුරා ගෙන යන්න මාත් සමඟ එකතු වන ලෙස ඔබට ආරාධනා කර සිටිනවා.

හරි දේ කර ගෙදර ගියත් ප්‍රශ්නයක් නෑ. අපේ දේශපාලනය ඒ තත්වයට වර්ධනය විය යුතුයි. මීට අමතරව ජෙයරාජ් ප්‍රන්දුපුල්ලේ මැතිතුමා සිහිවීම පිණිස බටහිර කළුවාරිප්පුව දිළිඳු පවුලක් සඳහා ඉදිකළ නව නිවස ඔවුන් වෙත බාරදීම සහ ජනජයගම ජයසුදර්ශනාරාමයේ දී ධර්මානුශාසනාවක් සහ දානමය පුන්‍ය කර්මයක් පැවැත්විණි.

ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකට ලක්ව මියගිය හිටපු ඇමති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 11 වැනිදාට යෙදුනු 65වන ජන්ම දිනය නිමිත්තෙන් මේ පින්කම් මාලාවක් පැවැති අතර කටාන ප්‍රදේශයේ දී සතොස ශාඛාවක් විවෘත කිරිම ද සිදුවිය. 


නව අදහස දක්වන්න

Or log in with...