බැඳුම්කර කොමිසම ගැන අජීත් පී ගෙන් පැමිණිල්ලක් | දිනමිණ

බැඳුම්කර කොමිසම ගැන අජීත් පී ගෙන් පැමිණිල්ලක්

* විපක්ෂයේ ‘මහ මොළකරු’ වාර්තාවෙන් හැලේ
* තොරතුරු පනතින් ජවිපෙ වැඩ ගනියි
* ශ්‍රිලනිප ඇමැතිවරු මහින්දට බැහැ කියති

පසුගිය සති අන්තයේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජනහමු ගණනාවකට ජනාධිපතිතුමා සහභාගි වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන දිවියේදී දිගු කාලයක් තිස්සේ ආධාර කළ හොඳින් දන්නා හඳුනන පිරිසක් පොළොන්නරුව නැඟෙනහිර පළුගස්දමන එක්සත් මරණාධාර සමිති ශාලාවේ පැවැති ජනහමුවට එක්ව සිටියා. එම පිරිස ඇමතූ ජනාධිපතිතුමා ඔවුන්ට අතීතයේ පැවැති තත්ත්වය මතක් කර දුන්නා. ගමේ කොට්ඨාස ක්‍රමයට පැවැති මැතිවරණයක් අවසන් වරට පවත්වා වසර 69 ක් ගෙවී ගොස් ඇති බවත්, එයට තරග කළ හා ජනතා නියෝජිතයාන් ලෙස පත් වූ සමහරු දැන් වයෝවෘද්ධව සිටින බවත් ජනාධිපතිතුමා මතක් කළා. මෙම රැස්වීමට ද එවැනි කිහිපදෙනකු පැමිණ සිටින බවත් ජනාධිපතිතුමා කීවා.

1989 මැතිවරණයේදී තමන් පාර්ලිමේන්තුවට පත්ව ‍ගියේ අත ලකුණින් තරග කර බව කී ජනාධිපතිතුමා නැවතත් අත ලකුණින් මැතිවරණයක් තරග කරන්නේ වසර තිහකට පමණ පසුව බවත් පැවසුවා. කෙසේ වෙතත් මෙම මැතිවරණයෙන් දිනන පරදින සැම දෙනා සමග එක්ව සංවර්ධන බළ ඇණියක් හදන බවත්, දූෂණයෙන් තොර පාලනයක් ගමට ලබාදෙන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් කීවා.

සිරිපුර පැවැති ජනහමුවකට ජනාධිපතිතුමා ඉරිදා සහභාගි වුණා. එහිදී ‍කතා කළ ජනාධිපතිතුමා කීවේ මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමුවේ තමන් නොව අගතිගාමී වැඩ කළ පළාත් පාලන ආයතන සභාපතිවරුන් බවයි. ඔවුන්ගේ රැස්වීමකදී පළාත් පාලන නියෝජිතයන්ට හා සභාපතිවරුන්ට එල්ල වී තිබෙන චෝදනා ගැන කියමින් ඒවා පක්ෂයට විශාල හානියක් බව තමා පෙන්වා දුන් බව ජනාධිපතිතුමා කීවා. තමන්ට පසුව කතා කළ මහින්ද රාජපක්ෂ මහතා කරන දෙයක් අහු නොවන්න කරගන්නවකෝ කියා සභාපතිවරුන්ට අපූරු අවවාදයක් දුන් බව කී ජනාධිපතිවරයා රැස්වීමේ සිටි පිරිස තමන්ට බැන බැන ගිය බව දැනගන්න ලැබුණු බවත් ප්‍රකාශ කළා.

නුවරගල, වෙහෙරගල හා දම්මින්නේ පැවැති ජනහමුවලටද ජනාධිපතිතුමා සහභාගි වුණා. පුංචි ආණ්ඩුවලට පත්වන මන්ත්‍රීවරු වැරදි කළොත් පක්ෂය හෝ තරාතිරම නොබලා දඬුවම් දෙන බව ජනාධිපතිතුමා මේ රැස්වීම්වලදී අවධාරණය කළා. පසුගිය දිනවල ජනාධිපතිතුමා වෙත විශේෂ අවධානයක් යොමු වී තිබුණේ මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳවයි. එම වාර්තාව කොමිසමේ සාමාජිකයින් විසින් ඉකුත් සෙනසුරාදා ජනාධිපතිතුමාට භාරදෙනු ලැබුවා. ජනාධිපතිතුමා පළමුවෙන්ම කළේ කිසිවකුට වාර්තාව බැලිය නොහැකි ලෙස එය අල්මාරියක තැන්පත් කිරීමයි. එහි ඇති කරුණු නිල වශයෙන් දැනුම් දෙන තෙක් පිටවීම වැළැක්වීම ජනාධිපතිතුමාගේ අරමුණ වුණා.

මෙම කාරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ සැලසුමක් අනුවය. බැඳුම්කර කොමිසමේ වාර්තාව සෙනසුරාදා ලබාගත් ජනාධිපතිතුමා පසුගිය රජයේ දූෂණ සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ ඉතිරි වාර්තා 17 ක් අඟහරුවාදා ගෙන්වා ගත්තා. එම වාර්තා සියල්ල අධ්‍යයනය කළ ජනාධිපතිතුමා බදාදා කළ විශේෂ ප්‍රකාශය ඉතා පරිස්සමෙන් සකස් කර ගත්තා.

බැඳුම්කර කොමිසමේ හා ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තා හැදෑරූ ජනාධිපතිතුමා රටට කරන විශේෂ ප්‍රකාශය බදාදා උදේ පටිගත කරවා ගත්තා. කෙසේ වෙතත් එය එදින සවස වනතෙක් මාධ්‍යයට නිකුත් කළේ නැහැ. සවස හයට පමණ සියලු මාධ්‍ය ආයතනවලට එකවර එම ප්‍රකාශය නිකුත් කරනු ලැබුවා. බැඳුම්කර කොමිසමේ හෙළිදරව් කිරීම් ගැන රටට ප්‍රකාශ කළ ජනාධිපතිතුමා වැරදිකරුවන්ට දඬුවම් කිරීම සඳහා නීතිපතිගේ උපදෙස් අනුව ක්‍රියා කරන බව කීවා. රජයට සිදුව ඇති පාඩුව අයකර ගැනීමට විශේෂ නීති ගෙන එන බවත් එතුමා ප්‍රකාශ කළා.

තමන් මේ කොමිසම් සභා පත් ක‍ෙළ් කිසිදු පක්ෂයකට එරෙහිව නොවන බවත් ප්‍රධාන පක්ෂ දෙකටම මෙයින් චෝදනා එල්ල වී තිබෙන බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

2018 වසර ආරම්භයත් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උත්සව හා තීරණාත්මක හමු කිහිපයකට එක් වුණා. වරාය මූල්‍ය නගරය නිරීක්ෂණය කිරීම, රට පුරා නොමිලේ ගිලන් රථ සේවාව ව්‍යාප්ත කිරීම හා එජාප මැතිවරණ අපේක්ෂකයන් සිරිකොතදී හමුවීම අගමැතිවරයා ගෙවීගිය සතියේ එක්වූ විශේෂ ක්‍රියාකාරකම් අතර මුල් තැන ගත්තා.

අගමැතිවරයාගේ නව වසරේ කැවුම් කිරිබත් කෑමේ උත්සවය ජනවාරි 02 දා අරලිය ගහ මැදුරේදී යොදාගෙන තිබුණා.

“බැඳුම්කර වාර්තාවේ මොනවද තියෙන්නේ” මැති ඇමතිවරු මෙන්ම මාධ්‍යවේදීන්ද එහිදි අගමැතිවරයාගෙන් විමසුවා.

“මම දන්නේ නැහැ. ජනාධිපතිතුමාටයි වාර්තාව භාර දුන්නේ. ඒකේ තියන වැදගත්ම කරුණු හෙට එතුමා රටට එළිකරාවි.”අගමැතිවරයා කිව්වා.

මැතිවරණ කාලයකදී ජනමාධ්‍ය විසින් අනුගමනය කළ යුතු නියාමන ගැන මැතිවරණ කොමිසම එවා තිබූ යෝජනාවලට එකඟත්වය පළ කරමින් අත්සන් තබා පාර්ලිමේන්තුවට යැවීමද කිරිබත් සාදයට පෙර සිදු වුණා.

“මේ රටේ ජනමාධ්‍යවලට අසීමිත නිදහසක් අපි දීලා තියනවා. දැන් මරන්නේ පැහැර ගන්නේ ගිනි තියන්නේ නෑ. ඒ නිසා අඩු ගානේ ඡන්දයක් වෙලාවටවත් අසාධාරණ ලෙස ක්‍රියා නොකර මැතිවරණ කොමිසමේ නියාමනවලට එකඟව කටයුතු කිරීම කාගේත් වගකීමක්”අගමැතිවරයා කීවා.

අගමැතිවරයා බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරට යන විට වෙනදාටත් වඩා වැඩි මැති ඇමතිවරු පිරිසක් එහි පැමිණ තිබුණේ ජනපතිගේ ප්‍රකාශයට අදාළ අගමැතිවරයාගේ ස්ථාවරය දැන ගැනීමටයි.

“ජනාධිපතිතුමාගේ ප්‍රකාශය අනුව ඒ කොමිසන් වාර්තාව ටිකක් දුබල එකක් බව පෙනී යනවා කියා නීති විශාරදයො කීප දෙනෙක් මට කිව්වා”දයා ගමගේ මහතා පැවසුවා.

“ජනාධිපතිතුමා ප්‍රකාශය කළේ කොමිසමේ වාර්තාව අනුවයි. මහ බැංකුව කඩපු මහ මොළකරු අගමැතිතුමා කියලා විපක්ෂයයි ජනමාධ්‍යයි කෑගැහුවට එතුමාට චෝදනා කිසිවක් නෑ”ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

“මම අර්ජුන් පත් කිරීම නීත්‍යානුකූල බව කොමිසම පිළිගෙන තිබෙනවා. ඒත් මම පාර්ලිමේන්තුවේදී අර්ජුන හා සමරසිරි ගැන කතා කළා කියලා ඒ වාර්තාවේ තිබිල තියනවා.වගකීමක් ඇතිව වැඩ කරන්න පත් කරපු ඒ නිලධාරීන් මට කියපු දේවලුයි මම පාර්ලිමේන්තුවේදී කිවුවේ. අර්ජුන මහ බැංකු අධිපති, සමරසිරි නියෝජ්‍ය අධිපති හා ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියායි. ඔවුන් නොමග යැව්වද නැද්ද මම අදටත් දන් නෑ” අගමැතිවරයා පැහැදිලි කළා.

“ඔබතුමා ත්‍රි පුද්ගල කමිටුවක් පත් කරලා වාර්තාවකුත් ගත්තා. ඒවා අදාළ අංශවලට හා කෝප් එකේ මේ ප්‍රශ්නය ගැන සොයන්නත් පසුබිම හැදුවා. සමහරුන්ට මේවා මතක නෑ” ගයන්ත කරුණාතිලක මහතා කිව්වා.

“රවීට අල්ලස් එකේ හා අපරාධ නීතිය යටතේ නඩු දැමිය යුතු බව කොමිසම් වාර්තාව කියලා තියෙන එකයි දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ” වජිර අබේවර්ධන මහතා කිව්වා.

“අල්ලස් ගත්තා නම් ඒක බැඳුම්කරයට සම්බන්ධ කොහොමද කියලා වාර්තාවේ තිබිය යුතුයි. එහෙම එකක් පේන්න නෑ. එහෙම නම් අල්ලස් කොමිසම මේවා විභාග කරලා ඔප්පු කළ යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව මෙතනදි එක්කෝ බාගෙට වැඩ කරලා. නැතිනම් අනවශ්‍ය ප්‍රශ්නයක දැන හෝ නොදැන පැටලිලා කියලයි නීති අංශවල මතය වෙන්නේ”ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවා.

“රවී එල්ලන්න සමහරුන්ට ඕන වුණත් ඒකට පසුබිමක් නෑ” අගමැති කිව්වා. “බැඳුම්කරවලට සම්බන්ධ වන සියලු සමාගම් ලාභ ඉපයීම කරනවා. ඇලෝසියස්ලාගේ සමාගමක් මෙතනදි වංචාවකට වඩා අයුතු ලාභ ඉපයීමක් කරපු බවයි පේන්නේ. ඒක අපරාධ නීතිය උල්ලංඝනයක් නොවන බවයි නීති විශාරදයො කියන්නේ. ඒත් අයුතු ලාභයක් ලැබුවා නම් ඒවා අයකරගත යුතු බවට කොම්සම නිර්දේශ කිරීම වටිනවා. අයුතු ලාභ ලබලා නම් ඒවා අයකරගත යුතු බව අගමැතිතුමාගෙත් මුල ඉදලා තිබුණු ස්ථාවරයයි” දයා ගමගේ මහතා පැහැදිලි කළා.

“මා ඇතුළු එජාප මන්ත්‍රිවරු පහක් හා ඇලෝසියස් අතර දුරකථන සංවාද තිබිලාය කියලා නීතිපති අංශ හා කොමිසම හරහා ජනමාධ්‍යවලට ගිහින් තිබුණා. වාර්තාවේ ඒ ගැන චෝදනාවක් නැති නිසා අපි මේ ගැන තදින් ක්‍රියා කරනවා. මේ මහා බොරුව ගැන කරුණු කියන්න ඉල්ලුවත් මට කොමිසමෙන් අවස්ථාව ලැබුණේ නෑ. අපි අගමැතිතුමාට, ජනාධිපතිතුමාට , කථානායකට හා අනික් වගකිවයුතු හැම තැනටම මේ ගැන පැමිණිලි කරනවා. අපිට යුක්තිය ඉටු කිරීම සියලු පාර්ශවවල වගකීමයි. " අජිත් පී. පෙරේරා මහතා කිව්වා.

"ඔබ ඇතුළු ඒ මන්ත්‍රිවරු පස්දෙනා ගැන එජාපය පෙනී සිටිනවා. අගමැතිතුමා දැනටමත් මට ඒ ගැන උපදෙස් කීපයක් දීලා තියෙන්නේ" ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිව්වා.

"මේ වාර්තාව මැතිවරණයට බලපාවිදැයි සමහරු අහනවා. ඡන්දයක් මැද මේ වාර්තාව හා දූෂණ වංචා වාර්තා එළිදැකීම පුදුමයක් බවත් සමහරු කියනවා" ගයන්ත කරුණාතිලක මහතා පැවසුවා.

"ජන්දයට මේකේ බලපෑමක් නෑ. " එහිසිටි මැති ඇමතිවරු සියලු දෙනාගේ මතය වුණා.

"ඊයේ එක ටී.වී. චැනල් එකක් බැඳුම්කර වාර්තාව ගැන බලන් ඉන්න බැරි තරමේ ලැජ්ජ නැති රැඟුමක් කළා කියලා මිනිස්සු මට කිව්වා. ඔය ටී.වී. කාරයාගෙයි වටේ ඉන්න එජාප වීරෝධීන්ගේ ලණු කාලා ශ්‍රි.ල.නි.ප. ය තවත් අනාථ වෙනවා" පී.හැරිසන් මහතා කිව්වා.

"ජනාධිපතිතුමාත් ඔය අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි. එතුමාගේ පක්ෂය ශ්‍රි.ල.නි.ප. ය වුණාට එතුමාගේ ඡන්ද පදනම තියෙන්නේ එජාපය එක්කයි. ඒ අනුව වැඩ නොකළොත් එතුමාගේ රැකවරණයටත් අන්තිමට කවුරුවත් නැති වේවි” ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කී දේ අගමැතිවරයාද අනුමත කළා.

වරක් සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ‘ගමින් ගමට - දොරින් දොරට’ වැඩසටහන යටතේ සූරියවැව,මහගල්වැව ගම්මානයට ගියේ එම ගම්මානය නිරීක්ෂණය කිරීමටයි. ඇමැතිවරයා සිය ගමට පැමිණි බව සැලවී එතැනට තරුණයන් දෙදෙනෙකු දිව ආවේ ඉතා අපිරිසුදු පැහැගත් වතුර පිරවුණු බෝතල් දෙකක්ද සමඟයි. සජිත් ඇසුවේ “මොකක්ද මේ ප්‍රශ්නය” කියාය. තරුණයන් දෙදෙනා කතා කළේ කෝපය මැඬගනිමිනි. “මේ තමයි, අපි බොන වතුර... ඔබතුමා ‘ගමින් ගමට - දොරින් දොරට’ කිය කියා යනවා. මොකක්ද අපිට දෙන විසඳුම කියල දැනගන්ඩයි ආවේ ”. සජිත් ඔවුන්ට කන් දී සිට ඇසුවේ “මල්ලී කොච්චර කල් වෙනවද මේ ව්‍යාපෘතියට” කියායි. “පහුගිය ආණ්ඩු කාලේ. මොකක්ද ඔබතුමා මේකට කරන්නේ කියන්ඩ” තරුණයන් අසද්දී සජිත් කීවේ “මං අභියෝගය භාරගන්නවා” යනුවෙන්. ඒ මොහොතේම සජිත් හම්බන්තොට ප්‍රජා ජල දෙපාර්තමේන්තුවට ඇමතුමක් ලබාදෙමින් කීවේ සූරියවැව මහගල්වැව ප්‍රජා ජල ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම සඳහා ඉතා ඉක්මනින් ඇස්තමේන්තුවක් සකස් කර දෙන ලෙසයි.

මහගල්වැව, කුඹුක්වැව, මීගහජදුර සහ සූරියආර වසම්වල පවුල් 697 කට පිරිසුදු පානීය ජලය ලැබෙන මෙම ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන ලෙස රුපියල්ලක්ෂ 121 ක මුදල මහගල්වැව ‘සුහද ප්‍රජා ජල සංවිධානය’ වෙත භාරදීම සඳහා පැවති උත්සවයේදී සජිත්ට අර තරුණයන් දෙදෙනා නැවත හමුවුණා. “ඔන්න ඔය දෙන්න එදා මට අභියෝග කළා නේද? අපි අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්න මේස උඩ ගොඩගැහෙන්න අරින්නේ නෑ. දෙන්නේ ක්ෂණික විසඳුම්. ‘ගමින් ගමට - දොරින් දොරට’ නියම අරුත තමයි මේ.” සජිත් කියද්දී තරුණයන් දෙදෙනා කීවේ “සර් අපි හීනෙන්වත් හිතුවෙ නෑ මේ වැඩේ මෙච්චර ඉක්මනින් පටන්ගනී කියලා. අපට තවත් උදව්වක් ඕනෑ” කියා යි. “අපේ ගමේ ළමයි 200ක් ඉගෙන ගන්න ඉස්කෝලේ බිත්තිවල පතුරු ගැලවෙනවා. කඩා වැටෙයිද දන්නෙ නෑ.” ඔවුන් කියද්දී සජිත් ඇසුවේ “ඇයි එදා නොකීවේ - මටත් පුදුමයි ජනාධිපතිවරයෙක් දෙවරක්ම පත්කරපු මේ පළාතේ මෙහෙම ඉස්කෝල තිබීම ගැන” කියා යි. “කඩාගෙන වැටෙන්න යන ගොඩනැගිල්ලක් හදල වැඩක් නෑ මල්ලී. මම ඒ වෙනුවට අලුතෙන්ම ගොඩනැගිල්ලක් හදලා දෙන්නම්. ඒ වැඩේට දානපති පරිත්‍යාගශීලීන් කීප දෙනෙක් හොයාගන්නත් බැරි නෑ. එකම දේ, මේ දවස්වල පවතින මැතිවරණ නීති - රීතිවලට පටහැනි නොවෙන්නත් ඕනෑ. මැතිවරණ කොමසාරිස් ජනරාල්තුමාගේ අවසරය ඇතිව විතරයි කරන්න පුළුවන්. අපි උත්සාහයක් අරන් බලමුකෝ” සජිත් තරුණයන් දෙදෙනාගේ පිටට තට්ටුවක් දමමින් කීවා.

දෙසැම්බර් 28 වන දින වජිර අබේවර්ධන ඇමතිවරයා උඩුනුවරට ගියේ රුපියල් ලක්ෂ 1400ක වියදමකින් ඉදිකරනු ලබන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීමටයි. "රජයක් ලෙස අපි රාජ්‍ය සේවකයන් ගැන වඩාත් සැලකිලිමත් වෙලා ඔවුන්ව බලා ගත්තා. ඔවුන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළේ අපි බලයට පත් වු 2015 ජනවාරි මාසයේදීමයි. ඉන් පසු 2020 වෙනකන් මේ වැටුප් වැඩි වෙමින් ඉතා ශක්තිමත් මූලික වැටුපක් සියලුම රාජ්‍ය සේවකයින්ට ලැබෙනවා". ඒ නිසා ඔවුන් මහජනතාව හොඳින් බලා ගත යුතු යැයි ඇමති වජිර මෙහිදී පැවසුවා.

වජිර අබේවර්ධන ඇමතිවරයා මේ දිනවල වැඩි වෙහෙසක් ගන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත්‍රික්කයේ දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරදීම සඳහායි.

ඒ අනුව ඉකුත් සති අන්තයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන බලමණ්ඩල 10ම කැඳවීමට ඇමති වජිර පියවර ගෙන තිබුණා. මෙම ආසන බලමණ්ඩල රැස්වීම් සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරු ද එක්ව සිටියා.මෙම ආසන බලමණ්ඩල රැස්වීම්වල දී ඡන්දපොත් බෙදාදී මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් අදාළ අමාත්‍යවරු විසින් සිදු කළා.

ජනවාරි 02 වැනි දින 2018 වසරේ අරලියගහ මන්දිරයේ රාජකාරි කටයුතු ඇරඹිමේ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇමති වජිර ද එක් වුණා. මැතිවරණ කොමිසම විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට මෙම අවස්ථාවේ දී අගමැතිවරයා අත්සන් කළ අතර එම අවස්ථාවට ඇමති වජිර ද එක්වුණා.

ඉන් පසුව කෙළින්ම ඇමති වජිර ආවේ නව වසරේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ දෙක මගින් සංවිධානය කර තිබු උත්සව අවස්ථාවට එක් වීම සඳහායි.මෙහිදි ඇමතිවරයා කියා සිටියේ 2018 වසර සුවිශේෂ වර්ෂයක් බවයි.ඒ නිවාඩු දින 124ක් සහ පෝය 13ක් යෙදී ඇති නිසාත් වෙසක් පෝය අප්‍රේල් 29 වැනි දිනට යෙදී ඇති නිසාත්ය.නිවාඩු දින නොතකා රට සහ ජනතාව වෙනුවෙන් රාජ්‍ය නිලධාරින් ලෙස සේවය කිරීමේ වැදගත්කම ඇමති වජිර අබේවර්ධන ඇමතිවරයා මෙහි දී අවධාරණය කළා.

බදාදා සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවැති එජාප ආසන සංවිධායකවරුන් ගේ රැස්වීමේ දී පක්ෂ මහලේකම් කබීර් හෂිම් මහතා ඇමති වජිරට විශේෂ ස්තූතියක් පළ කළා.ඒ ඉකුත් සති අන්තයේ දී ගාල්ල ආසන බලමණ්ඩල 10 අතිසාර්ථක ලෙස පැවැත්වීම පිළිබඳවයි.

ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල පළාත් පාලන ඡන්ද ව්‍යාපාරයේ රට පුරා නියැළී සිටිනවා. පක්ෂ නායකයන් ගමින් ගමට ගොස් රැස්වීම් තබමින් ඉල්ලන්නේ ‘ගමේ බලය ජවිපෙට දී බලන ලෙසයි. ප්‍රධාන පක්ෂ දෙකම පළාත් පාලන ආයතනවල දූෂණවලට වගකිව යුතු බවත් දූෂණයෙන් තොර පාලනයක් සඳහා ජවිපෙට බලය ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

පක්ෂයේ ඍජු සාමාජිකයන් නොවන විශාල පිරිසක් මෙවර ජවිපෙය මගින් පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත්කොට සිටිනවා. ගුරුවරුන්, රජයේ සේවකයන්, වෘත්තීයවේදීන් අතරින් තෝරාගත් අපේක්ෂකයන් ජ.වි.පෙ. යටතේ තරග වදිනවා. ඔවුන් වැඩි දෙනෙක් ගම්වල පිළිගැනීමක් ඇති උදවියයි. දූෂණයට විරුද්ධවීමට මෙබඳු පිරිසක් ඉදිරිපත් කළ බව ජ.වි.පෙ කියනවා. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ප්‍රකාශකොට තිබුණේ ප්‍රධාන පක්ෂවල දේශපාලනඥයන් දූෂණය පටන් ගන්නේ පාර්ලිමේන්තුවේදී නොව පළාත් පාලන ආයතනවලදී බවයි.

බැඳුම්කර කොමිසමේ වාර්තාව පසුගිය සෙනසුරාදා භාරදුන් පසුව ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එම වාර්තාව ඉල්ලා සිටීමටයි. පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා කීවේ දූෂණ පරීක්ෂා කිරීමට කොමිසන් පත් කිරීම හා එම වාර්තා යට ගැසීම දැන් නාටකයක් වී ඇති බවයි. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජ.වි.පෙ. කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. වාර්තාව සති දෙකකින් පමණ ලබාදෙන බව ඔවුනට දන්වනු ලැබුවා.

මේ අතර ජවිපෙ කතා නායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේ බැඳුම්කර වාර්තාව ගැන හදිසි විවාදයක් සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. එසේ වුවද එලෙස කැඳවීමක් කළ හැක්කේ අගමැතිතුමාගේ ඉල්ලීමක් අනුව බව කී කරූ ජයසූරිය මහතා ජවිපෙ ඉල්ලීම අගමැතිතුමාට යොමු කිරීමට කටයුතු කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දෙවැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩ‍ාංගණයෙන් ආරම්භ කළා.පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින සියලු අපේක්ෂකයන් එයට කැඳවා තිබුණා. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර,මහත්වරුන් හා එම මන්ත්‍රී ක‍ණ්ඩ‍ා‍යමේ උදයවියත් මෙම‍ අවස්ථාවට සහභාගි වී සිටිය‍ා. රැස්වීමේ වේදිකාව වෙත මහින්ද රාජපක්ෂ මහතා කැඳවාගෙන ආවේ නැටුමක් මැදින්. මෙහි සියලු සංවිධාන කටයුතු ක‍ළේ බැසිල් රාජපක්ෂ මහතායි.

රැස්වීමේ කතා කළ මහින්ද රාජපක්ෂ මහතා කීවේ තමන්ගේ ජායාරූපය ජන්දය සඳහා යොදා ගැනීමට බොහෝ දෙනාට අවශ්‍යව තිබෙන බවත්,එයට‍ තමන්ගේ විරුද්ධත්වයක් නැති බවත්ය .එසේ වුවත් එම රුව අයිති පොහොට්ටුවට බව මහින්ද රාජපක්ෂ මහතා කීවා.

මහින්ද පි‍ලේ අය ජනාධිපති මෛත්‍රී වෙත යාම ආපසු හරවන්න ආණ්ඩුවේ ඇමැතිවරුන් කිහිප දෙනෙක් මේ අවස්ථාවට ගෙන්වා ගන්න මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍යව තිබුණා. ඒ සඳහා ඔහු කිහිප දෙනෙකුටම කතා කළා.ඔවුන් කලින් කියා තිබුණේ තීරණාත්මක මොහොතක එකතු වෙන බවයි.එසේ වුවද මේ මොහොතේ කතා කළ විට හැම දෙනාම කීවේ දැන් නොව පසු අවස්ථාවක වේදිකාවට එන බවයි.එය මෙම මැතිවරණයෙන් පසුව වෙනත් අවස්ථාවක බවත් ඔවුන් කීවා. සබරගමුවේ ප්‍රබලයකු කීවේ පළාත් සභා මැතිවරණය අවස්ථාවේ එන බවයි.එලෙස සියලු දෙනාම මේ අවස්ථාවේ මහින්ද පිලට එකතු වීම මඟ හැරියා.එය මහින්ද පිලට තරමක පසුබෑමක් වුණා.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහත‍‍‍ාට ලිපියක් යොමු කළා.එම ලිපියෙන් රාජපක්ෂ මහතා කීවේ මෙම මැතිවරණයේදී තමන්ගේ ජායාරූපය දා ගන්නා අ‍පේක්ෂකයන් එසේ කිරීම ගැන තමන්ගේ විරුද්ධත්වයක් නැති බවත්,එසේ වුවද ඔවුන් මැතිවරණ නීති කැඩීම ගැන තමා වගකීමක් නොදරණ බවත්ය.තම පක්ෂයේ අපේක්ෂකයන් මැතිවරණ නීති කඩන විට ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ ලිපියෙන් ඉල්ලා තිබුණා. 

නව අදහස දක්වන්න