‘සුවසැරිය’ කඩිනමින් රෝහලට සුවෙන් යළි නිවසට | දිනමිණ

‘සුවසැරිය’ කඩිනමින් රෝහලට සුවෙන් යළි නිවසට

පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන්රථ සේවාවක් ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව “සුවසැරිය“ ගිලන්රථ සේවාව මෙරටට ප්‍රදානය කිරීමට ඉන්දියානු රජය තීරණය කළේය. 2015 මාර්තු මස එම ඉල්ලීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකෙරිණි. එහි පළමු පියවර ලෙස ඉන්දියානු රජයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට සුවසැරිය ගිලන්රථ 88 ක් 2016 ජූලි මස 29 වැනිදා ලැබිණි. එය මෙරට ජනතාවගේ පිනට ලැබුණු පරිත්‍යාගයක් ලෙස හැඳින්විය හැකිය.

මේ සේවාව නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක මුල් කර ගනිමින් බස්නාහිර සහ දකුණු පළාත්වල පමණක් ක්‍රියාත්මක විය. මේ සේවාවේ සාර්ථකත්වය සහඅවශ්‍යතාව දැඩිව දැනෙන්නට පටන් ගැනීම හේතුවෙන් රට පුරාම එය ව්‍යාප්ත කරන්නට රජය තීරණය කර තිබේ. ඒ අනුව තවත් සුවසැරිය ගිලන්රථ 209 ක් ඉන්දියානු රජයෙන් පරිත්‍යාගයක් ලෙස මෙරටට ප්‍රදානය කෙරිණ. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 15 කි. ශ්‍රී ලංකා මුදලින් නම් එහි වටිනාකම රුපියල් මිලියන 2300 කි. ඉන්දියානු - ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීමට මෙමඟින් හැකියාව ලැබීම ද විශේෂත්වයකි. ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක වටිනාකමින් යුක්ත සුවසැරිය ගිලන්රථ 88 ක් පළමු වතාවට ඉන්දියාවෙන් ත්‍යාගයක් විදියට අපට 2016 වසරේදි ලැබිණි.

“සුවසැරිය“ ගිලන්රථ සේවාව ප්‍රථම වතාවට මෙරටට හඳුන්වාදීමේදී විවිධ චෝදනාවන් ඉදිරිපත් වුවද අද වන විට එම සේවාවේ අගය සමස්ත ජනතාවටම දැනෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස රට පුරාම සේවාව ව්‍යාප්ත කිරීමට රජය තීරණය කර ඇත. 2016 ජූලි මාසයේදි ප්‍රථම වතාවට මේ සේවාව ආරම්භ කිරීමෙන් පසුව මේ දක්වා 57,564 වාරයක් ගිලන්රථ ප්‍රවාහනය කර තිබේ. ඒ දිස්ත්‍රික්ක හයක් තුළ පමණි. වැඩි වශයෙන්ම ගිලන්රථ යොදා ගෙන තිබෙණුයේ රථ වාහන අනතුරුවලට ලක්වූ රෝගීන් රෝහලට ප්‍රවාහනය කිරීම සඳහා ය. සියයට 14.2 ක් රථ වාහන අනතුරුවලට ලක් වූ රෝගීන් මෙමඟින් ප්‍රවාහනය කර තිබේ. සියයට 10 ක් හෘදයාබාධ රෝගීන් ද, සියයට 14 ක් ස්වසන අපහසුතාවලින් පෙළුණු රෝගීන් ද, සියයට 11 ක් ගෘහස්ථ අනතුරුවලට මුහුණ දුන් රෝගීන් ද සුවසැරිය ගිලන්රථ සේවාවෙන් ප්‍රවාහනය කර ඇත. මේ ගිලන්රථ තුළදී දරු ප්‍රසූති 21 ක් සිදුව තිබේ. සියලු දරුවන් නිරෝගීව ජීවත් වන අතර මේ සේවාව මඟින් රෝහලට ප්‍රවාහනය කළ කිසිදු රෝගියකු මේ දක්වා මරණයට පත් නොවීම විශේෂත්වයකි.

අංග සම්පූර්ණ නවීන තාක්ෂණයෙන් යුක්ත ගිලන්රථ සේවාවක් වන මෙමඟින් රෝගීන්ට ලැබෙන සත්කාර ඉතාම ඉහළය. රෝගියා රෝහල වෙත ප්‍රවාහනය කරන තෙක් අතරමඟදි හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා පුහුණු නිලධාරියෙක් හෝ නිලධාරිනියක් ගිලන්රථය තුළ සිටීම සේවාවෙහි පවතින ගුණාත්මකභාවය ඉහළ නැංවීමට විශේෂ හේතුවක් වී තිබේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ආශිර්වාදය ඇතිව ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් යටතේ ආරම්භ කළ මේ ජනතා සේවාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ගේ පූර්ණ සහයෝගය ඇතිව “සුවසැරිය“ ජනතා සේවය ක්‍රියාත්මක වේ. 1990 දුරකථන අංකය අමතන සැණින් ප්‍රතිචාර ලබාදෙන මේ සේවාව ඕනෑම රෝගියකුට නොමිලේ ලබා ගත හැකිය. පක්ෂ, පාට, ජාති, කුල භේදයකින් තොරව ක්‍රියාත්මක වන මේ සේවාව යහපාලන ආණ්ඩුව යටතේ ආරම්භ කළ සුවිශේෂ ජනතා සේවාවක් ලෙස හඳුන්වාදිය හැකිය. සුවසැරිය ගිලන්රථ සේවාව මඟින් පළමු අදියර යටතේ 500 ක් පමණ ශ්‍රී ලාංකිකයන්ට රැකියා ලැබුණු අතර සේවාව රට පුරාම ව්‍යාප්ත කිරීම මඟින් 1500 කට වැඩි ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවකට රැකියා අවස්ථාව හිමිවීමට නියමිත ය. මේ සේවාව මෙතෙක් ලබා ගත් ජනතාවගෙන් දහස් සංඛ්‍යාත ප්‍රශංසාත්මක ලිපි සංඛ්‍යාවක් “සුවසැරිය“ මධ්‍යස්ථානයට ලැබී තිබේ.

හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 25,000 ක් පමණ මරණයට පත් වේ. හදිසි අනතුරු පමණක් වසරකට 58,441 ක් සිදු වන බවට වාර්තා වේ. හදිසි අනතුරුවලින් මරණයට පත් වන පුද්ගලයින් 25,000 න් 5000 කගේ හෝ ජීවිත මේ සේවාව මඟින් බේරා ගන්නට හැකි වීම විශාල ජයග්‍රහනයකි. අනතුරුවලට ලක් වන බහුතරයක් පිරිස රෝහල වෙත ප්‍රවාහනය කරනුයේ ත්‍රීරෝද, බස්රථ, වෑන් රථ හෝ වෙනත් වාහනයකය. එසේ ප්‍රවාහනය කිරීමේදි අතරමඟදි ඔවුන්ට සිදු වන හානිවලින් ජීවිතයේ පූර්ණ කාලීනව ආබාධිත තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන අවස්ථාවන් ද පවතියි. ඇතැම් අවස්ථාවන්හිදී ඔවුන්ගේ ජීවිතය පවා අහිමි වීම වේ. මේ අනතුරුදායක තත්ත්වයෙන් රෝගීන් බේරා ගැනීමට ඉතාම සුදුසු සේවාවක් ලෙස සුවසැරිය ගිලන්රථ සේවාව හඳුන්වාදිය හැකිය.

සුවසැරිය ගිලන්රථ සේවාවේ ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානය කෝට්ටේ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් වැය වේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 600 කි. ඉන්දියානු රජයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු මේ සේවාවට රට තුළ ස්ථාවරත්වයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. ඒ අනුව “1990 - සුවසැරිය පදනම පනත ලබන මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය. සුවසැරිය පදනම නමින් මේ ගිලන්රථ සේවාව ස්ථිරසාර අනාගතයක් කරා ගෙන යන වැඩපිළිවෙළක් ලෙස ස්ථාවර කිරීමට එමඟින් අදහස් කරයි.

රජයේ රෝහල් වල තිබෙන ගිලන්රථ සේවා වලින් කරනුයේ රෝහලකින් තවත් රෝහලකට රෝගීන් ප්‍රවාහනය කිරීමය. 1990 සුවසැරිය මඟින් කරනුයේ පූර්ව රෝහල් හදිසි වෛද්‍ය සේවාවක් පවත්වාගෙන යාමයි. රෝහලෙන් පිටත සිටින රෝගියකු රෝහලට ගෙන යන තුරු ඔහුට ප්‍රතිකාර කරන මාධ්‍යයක් සහ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මේ සේවාව ක්‍රියාත්මක වේ. හදිසි අනතුරුවලදී රෝගියාට මූලික ප්‍රතිකාර ලබාදෙමින් අදාළ රෝහලට ප්‍රවාහනය මෙමඟින් සිදු කරයි. රෝහලකින් රෝහලට රෝගීන් ප්‍රවාහනය කිරීම අදටත් සිදු වන අතර එය වැඩිදියුණු කිරීමක් ලෙස මේ ගිලන්රථ සේවාව ස්ථාපිත කර තිබේ. මාර්ගයේදි, නිවසේදි හදිසි අනතුරක් හෝ වෙනත් අසනීපයක් වුවහොත් රෝගියා සුරක්ෂිත කර වහාම රෝහලට ගෙන යාම අවශ්‍ය වුවත් එය එසේ සිදු නොවීම ගැටලුකාරි තත්ත්වයකි. කෙසේ හෝ රෝගියා රෝහල වෙත ගෙන ගියත් ප්‍රවාහනය කරන මාධ්‍යය පිළිබඳව ගැටලුවක් ඇති වේ. නිවසේ තිබෙන පෞද්ගලික වාහනයක් හෝ ත්‍රීරෝද රථයක් වැනි වාහනයක් භාවිතා කරමින් රෝගියා ප්‍රවාහනය කළත් එවැනි අවස්ථාවකදී කිසිදු ප්‍රතිකාරයකින් තොරව රෝගීන් ප්‍රවාහනය නිසා රෝගීන්ගේ ජීවිත අහිමි වූ අවස්ථා තිබේ. ජීවිත ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් අලුතෙන්ම මෙරට ආරම්භ කළ සේවාවක් ලෙස සුවසැරිය ගිලන්රථ සේවාව ඒ අනුව ඉතිහාසගත වන්නේ ඒ හේතුව නිසාය.

ද්වීතියික අනතුරු බොහොමයක් මෙරට සිදු වේ. අනතුර සිදු වූවාට පසුව රෝහලට රැගෙන යන තෙක් සිදු වන අනෙකුත් අනතුරු ද්වීතියික අනතුරු ලෙස හඳුන්වයි. සුවසැරිය මඟින් ද්විතියික අනතුරු අඩු කරයි. සුවසැරිය දැනට හැමෝම අතර ප්‍රචලිත සේවාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම් ලත් කාර්ය මණ්ඩලයක් මෙහි සේවාවේ යෙදෙයි. දුරකථන ඇමතුම් 324,000 ක් පසුගිය වසරක පමණ සේවා කාලයේදි ලැබී තිබේ. ඉන් 38,203 කට ගිලන්රථ සේවාව ලබා දී ඇත. පළමු වතාවට මෙරටට ලැබුණු ගිලන්රථ 88 මෙහෙයවීම සඳහා 550 ක කාර්ය මණ්ඩලයක් සේවයේ නිරත වූහ. රෝගියකු රෝහල වෙත ප්‍රවාහනය කිරීමට දුරකථන ඇමතුමක් ලබාදී විනාඩි 12 ක් වැනි කෙටි කාලයකින් අදාළ ස්ථානයට යාම මේ සේවාවේ පවතින විශේෂත්වයකි.

කිසියම් පුද්ගලයකු හදිසි අනතුරකට ලක් වූ විට ඉතා ඉක්මණින් රෝහලට ගෙනයාමට අසල්වාසීන්, හිතවතුන් උත්සුක වේ. ගිලන්රථයක් පැමිණෙන බව කීවත් ඔවුන්ට ඒ ගැන විශ්වාසයක් නොමැත. එම නිසා මේ සේවාව සම්බන්ධයෙන් යහපත් ආකල්පයක් ජනතාව තුළ ගොඩනැංවිය යුතුය. දවසේ පැය 24 පුරාම වසරේ දවස් 365 දීම දිවා රෑ නොබලා මේ සේවාව ස්ථිරසාර ලෙස ක්‍රියාත්මක වේ. නිවසේ තිබෙන සුඛෝපභෝගි වාහනයේ නොගොස් ගිලන්රථයෙන් රෝහලට ප්‍රවාහනය කර ගැනීමේ වාසි රැසකි. ඕනෑම හදිසි අනතුරකදී අනතුරට මුහුණ දුන් පුද්ගලයා වෙත රත්තරන් පැයක් (Golden hour) හිමි වේ. අදාළ මුල් පැයේදි සිදු කරන ප්‍රතිකාර ජීවිතයම සුරක්ෂිත කරයි. කොතරම් ඉක්මනට අනතුරට මුහුණ දුන් පුද්ගලයා සනීප වෙනවාද යන්න මේ පැයේදි තීරණය වේ. මුල් පැයේ ප්‍රතිකාර රෝගීන්ට නොලැබීම අපේ රටේ පවතින ගැටලුවකි. මූලික ප්‍රතිකාර ලබා නොදීම නිසා රෝගියාගේ ජීවිතය සම්බන්ධයෙන් අවදානමක් ද ඇති වේ. රෝගියකුට මූලිකව ප්‍රතිකාර කළ හැකි ජාත්‍යන්තරව පිළිගත් සියලු උපකරණ සුවසැරිය ගිලන්රථ සේවාව තුළ පවතියි. ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය මට්ටමට පුහුණු කළ නිලධාරින් ද සිටිති. රෝගියාගේ ජීවිත අවදානම ගැන ප්‍රථමයෙන්ම සලකා බැලීම මෙහිදී සිදු කරයි. රෝගියාගේ තත්ත්වය අනුව ප්‍රවාහනය කරන ආකාරය ද වෙනස් වේ. සුදුසුකම් ලත් රජයේ වෛද්‍යවරයකු පැය 24 පුරාම සුවසැරිය සේවාවට අනුයුක්තවී සේවය කරයි. ගිලන්රථයේ පුහුණු නිලධාරියාට ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය සියලු තොරතුරු මේ වෛද්‍යවරයාගෙන් ලබාගත හැකිය.

 

ස්තුතිය - “සුවසැරිය“ ගිලන්රථ සේවාවෙහි වැඩසටහන් කළමනාකරු ගයාන් චතුරංග, මානව සම්පත් සහ පරිපාලන ප්‍රධානී උදය ඉඹුල්පිටිය මහත්වරුන්ට.

සටහන
සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න