ජාල හා ජංජාල! | දිනමිණ

 ජාල හා ජංජාල!

 කාන්තා හිංසනය අතින් ගත් කල සැලැකිය යුතු ශෝචනීය තත්ත්වයක් අපේ රටේ දකින්නට ලැබේ. මේ පිළිබඳ ඇත්ත තත්ත්වය ශ්‍රී ලංකාව වැනි රටවල හෙළිදරව් වන්නේ අඩුවෙන් ය. කාන්තාවන් ම ඉදිරිපත් වී පැමිණිලි කිරීමට, නඩු මඟට බැසීමට යන අවස්ථා අපේ රටවල විරලය. ඕනෑම පීඩනයක් හා හිංසාවක් දරුවන් හා පවුල වෙනුවෙන් ඉවසා දරා ගැනීම අපේ කාන්තාවන්ගේ ස්වාභාවික ගතියක් බවට පත්ව තිබේ. එහි අර්ථය වන්නේ ගෘහස්ථ වශයෙන් සිදුවන කාන්තා හිංසනය ඉතා අඩුවෙන් හෙළිදරව් වන බව ය. මෙය හොඳ තත්ත්වයක් නොවේ. නූතන ලෝකයේ සමාජ පිළිගැනීමට හා නීතියට අනුව ද කාන්තාවට සමාන අයිතිවාසිකම් පැවැතිය යුතුය.

මේ අතර අලුත් ම සමීක්ෂණ වාර්තාවකින් කියැවෙන්නේ අන්තර්ජාල ජංජාල නිසා අපේ කාන්තාවන්ගෙන් 26%ක් ගෙදර දී හොඳට ම ගුටිකන බව ය. ජංගම දුරකථනවලට එන කෙටි පණිවිඩ, මඟ හැරුණු දුරකථන ඇමැතුම්, මුහුණු පොත සම්බන්ධ සිද්ධීන් නිසා මෙලෙස පුරුෂයාගේ පහරදීමට ස්ත්‍රිය ගොදුරු වෙයි. පහරදීම්වලින් වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්තේ ස්ත්‍රියගේ හිසට හා මුහුණටය. ඇතැම් අවස්ථාවක ඇඳ පොලු, දොර පොලු හා කොසු මිටි භාවිත‍කොට පහරදීම් සිදු වී ඇත. බැලූ බැල්මටම මෙය අතිශය ශෝචනීය තත්ත්වයක් බව පෙනී යයි. පුරුෂයාගේ සැකය වර්ධනය කිරීමට ජංගම දුරකථනය හා ෆේස් බුක් හේතු වී ඇතැ’යි කියන්නට පුළුවන.

අදාළ සමීක්ෂණය සිදු කර ඇත්තේ කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් රත්නවීර මහතා ය. ඒ මහතාට ජාතියේ කෘතඥතාව හිමි විය යුතුය. එම වාර්තාවේ සඳහන් වන අන්දමට 2013 ජනවාරියේ සිට 2017 ජූනි දක්වා බරපතළ හිංසනවලට ලක් වූ කාන්තාවන් 183 ක් මූලික කොට මේ සමීක්ෂණය සිදුකර තිබේ. එහි එන තොරතුරු අප කාගේත් අවධානයට ලක් විය යුතුය. වාර්තාවට අනුව පහරකෑම් වලට ලක් වූ අයගෙන් 58ක් වයස අවුරුදු 16 හා 63 අතර වේ. පහරකෑමට ලක් වූ 106 දෙනෙකු වයස අවුරුදු 21 හා 23 අතර වේ. හිංසනයට ගොදුරු වූ කාන්තාවන්ගෙන් 63%ක් දෙනා 117 වතාවකට වඩා සිය සැමියාගෙන් නොසෑහෙන්නට ගුටි කා තිබේ.

ස්ත්‍රියට පහරදීමට පෙලඹෙන බොහෝ පුරුෂයෝ බේබද්දෝ වෙති. ඔවුන් බීමත් ව පැමිණ සවස හයේ සිට රාත්‍රී දහය පමණ වන තෙක් ස්ත්‍රියට අඩන්තේට්ටම් කරන බවක් පෙනෙන්නට තිබේ. මේ අතර ලිංගික බලහත්කාරකම් තිබේ. මුහුණ, හිස පමණක් නොව; අත් - පා ද පහරදීම්වලට ලක් වේ. ඉන් නොනැවතී ස්ත්‍රීන්ගේ ලිංගික ප්‍රදේශ, පියවුරු හා තවත් ස්ථානද දරුණු ලෙස වදයට ලක් වූ අවස්ථා වාර්තා වී ඇත. මේ සියල්ලට පළමු හේතුව කාම ඊර්ෂ්‍යාව යැයි කියන්නට පුළුවන. පුරුෂයන්ගේ කාම ඊර්ෂ්‍යාව වර්ධනය කරන සංකේතයක් ලෙස ස්ත්‍රිය සතු ජංගම දුරකථනය පෙන්වා දිය හැකි ය. ජංගම දුරකථනයේ එල්ලීගෙන සිටින කාන්තාව පුරුෂයාගේ දෝෂ දර්ශනයට ද, එදිරිවාදීකම්වලට ද පහසුවෙන් ලක් වනු ඇත.

මේ ළඟ දී දිනෙක දී සුරූපී තරුණියක් සමූහ දූෂණ ක්‍රියාවලියකට ලක් වී මිය ගියා ය. ඇය තිදෙනකු විසින් දූෂ්‍ය කරනු ලැබ තිබිණි. පසුව තරුණිය දිවි නසා ගැනීමට තැත්කර තිබේ. ඉන් පසුව ඇය රෝහල වෙත ගෙන ගිය ද පසුව මිය ගියා ය. තරුණිය වයස 18 ඉක්මවා නැත. එහි අදහස වන්නේ ඇය බාලවයස්කාරියක බව ය. කුමක් වුව මියගිය තරුණියගේ ඡායාරූප පවා ඇතැම් පුවත්පතක පළ වී තිබිණි. රටේ ප්‍රධාන ජනමාධ්‍ය ප්‍රවාහවල ආචාර ධර්ම පද්ධතියක් ක්‍රියාත්මක නොවන්නේ නම්; සමාජ වෙබ් අඩවි ගැන කුමන කතා ද? ස්ත්‍රීන් සඳහා වූ හිංසනය ව්‍යාප්ත වීමට ද, ඒවා වඩාත් දරුණු දේවල් බවට පත්වීමට ද ජනමාධ්‍ය යම් හේතු- සාධකයක් වී ඇති බව පෙනෙයි. ඇතැම් ජනමාධ්‍ය මෙබඳු ක්‍රියා විචිත්‍ර ලෙස වාර්තා කරනු පමණක් නොව; ස්ත්‍රී හිංසනයට යම් පමණකින් තල්ලුවක් ද ලබාදෙයි.

ස්ත්‍රීවාදය නම්; සාහිත්‍ය-කලා ප්‍රවණතාව බිහි වූයේ 19 වන සියවසෙහි මුල් කාර්තුවෙහි ය. එදා මේ ව්‍යාපාරය තුළ ලෙනාඩ් වුල්ෆ්ගේ ආදරණීය බිරිය පවා සිටියා ය. ස්ත්‍රී වාදයේ මූලික අර්ථය වන්නේ; සමාජයක් තුළ ස්ත්‍රියට හිමිවිය යුතු, දේශපාලනික, ආර්ථික හා සමාජමය වගවීම හා නිදහස ඔවුන් වෙත ලබා දීම ය. එහෙත් ශ්‍රී ලංකාව වැනි සාම්ප්‍රදායක රටක ඒ තත්ත්වයට ලොකු ඉඩක් නැත. සමහරු ස්ත්‍රින්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීම පවා ප්‍රතික්ෂේප කරති. තව සමහරු ඒ ගැන කතා කළත්; ක්‍රියාවෙන් යමක් නැත. රට පුරා උසාවිවල නිතිපතාම පාහේ ස්ත්‍රී දූෂණවලට හා දික්කසාදවීම්වලට අදාළ නඩු 300ක් පමණ විමසන බව හෙළිදරව් වී ඇත. මේවා පසුපස ඇති ප්‍රධාන සාධකය පුරුෂයන්ගේ සැකය යැයි ද කියන්නට පුළුවන.

ඉහත වාර්තාව පුරුෂයන්ගේ පහරදීම්වලට අදාළ ප්‍රධාන සාධක තුනක් ද පෙන්වා දී ඇත. ඉන් පළමු තැනට පත්ව ඇත්තේ පුරුෂයන්ගේ බේබදුකමය. දෙවන තැනට වැටී ඇත්තේ පවුලේ ආර්ථික දරිද්‍රතාව පිළිබඳ ගැටලුය. තෙවන තැනට වැටී ඇත්තේ ණය ගැනීම් හා සැකය යි. මේවා දෙස ආපසු හැරී බලනවිට පෙනී යන්නේ ශ්‍රී ලංකාව වැනි රටවල සමාජය, නූතන තාක්ෂණය හොඳින් භාවිත කළ ද, එම තාක්ෂණය භාවිතකොට ඉදිරිගාමී පියවරකට යෑම සඳහා උත්සාහයක් නොදරන බවය. වැඩි දෙනකු සුපිරි ගණයේ ජංගම දුරකථන භාවිත කරනුයේ හුදු විනෝදය සඳහා පමණි. ඉන් එහාට ගොස් රටට හා ජාතියට වැදගත් වන වැඩක් කිරීමට ඔව්හු නොසිතති.

කාන්තාවට සමාන අයිතිවාසිකම් හා සමාන වටිනාකම් ලබාදිය යුතුය යන්න අද ලෝක මට්ටමෙන් පිළිගෙන ඇති කාරණයකි. ශ්‍රී ලංකාව එය පිළිගනිමින් දේශපාලනය ඔවුන් සඳහා විවෘත කර තිබේ. පළාත් පාලන මැතිවරණයේ දී 25%ක කාන්තා නියෝජනය අනිවාර්ය වේ. ඒ මහජන අපේක්ෂකත්වය සඳහා ය. ගම හැදීමට ද, රට හැදීමට ද කාන්තාව පෙරමුණ ගත යුතුය. ඇය තවදුරටත් කුණු මුල්ලේ සිටිය යුතු නැත. වෙනත් මුල්ලකට යා යුතු ද නැත. රටක් දියුණුවීමට නම්; කාන්තා චින්තනය අවදි කළ යුතු යැයි ද, ඔවුනට නිදහසේ ක්‍රියා කිරීමට හා තීරණ ගැනීමට ඉඩ දිය යුතු යැයි ද මතයක් පවතී. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවල තවම එබඳු තත්ත්වයක් නිර්මාණය වී නැති බව ඉහත වාර්තාවෙන් පැහැදිලි වෙයි. 

නව අදහස දක්වන්න