‘යෝගා’ හෙට හරසර ලබයි | දිනමිණ

‘යෝගා’ හෙට හරසර ලබයි

 වසර 50ක් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා අපමණ මෙහෙවරක් කළ ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා අගයන හරසර අබිමන් ප්‍ර‍ණාම උළෙල හෙට (17) පෙරවරු 10.00ට ජාතික ඔලිම්පික් කමිටු ශ්‍ර‍වණාගාරයේදී පැවැත්වෙයි. මේ ප්‍ර‍ණාම උළෙල සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය මගින් මෙහෙයවනු ලබයි.

සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය, ‘ක්‍රීඩාවේ අනාගතය පැහැබරයි‘ තේමාව යටතේ ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානයකි. ක්‍රීඩාවේ උන්නතිය උදෙසා අපමණ මෙහෙවරක් කළ ජ්‍යෙෂ්ඨයන් අගය කිරීම උදෙසා “හරසර අබිමන් - සේව් ද ස්පෝර්ට්ස් ප්‍ර‍ණාම උළෙල” එම සංවිධානය ආරම්භ කළේ 2015 වසරේදීය. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක ගාර්ෆීල්ඩ් සෝබස්, ක්‍රිකට් පුහුණුකරු ලයනල් මෙන්ඩිස් යන මහත්වරුන් උදෙසා එම ප්‍ර‍ණාම උළෙල මීට පෙර පැවැත්විණ. හරසර අබිමන් සේව් ද ස්පෝර්ට්ස් ප්‍ර‍ණාම උළෙල මෙවර පැවැත්වෙන්නේ තුන්වැනි වරටය.

මෙවර සේව් ද ස්පෝර්ට්ස් ප්‍ර‍ණාම උළෙලදී ඇගයීමට ලක් වන යෝගානන්ද විජේසුන්දර මහතා මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම මළළ ක්‍රීඩා පුහුණුකරුවෙකි. සමකාලීනයන් යෝගා ලෙසත් ගෝල බාලයන් යෝගා සර් ලෙසත් හඳුන්වන යෝගානන්ද විජේසුන්දර මහතා 60 දශකයේදී ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ වොලිබෝල් සහ මලල ක්‍රීඩකයෙකි. කාලයේ ඇවෑමෙන් වොලිබෝල් ක්‍රීඩාව අතහැර මලල ක්‍රීඩාවට එක්වූ යෝගානන්ද විජේසුන්දර මහතා මීටර් 110 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් ඉදිරියට පැමිණියේ වරක් එම ඉසව්වෙන් ජාතික ශූරයාද වෙමිනි. බණ්ඩාරවෙල ක්‍රීඩා නිලධාරියා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයට ඔහු එක්වන්නේ 1967 වසරේදීය. මීට වසර 37 කට පෙර එනම් 1979දී ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ක්‍රීඩා පාසල වර්තමානයේ වසරකට ක්‍රීඩා ඩිප්ලෝමාධාරීන් රැසක් බිහි කරන ජාතික ක්‍රීඩා විද්‍යායතනයක් බවට පත් කරලීම සඳහා උරදුන් ප්‍ර‍මුඛයා වූයේද යෝගානන්ද විජේසුන්දර මහතාය. ඔහු ක්‍රීඩා විද්‍යාතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයාද වේ. 1990 ප්‍රථමවරට පැවැති කාන්තා මැරතන් තරගයේ ජයග්‍රාහිකාව සහ ප්‍රථම ශ්‍රී ලංකා වාර්තාලාභිනිය වූ තමරා පද්මිනී යෝගානන්ද විජේසුන්දර මහතා යටතේ පුහුණුව ලැබූ කීර්තිමත් ක්‍රීඩිකාවකි. එමෙන්ම තිලකා ජිනදාස (මීටර් 100 කඩුලු) දිලීමා පීටර්සන් (දුර පැනීම) ධම්මිකා මැණිකේ (මීටර් 800) ජයමිණී ඉලේපෙරුම (මීටර් 100, 200, 400 හා 800) රවින්ද්‍ර කුමාර ප්‍රනාන්දු (මීටර් 400) කේ.ඒ. කරුණාරත්න (මීටර් 1000 සහ මැරතන්) මංජුල රාජකරුණා (මීටර් 110 කඩුලු) පද්ම කුමාර අමරසේකර (මීටර් 400) යනාදි ක්‍රීඩික ක්‍රීඩිකාවන්ද ඔහු යටතේ පුහුණුව ලැබුවෝ වෙති.

මේ වන විට අක්ෂි ආබාධයක් හේතුවෙන් දැඩිව රෝගාතුරව සිටින යෝගානන්ද මහතා 73වැනි වියේ පසුවෙයි. 

නව අදහස දක්වන්න