ගල්ගේපිටිය ලෙන් විහාරය | දිනමිණ

ගල්ගේපිටිය ලෙන් විහාරය

 බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෝට්ටේගොඩ ග්‍රාම නිලධාරි වසමට අයත් සුන්දර ගම්මානයක ගල්ගේපිටිය ලෙන් විහාරය පිහිටා ඇත. රමණීය භූමි භාගයක පිහිටි මෙම ලෙන් විහාරය අතීතයේ ශෛල ගංගාරාමය හෙවත් ගල් ආරාමය නමින් ද හඳුන්වා ඇත. බදුල්ල නගරයේ සිට දිවෙන ස්ප්‍රීංවැලි මාර්ගයේ කිලෝ මීටර් 04ක් පමණ ගිය විට කෝට්ටේගොඩ ගම්මානයට ළඟාවිය හැකියි. නමුණුකුල කඳු පාමුල පිහිටි කුඩා කඳු ගැටයක මේ ගල්ලෙන් විහාරය පිහිටා ඇත.

මෙහි ඓතිහාසික කතාව අනුව කිසියම් හේතුවක් නිසා හෝ ශාසන විනාශයෙහි යෙදුණු සීතාවක රාජසිංහ රජු අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් නම් මළයාලි ජාතිකයාගේ බසට අවනතව සංඝ සංහාරයක යෙදුණේය. ඉන් මිදී දිවි ගලවාගත් දෙවනගල වැඩ විසූ ඉරුගල් තිස්ස සහ සූරිය තිස්ස යන තෙරුන් වහන්සේලා දෙනම කතරගම වැඩමවා මහා වනාන්තරය මැදින් නමුනුකුල තරණය කොට හාලිඇල කඳනට යාබද කෝට්ටේගොඩ ගම්මාන‍ෙය් සිත්තර ගෙදරට ළඟා වූහ. මෙම නිවසේ ජීවත් වූයේ පුන්සඳහාමි හා ඖෂධහාමි යන උපාසක යුවළකි. තමන්ගේ නිවෙසට සංඝයා වහන්සේලා දෙනමක් වැඩම කරන අන්දම පෙර දින රාත්‍රී සිහිනෙන් දුටු මෙම උපාසක යුවළ පසුදා උදේ දොර විවර කර විමසද්දී සිහිනය සැබෑ වී තිබුණේය.

වැඳ නමස්කාර කොට පිළිගෙන හීල් දානය පිළිගැන්වූ උපාසක යුවළ ස්වාමීන් වහන්සේලාගෙන් තොරතුරු විමසා මහත් කම්පාවට පත්වූහ. කමක් නැහැ, අපි අපේ පණ මෙන් මේ දෙනම ආරක්ෂා කර ගනිමු යැයි තීරණය කරගත් උපාසක යුවළ දින කීපයක් රහසිගතව තම නිවෙස අසල වූ කුඩා ලෙනක උන්වහන්සේලා දෙනම රඳවා තබා ගත්හ. එහෙත් කෙසේ හෝ තම අසල්වැසියන්ට මෙම රහස හෙළිවුවහොත් සංඝයා වහන්සේලා දෙනමත් තමනුත්, ගමත් වැනසෙන බව වටහාගත් ඔවුහු අසල පිහිටි ‘ගල්ගේ පිටිය’ ගල්ලෙනෙහි ස්වාමීන් වහන්සේලා දෙනම සඟවා රැකවරණය සැලසූහ.

ගල්ලෙන අසල පිටියෙහි තම ගවයන් දිගඑළි කර තිබූ නිසා සිත්තර ගෙදර උපාසක යුවළට උදේටත්, දවාලටත් එහි ගොස් උන්වහන්සේලාගේ සුවදුක් බැලීමට අවස්ථාව සැලසී තිබිණ. තණකොළ හෝ කොස්කටු කුල්ලත් පුරවාගෙන ඒ මතුයෙන් දානය සඟවා රැගෙන ගිය ගෙහිමියා භික්ෂූන් දෙනම පෝෂණය කොට ආරක්ෂා කළේය. පුරා වසර හතක් තිස්සේ ගල්ගේපිටිය ලෙනෙහි මේ අන්දමින් වාසය කළ උන්වහන්සේලා පිළිබඳ රහස ගල්ගේ තුළම රැඳී තිබුණේය.

මේ වන විට පෘතුගීසින් සමඟ සටන් වැද ප්‍රථම වරට කන්ද උඩරට රජ කිරුළේ උරුමය ලබාගෙන සිටි කොනප්පු බණ්ඩාර 1 වැනි විමලධර්මසූරිය නමින් රාජභිෂේක ලබන්නට කටයුතු සංවිධානය වෙමින් තිබිණි. එහෙත් දළදා වහන්සේ වෙනුවෙන් තේවාව සිදුකොට ආගමික වතාවන් කිරීමට භික්ෂුන් වහන්සේ නමක් සොයාගැනීමට හැකිවූයේ නැත. රජු රට පුරා අණබෙර යැවීය. ගමින් ගමට ගිය අණ බෙරය සිත්තර ගෙදර ගම්මානයට ද පිවිසියේය.

මොහොතක් ඒ වෙත අවධානය යොමු කළ ගෙහිමියා අණ බෙරය නවත්වා රාජ පුරුෂයන්ට කියා සිටියේ රජුගේ එම ඉල්ලීම ඉටු කළ හැකි බවයි. මම සංඝයා වහන්සේලා දෙනමක් වැඩම කරවනවා. හැබැයි රජුගේ පූර්ණ රැකවරණය උන්වහන්සේලාට ලබාදිය යුතුයි යන ඉල්ලීම කළේය. රාජ පුරුෂයෝ ඊට එකඟ වූහ. රාජකීය භට හමුදාවක් සමඟ ප්‍රභූන් රැසක් සිත්තර ගෙදර පිහිටි ගම්මානයට පැමිණියේ මහා පෙරහැරකිනි.

කන්ද මුදුණේ සුළං කපොල්ලේ තොරණක් ඉදි කෙරිණි. මඟ දෙපස විසිතුරු ලෙස සැරසිලි කෙරිණ. මහනුවර සිට පැමිණි රාජකීය අමුත්තන් ඇතුළු සියල්ලන්ටම ගම්වාසීන් විසින් කැඳ පිස සංග්‍රහ කළහ. භික්ෂූන් වහන්සේලා දෙනම රජ පෙරහරින් කන්ද උඩරට බලා වැඩම වූහ. එදා කැඳ පිස අමුත්තන්ට සංග්‍රහ කළ ගම්මානය කඳන වූ අතර තොරණ ඉදි කළ ස්ථානය තොරණ කපොල්ල ලෙස නම් කෙරිණ. මහනුරවට වැඩම කළ ස්වාමීන්වහන්සේලා දෙනම විසින් විමලධර්මසූරිය රජු‍ෙග් රාජාභිෂේකය සඳහා දළදා වහන්සේගේ ආශීර්වාදය ලබාදෙමින් සියලු ආගමික වතාවන් ඉටු කළහ. රජු සිංහාසනාරූඪ විය. රජුගේ ප්‍රථම නිල චාරිකාව වූ‍ෙය් බදුටුපුර සිත්තර ගෙදර පිහිටි කෝට්ටේගොඩ ගම්මානයය.

සිත්තර ගෙදර උපාසක යුවළට ඔවුන් විසූ ගම්මානය පවරා දුන් රජු හිමි දෙනම රහසිගතව වැඩ සිටි ගල්ගේපිටිය ගල්ලෙන හෙළිපෙහෙළි කොට විහාර මන්දිරයක් ඉදි කළේය. එහි අදත් දැකිය හැකි සමාධි බුදුරුව හා සැරියුත් මුගලන් දෙනමගේ පිළිරු මෙන්ම ඉරුගල්තිස්ස හා සූරියතිස්ස හිමිවරුන්ගේ මුර්තිද, කතරගම දෙවියන්ගේ මූර්තියක් ද වෙයි. මේ ඓතිහාසික තොරතුරුවලට සපයන ප්‍රධාන සාක්ෂිය වන්නේ විමලධර්මසූරිය රජු විසින් ලියා ඇති උළුගල සන්නසයි.

මහනුවරින් සිත්තර ගෙදරට පැමිණි රාජකීය පිරිසට කැඳ පිස දුන් කඳන ගම්මානයේ සිවු මංසල තුළ පිහිටි බෝ සහ නුග සෙවණත් අම්බලමත් තොරණ කපොල්ලේ අතීතය අදටත් සංකේතවත් කරන්නේය.

 

සටහන සහ ඡායාරූප
බදුල්ල දිස්ත්‍රික් ජයසේන විජේනායක

නව අදහස දක්වන්න