ජනපති නිරීක්ෂණයෙන් කොකේන් තොගය පිලිස්සෙයි | දිනමිණ

ජනපති නිරීක්ෂණයෙන් කොකේන් තොගය පිලිස්සෙයි

විජයානි එදිරිසිංහ

ශ්‍රී ලංකාව හරහා මත්ද්‍රව්‍ය ගෙන යනවා නම් ප්‍රවේශම් විය යුතු බවට ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලයට රතු එලියක් දෙමින් රුපියල් කෝටි එක්දහස් හයසියයකට වැඩි වටිනාකමකින් යුත් කොකේන් ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ඊයේ (15) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිරීක්ෂණය යටතේ අගමැතිවරයාගේ සහභාගීත්වයෙන් කටුනායක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී දියර කර පුත්තලම සිමෙන්ති කර්මාන්ත ගාලා පෝරණුවක දමා දහනය කර විනාශ කරනු ලැබිණි.

අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු තොගයක් මෙරට පමණක් මේ ආකාරයෙන් විනාශ කරන ලද්දේ ඉතිහාසයේ ප්‍රථම වතා‍වට වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ,‍ නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක , අධිකරණ අමාත්‍ය තලතා අතුකොරල මහත්මිය නීතිය සාමය රාජ්‍ය අමාතය පියසේන ගමගේ අමාත්‍ය රන්ජන් රාමනායක ඇතුලු අමාත්‍යවරුන් ද පොලිස්පති පූජිත් ජයසුන්දර, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ආචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු , මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂක වෛද්‍ය සමන්ත කිනලවආරච්චි

එමහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකගේ සහ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මත්කුඩු විනාශ කිරීම සිදු විය.

අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට කුමක්ද කරන්නේ යනුවෙන් මිට මාස කිහිපයකට පෙර කැබිනට් මණ්ඩල රැස්විමක් අවස්ථාවේ මත්දුව්‍යවලට අදාල සාකච්ජාවක් වන අතරතුරදී ජනාධිපත් මෛත්‍රිපාල සිරිසේන මහතා විමසා තිබුණි. ඒ අවස්ථාවේ අධිකරණ තීන්දුවලින් පසු එම මත්ද්‍රව්‍ය විවිධ ක්‍රම අනුගමනය කරමින් විනාශ කරනු ලබන ආකාරය පිළිබඳ සාකච්ජාවට භාජනය වූවත් ඒ අවස්ථා‍වේ ජනාධිපතිවරයා කියා සිටියේ එම මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම මහජනයාටද දැක ගත හැකි ආකාරයකට සිදු විය යුතු බවයි ඒ අනුව නීතිය සාමය අමාත්‍යංශයට ‍ යටතේ ඊට අදාළ නීති රෙගුලාසි සකස් කරනු ලදි.

අනතුරුව මාසයක් වැනි කාලයක් ගත වීමටත් පෙර ලෝකයම මවිතයට පත්කරමින් කිසිම රටක් අනුගමනය නොකරන ආකාරයේ ක්‍රමයක් සකස් කර මත්ද්‍රව්‍ය‍ තොග මේ ආකාරයෙන් විනාශ කිරීමට පියවර ගැනිණි

ඒ සඳහා දායක වූයේ විෂ ද්‍රව්‍ය විනාශ කරන ආයතනයක් වන ENCEE ECOCYCLE ආයතනයයි. එම ආයතනයේදී එම මත්ද්‍රව්‍ය දියර බවට පත්කර පසුව පුත්තලම සංස්ථා සිමෙන්ති කර්මාන්ත ශාලාව වෙත ගෙන ගොස් එසේ විනාශ කරනු ලැබිණි.

2016 වසරේ දෙසැම්බර් 09 වැනි දින ඉක්වදෝරයේ බෙල්ජියම හරහා ඉන්දියාවේ මුන්රා වරාය වෙත නෞකාවක් තුළ ප්‍රවාහනය කරන ලද දැව කොටන් අඩංගු කන්ටේනරයක තිබි අත් අඩංගුවට ගන්නා ලද එම කොකේන් තොගය කිලෝ 928 ග්‍රැම් 229ක් විය.

මෑතකදි ස්ථාපිත කරන ලද මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලිමේ විශේ දිසාව බාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතාට බුද්ධි අංශ මගින් ලැබුණ තොරතුරකට අනුව ඒ වන විට කොළඹ වරාය ආසන්නයෙන් යාත්‍රා කරමින් තිබු පොලීසියත් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ රේගුව එක්ව කරනු ලැබූ විශේෂ වැටලීමකින් පසු අත්අඩංගුවට ගෙන කොළඹ වරාය වෙත ගෙනවිත් පරික්ෂා කිරීමේදී එම කොකේන් තොගය අත් අඩංගුවට ගැනීමට හැකි වි තිබුණි.

එම කොකේන් තොගය දකුණු ආසියාවේදී හමුවූ විශාලම වටිනාකමකින් යුත් කොකේන් තොගය වූ අතර ඒවා ලෝක මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලම කෝටිපති ධනකුවේර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසකට අයත් කොකේන් තොගයක් බව බුද්ධි තොරතුරුවලින් අනාවරණය කරගෙන ඇත.

එහෙත් එම කොකේන් තොගය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට තරම් ප්‍රබල සාක්ෂියක් මත සැකකරුවන් නොවූ බැවින් නඩු පැවරිමක් සිදු කළ නොහැකි තත්ත්වයක් වූ බැවින් අවශ්‍ය නීතිමය පියවර ගැනීමෙන් පසු නීතිපතිවරයා දැනුවත් කර මෙම කොකේන් තොගය විනාශ කිරීමට හැකියාව සම්බන්ධයෙන් විමසීමෙන් පසු වැටලීම සම්බන්ධයෙන් උධෟත ගොනු හා විමර්ශණ වාර්තා අධ්‍යයනය කර එම කොකේන් තොගය විනාශ කිරීම විෂ මත්දුව්‍ය අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනතේ වගන්ති ප්‍රකාරව අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් අනතුරුව විනාශ කිරීමට පියවර ගැනිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සහ රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඉදිරියේදි එම කොකේන් තොගය යලි පරීක්ෂාවට ලක්කර නැවත එකින් එක කිරා මැන බලා ජනාධිපතිවරයා ඇතුලු සියලු දෙනා ඉදිරියේදී ඒවා ආරක්ෂිතව සකස් කර තිබූ ජල ටැංකිවලට දමා දියර කර අනතුරුව දැඩි ආරක්ෂිත රැකවල් මධ්‍යයේ පුත්තලම දක්වා ගෙන ගොස් එහිදීද සියලු ආරක්ෂක නිළධාරීන් ඉදිරියේදි සිමෙන්ති පෝරණුවට දමා පුළුස්සා දහනය කිරීම ආරම්භ කරනු ලැබිණි

ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්න වන තෙක්ම එම දහනය කිරිමේ කර්තව්‍ය සිදු කෙරුණ අතර එම කොකේන් තොග දියර කිරීමේ සිට දහනය කර අවසන් වන තෙක් විවෘතව මාධ්‍යයට පියවරෙන් පියවර ඒවා ජායාරූප ගත කිරීමටත් වීඩියෝ ගත කිරීමටත් අවස්ථාව සළසා දෙමින් ඒ ඔස්සේ මහජනතාවට එම කොකේන් විනාශ කිරීමේ කටයුතු දැකබලා ගැනීමටද අවස්ථාව සළසා දෙනු ලැබිණි. 

නව අදහස දක්වන්න