වීරයෝ සහ දුෂ්ටයෝ | දිනමිණ

වීරයෝ සහ දුෂ්ටයෝ

අහස පොළොව එකාවන්ව මහ වැස්සකට අර අඳී. අතුපතර සලිත කරවමින් හමායන සුළඟද අනෝරා වැස්සක් පිළිබඳව අනතුරු අඟවයි. එහෙත් මේ උඳුවප් මස බව පසක් කරමින් වැස්ස ඉතා ඉක්මණින් නිමා වේ. මේ කඩින් කඩ වහින වැස්ස කිසිදු කමකට නැතැයි ගොවියෝ මැසිවිලි නඟති. එහෙත් ඒ වැස්සේ තෙමෙමින් ඔවුහු කුඹුරේ අරගල කරති. සහනාධාර සහල් කෑමෙන් හෙම්බත්ව හිඳින ගොවියන්ගේ ඒකායන ප්‍රාර්ථනය කුඹුර වපුරා ගැනීමයි. මේ කන්නයේවත් වී ටිකක් ගෙට ගැනීම යි. ඒ ගොවි අරගලයට සපුරා වෙනස් ඡන්ද අරගලයේ නිරත වූවෝ ගෙයින් ගෙට යාම අරඹා තිබේ.

“ මැකොත් එක්ක බෑනේ... පෙළපාලි යන්ඩ දෙන්නෙත් නෑ.... පෝස්ටර් අලවන්ඩ දෙන්නෙත් නෑ...ඉතිං ලේසි නෑ වැඩේ... ගෙයක් නෑර යන්ඩ වෙනවා.”

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දොස් පවරමින් ඡන්දයට වැඩ අල්ලන අපේක්ෂකයා ඇතුළු පිරිවර දෙස මම නිස්කාසුවේ බලා සිටියෙමි. මැතිවරණ නීති අකුරට ඉටුකරන්නට වග බලා ගන්නා රාජ්‍ය නිලධාරියකුගේ වටිනාකම වටහා ගන්නවා වෙනුවට මෙවන් මැසිවිලි නැඟීම පිළිබඳව පුදුම විය යුතුද නැත. මේ රටේ බොහෝ උදවිය නීතියට අවනත වීමට දක්වන මැළිකම ජාතික ලකුණක් තරමට විශාලය. බලවත්ය.

මහාමාර්ගයේ වේවා මගී ප්‍රවාහන රථයක වේවා ප්‍රසිද්ධ ස්ථානයක වේවා අපේ හැසිරීමත් විනය විරෝධීය; නීති විරෝධීය. නීතිගරුක වීම හා විනයගරුක වීම නිවටකමක් ලෙස සලකන තරමට ඇතැම්හු අසරණ වෙති .

“ඇත්තටම අපේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට මුළු රටේම ගෞරවය පිරිනමන්න ඕන සාධාරණ ඡන්දයක් වෙනුවෙන් ඇප කැපවීම පිළිබඳව”

මම මගේ අවංක අදහස කියා පෑවෙමි.

“පුංචි අඩුපාඩුවකටත් නාමයෝජනා ප්‍රතික්ෂේප කරනවනේ.”

ඔවුන් තවත් ‍චෝදනාවක් මැසිවිල්ලක ස්වරූපයෙන් එල්ල කළෝ ය.

“ඒ වගේ දෙයක්වත් හරියට කරගන්ඩ බැරි කට්ටිය කොහොමද ගමට වැඩක් කරන්නෙ? ගමේ දියුණුවත් සංවර්ධනයත් ඇති කරන්නෙ?”යි මම ප්‍රශ්න කළෙමි.

“දැං බලන්ඩ අර පක්ෂෙට අර මිනිස්සුන්ගෙ කෙනෙක්ව දාලා. ඉතිං හොඳ කට්ටිය ‍දෙයිද ඡන්දෙ..”

ඒ කතාව වැටහුණාද මම නොවැටහුණු බවක්ම පළ කළෙමි.

“අර මිනිස්සු කියන්නෙ කවුද? එතකොට ‍හොඳ කට්ටිය කවුද?”

මගේ දරුවන් චිත්‍රපටයක් නරඹන කල හොඳ කට්ටිය හා නරක කට්ටිය යනුවෙන් එහි පාත්‍රවර්ගයා බෙදා වෙන්කර ගනිති. සැබැවින්ම චිත්‍රපටයක වීරයා සහ දුෂ්ටයා පරිද්දෙන් මේ සමාජයේ පය ගසා සිටින මිනිසුන් බෙදා වෙන්කළ හැකිද?

“නෑ මේ අර අඩු කුලේ මිනිස්සු.. .”

ඉහ නිකට පැසුණ මිනිසාට තවම කුලභේදය ඉවතලිය නොහැකි වුවද තරුණ පිරිසද එවන් අදහසක එල්බ සිටීම මගේ සිත තදින් පාරයි.

“ජාති කුල ආගම් භේද එක්කනං අපිට කවදාවත් ඔළුව උස්සන්ඩ හම්බවෙන්නෙ නෑ. ලෝකෙ අනික් රටවල් දියුණු වෙද්දී අපට හැමදාම ජාතියයි ආගමයි කුලයයි කරේ තියාගෙන මේ මඩ ගොහොරුවෙම තමා ලැගගෙන ඉන්ඩ වෙන්නෙ....”

“ නෑ ඉතිං තවම මිනිස්සු ඕවා බලනවනේ.”

වැඩිහිටියා සිනාවක් පාමින් කියා සිටියේය.

“‍කෝව ද?”

“ නෑ ඔය ජාති භේද.. ආගම් භේද.. . කුල භේද... ඔව්වා නැති කරන්ඩ හරි අමාරුයි.... ඡන්දෙ දෙනකොටත් ඉතිං ඔව්වා ඉස්සර කර ගන්නවා හුඟක් වෙලාවට.”

“ ඕවා ඉස්සර කරගෙන ඉතිං පස්සට තමා යන්ඩ වෙන්නෙ. අපිට වඩා පල්ලෙහායින් හිටපු ආසියාතික රටවල් කීයක් නං දැං අපිව පසු කරගෙන ගිහිල්ල ද... අපි නිකං අර නොදියුණු ගෝත්‍රික වනචාරියො වගේ මේ දූපතේ කුලල් කාගන්නවා. අවුරුදු ගානකට සැරයක් අපේම දරුවන්ගෙ ලෙයින් මේ පොළොව තෙම තෙමා අපි මොනවද මේ කරන්නෙ? ජාතිය කුලය ආගම වෙනුවට මනුස්සකම ලොකුකරගන්ඩ අපට පුළුවන් වෙන තාක් ඉතිං මේ අන්ධකාරෙම තමා ඉන්ඩ වෙන්නෙ..” යි මම කියාගෙන ගියෙමි.

“අපේ ළමයට ඡන්දෙ දෙන්ඩකෝ... ගම බබළවයි.”

“ඔව් ඔව් ....අවුරුදු හැට හැත්තෑවක් තිස්සෙ මාරුවෙන් මාරුවට ඡන්දෙ දීල ගමට රට බබළන තරම කොච්චරද කීවොත් මන්ද පෝෂණය විරැකියාව ස්ත්‍රී දූෂණ ළමා අපයෝජන වංචාව දූෂණය මිනී මැරුම් කෙළවරක් නෑ. දවසම කියන්ඩ පුළුවං විස්තරේ. දවසත් මදි. ගොවියා ධීවරයා කම්කරුවා ශිෂ්‍යයා විතරක් නෙමේ ගේ ඇතුළෙ දරුවා පවා අර්බුදයක ඛේදවාචකයක...”

කිසිසේත් අපේක්ෂා නොකළ ඒ කතාවෙන් වික්ෂිප්තවූ මිනිසා “මොනව කිව්වත් ඉතිං දුවගෙ ඡන්දෙ පිට යන්නැ කියල අපි දන්නවා. අපේ යාළු මිත්තරකං අද ඊයෙකයැයි...”යි සිනාමුසුව පැවසුවේය.

“නෑ මාමේ නෑදෑකමට පක්ෂෙට හිතවත්කමට පණ්ඩිතකමට බලුකමට ඡන්දෙ දීලා හරියන්නෑ. දූෂණ අපරාධ චෝදනා නැති පිරිසිදු අවංක අපේක්ෂකයකුට ඡන්දෙ දෙන්න තරම් අපේ ඡන්දදායකයා බුද්ධිමත් වුණොත් මේ සැරේවත් ගමට රටට හොඳක් වෙයි. 

ශාන්ති දිසා­නා­යක

නව අදහස දක්වන්න