කොළඹ ඔරුපැදීමේ ක්‍රීඩා සමාජයට ඉන්දියාවේදී රන් පදක්කම් ද්විත්වයක් | දිනමිණ

කොළඹ ඔරුපැදීමේ ක්‍රීඩා සමාජයට ඉන්දියාවේදී රන් පදක්කම් ද්විත්වයක්

ෆවුස් මොහොමඩ්

 

ගිනිකොන ආසියානු කලාපීය රටවල්වල විශිෂ්ට ඔරු පැදීමේ ක්‍රීඩා සමාජවල සහභාගිත්වයෙන් ඉන්දියාවේ කල්කටා නුවරදි නිමාවට පත්වූ 76 වැනි ආධුනික ඔරුපැදිමේ තරගාවලියේ දී රන් පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ප්‍රවීණ ඔරු පැදිමේ ශූර රුවින් වීරසිංහගේ නායකත්වයෙන් යුතු කොළඹ ඔරු පැදීමේ ක්‍රීඩා සමාජය සමත්වෙයි.

කල්කටා නුවර කේන්ද්‍ර කරමින් පැවැති මේ තරගාවලියේ කාන්තා තරග අංශයේ ඒකල තරගයේ (scull) රන් පදක්කම දිනාගැනීමට ඉෂාරා අබේ සමත්වූවාය. ඇය මේ තරගාවලියේ කාන්තා තරග අංශයේ ඒකල තරග ඉසව්ව අඛණ්ඩව ජයගත් තුන්වැනි අවස්ථාව මෙය විය. මීට අමතරව ක්‍රීඩිකාවන් සිවුදෙනකුගෙන් සමන්විත කාන්තා කණ්ඩායම් තරගයේ රන් පදක්කම අඛණ්ඩව සිවුවැනි වරටත් දිනාගැනීමට කොළඹ ඔරුපැදීමේ ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත්විය. යවීනා බොතේජු, ඉෂාරා අබේ, තවීෂා අත්තනායක, ඩවිනා කොච් කණ්ඩායමට ඇතුළත් වූ අතර යසරු කුඩලිගම මේ කණ්ඩායමේ බෝට්ටු පදවන්නා (Cox) ලෙස කටයුතු කළේය. මීට අමතරව පිරිමි තරග අංශයේ යුගල තරග අංශයේ ලෝකඩ පදක්කම දිනාගැනිමට ද කොළඹ ඔරු පැදිමේ ක්‍රීඩා සමාජයේ සුහිත් ඇලෙක්සැන්ඩර් සහ ප්‍රතාප් පෙරේරා සමත්විය.

පසුගිය වසරේ මුම්බායි නුවර පැවැති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ තරගාවලියට ඉදිරිපත්වූ අතර එහිදී කාන්තා හා පිරිමි දෙඅංශයෙන්ම සියලු ගෞරව දිනාගැනීමට කොළඹ ඔරු පැදීමේ ක්‍රීඩා සමාජය සමත්විය. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි තරගයක් ලබාදීමට බෙංගාල ඔරු පැදීමේ ක්‍රීඩා සමාජ කණ්ඩායම සැලසුම් සහගතව ක්‍රීඩා කළ බව තරගාවලියට එක්වූ කොළඹ ඔරු පැදිමේ ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායක රුවින් වීරසිංහ ‘දිනමිණ‘ට ප්‍රකාශ කළේය.

සමස්ත තරගාවලියම දැඩි තරගකාරීත්වයෙන් යුත් එකක් වූ බවත්, බෙංගාල ඔරු පැදීමේ ක්‍රීඩා සමාජ කණ්ඩායම මෙහිදී ප්‍රබල අභියෝගයක් වූ බවත් ඔහු කීවේය.

සමස්ත තරගාවලියේ වැඩි ගෞරව දිනාගත් බෙංගාල කණ්ඩායම කොළඹ ඔරු පැදිමේ ක්‍රීඩා සමාජය ජයගත් කාන්තා තරග ඉසව් ද්විත්වයේදිම රිදී පදක්කම් දිනාගත් අතර කාන්තා හා පිරිමි යුගල තරග මෙන්ම පිරිමි කණ්ඩායම් තරගයේදී රන් පදක්කම් දිනාගත්තේය. කණ්ඩායම් 15ක් තරග වැදුණු මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 8 වැනි ස්ථානය අත්පත් කරගැනීමට කොළඹ ඔරු පැදීමේ ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත්විය.

වාර්ෂික තරග ඉසව්වක් ලෙස පැවැත්වෙන ARAE FEARA Regatta නමින් හඳුන්වන මේ තරගාවලියට සහභාගි වූ කොළඹ ඔරුපැදීමේ ක්‍රීඩා සමාජයේ (Colombo Rowing Club) ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 9කගෙන් සමන්විත කණ්ඩායමක් තරග වැදුණි. රුවින් විරසිංහ (නායක), ලසරු කුඩලිගම, ප්‍රතාප් පෙරේරා, සජින් ද ලිවේරා, සුහිත් ඇලෙක්සැන්ඩර්, ඉෂාරා අබේ, යවීනා බොතේජු, තවීෂා අත්තනායක සහ ඩවිනා කොච් කණ්ඩායමට ඇතුළත්වූහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...