සමාජය විනිවිද දකින මනෝප්‍රතිධාන | දිනමිණ

සමාජය විනිවිද දකින මනෝප්‍රතිධාන

 

කර්තෘ: එච්.එම්.කේ.බී.හේරත්
ප්‍රකාශනය:සී/ස ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම

එච්.එම්.කේ.බී.හේරත් ලේඛකයාගේ ‘මනෝප්‍රනිධාන’ නම් කාව්‍ය සංග්‍රහය ඔහුගේ ප්‍රථම පද්‍ය කෘතියයි. මීට පෙර 'ගොවි ජන උදානය' නම් නවකථාව ද, කෘෂිකර්ම පුහුණු කටයුතු සඳහා අත් පොතක් ද ,ප්‍රකාශයට පත් කර ඇති මේ ලේඛකයා , මෙවර ඔහුගේ අලුත් අත්දැකීම් සම්භාරය කාව්‍ය සංකල්පනාවලින් හැඩ ගස්වා, කාව්‍ය සංග්‍රහයක් ලෙස එළි දක්වා තිබේ. මෙහි දී පද්‍ය රචනය සහ සාහිත්‍ය ධර්මතා පිළිබඳ මනා පරිචයක් ඇති කවියකු පරිදි කවි සංකල්පනා හැඩ ගස්වා ඇත.

නූතන යුගයේ විවිධ පද්‍ය කාව්‍ය අතර මේ කාව්‍ය සංග්‍රහය ජනතාවට ප්‍රයෝජනවත් වන පරිද්දෙන් නිර්මාණය කර තිබේ. විවිධ මාතෘකා යටතේ සපයා ඇති පද්‍ය රචනා සතළිස් දෙකකින් සමන්විත වන මේ කාව්‍ය සංග්‍රහය, සඳැස් සහ නිසදැස් පද්‍ය රචනාවලින් යුක්ත ය. කාව්‍ය ආකෘතිය කවි සංකල්පනා අර්ථවත් ආකාරයට ඉදිරිපත් කිරීමේ දි බාධකයක් නො වන බව පෙන්වමින් සඳැස් සහ නිසදැස් ආකෘති මිශ්‍ර කරමින් ලියූ පද්‍ය රචනා ද මෙහි දක්නට ලැබේ.

කවියා තෝරාගෙන ඇති වස්තු විෂය ගත් විට, දළ වශයෙන් වර්තමාන සමාජයේ දක්නට ලැබෙන විෂමතා මාතෘකා කොට ගත් පද්‍ය රචනා විස්සක් ද, ජීවිතයේ ස්වභාවය දැක්වෙන රචනා දහයක් ද, ළමා ලෝකය, බුදු ගුණ, මව් පිය ගුණ ආදිය සම්බන්ධ තවත් පද්‍ය රචනා දොළසක් ද ඇතුළත් වන සේ මේ කාව්‍ය සංග්‍රහය සකස් කර තිබේ.

මේවා අතරින් වර්තමාන සමාජය වස්තු විෂය කොට ගත් පද්‍ය රචනාවලට, පැරැණි සමාජ රටාවේ බිඳ වැටීම, වර්තමාන සමාජයේ දක්නට ලැබෙන අපරාධ රැල්ල, ආර්ථිකයේ බිඳ වැටීම, පරිපාලන දුර්වලතා, දිළිඳු බව හා ඉන් අත මිදීමට ජනතාව දරන ප්‍රයත්නය ආදිය මාතෘකා වී තිබේ.

ජීවිතයේ ස්වභාවය දැක්වෙන පද්‍ය රචනාවලට සමාජයේ ගුණ ධර්ම වියැකී යෑම නිසා මිනිසුන් කෙරෙහි දක්නට ලැබෙන කලකිරීම, උදාසීනත්වය, බලාපොරොත්තු බිඳ වැටීම, ජීවිතයේ අසාර්ථකත්වය, අසරණ භාවය, මිනිසුන්ගේ ව්‍යාජත්වය, බුදු දහමින් සැනසුමක් අත් කරගත හැකි ආකාරය ආදි කරුණු මාතෘකා වී තිබේ.

ළමා ලෝකය චිත්‍රණය කරන අවස්ථාවේ දී, අනාගත දරුවන් සඳහා නිර්මාණය වන ලෝකයේ ඇති භයානකත්වය, එහි දී දරුවන්ට අත් විය හැකි දුක්මුසු ඉරණම ආදිය ද බුදු ගුණ විවරණය කෙරෙන අවස්ථාවල දී වර්තමාන මනුෂ්‍යයාට බුදු දහමින් සැනසීමක් අත් කරගත හැකි ආකාරය ද ආදි වශයෙන් මාතෘකා යොදාගෙන අලුත් ම කාව්‍ය සංකල්පනාවලින් පද්‍ය රචනා නිර්මාණය කර තිබේ. මේවා හුදෙක් කියවා පසෙක තැබිය යුතු පද්‍ය රචනා වශයෙන් නොව, පාඨකයාට යමක් කල්පනාවට ගත හැකි කරුණුවලින් පෝෂණය වී තිබීම වැදගත් ලක්ෂණයකි. කවියා ප්‍රකාශ කරන දේ පිළිබඳ පාඨකයාට කල්පනා කිරීමට යමක් ඉතිරි වී ඇති අතර, ඒවායින් සමාජ යථාර්ථය (සත්‍යය) පැහැදිලි කෙරෙයි. ජීවිතයට යම් අරුතක් එකතු කර ගැනීමට ද එමඟින් අවස්ථාව සැලසී තිබේ.

වර්තමාන සමාජය ගැන ලියැවෙන පද්‍ය රචනාවල දී මිනිසුන්ගේ හැසිරීම් රටාවලට ඇති ව්‍යාජත්වය, පරිපාලකයන්ගේ වංචාකාරි ගුප්ත ස්වභාවය, සමාජයේ ගුණ ධර්ම පිරිහී යෑම නිසා අනාගත දරු පරපුරට අත්වීමට යන අවාසනාවන්ත කල දසාව,කවියාගේ සියුම් උපහාසයට ලක් වී ඇති ආකාරය සිත් ඇද ගන්නා සුළු ය. “විලේ පියුමන් පිපී ගිය දා කෙරෙති එහි බුහුමන් විලේ මැඩියන් පිරී ගියදා කෙරෙති එහි අවමන්”, “අට්ටික්කා මල් (කවුන්සිලේ සංවාද)”, “දෙවියෝ පලා යති” වැනි මාතෘකාවලින් ම ඒ සියුම් උපහාසය ගම්‍යමාන වේ. දෙවියන් ඉදිරියට යන බැතිමතුන් දෙවියන්ගෙන් ඉල්ලා සිටින දේ ඉටු කිරීමට නො හැකි නිසා, දෙවියන්ටත් දේවාලයෙන් පලා යෑමට සිදු වී ඇති බව කවියා කියන්නේ, මිනිසුන්ගේ මානසික පරිහානිය මනා ව පිළිබිඹු කරමිනි. මනුෂ්‍යත්වය ඉක්මවා ගිය ප්‍රාර්ථනා දෙවියන් ඉදිරියේ තබන මිනිසුන් පිළිබඳ එහි දී ඇති වන්නේ ජුගුප්සාජනක හැඟීමකි. බුදු සිරිත ද කිසියම් ප්‍රමාණයකට සම්බන්ධ කරගෙන රචනා කර ඇති “අට්ටික්කා මල්(කවුන්සිලේ සංවාද)” නම් කවි පෙළ සකසා ඇත්තේ, දියවන්නාවෙන් වත් එතර වීමට නො හැකි ව ජනතාවට වැදි බණ දෙසන පරිපාලකයන්, ජීවත් වන සමාජය ව්‍යාජත්ය, දුෂ්ටත්වය, අකාරුණිකත්වය ආදි අමානුෂික අදහස්වලින් පිරී ඉතිරී ගොස් ඇති බව පෙන්වා දීමට ය.

ජීවන අරගලයට මුහුණ දී සිටින ජනතාව විඳින දුක් ගැහැට සිතට කා වදින ආකාරයට ඉදිරිපත් කොට ඇති “පැතුවේ යොමා සැපදුක් දෙක මතු මත්තේ - මේ බවේ තමා දුක සැප යන දෙක ඇත්තේ” නම් කවි පෙළ වර්තමාන සමාජයට වැදගත් ආදර්ශයක් ලබා දෙන්නකි. වසර පහක් යන තුරු නැවත ආපසු නො එන බව දැනුම් දෙමින් සැමියකු වෙත බිරියක එවනු ලැබෙන ලිපියක් ගැන කවියා ප්‍රකාශ කරන්නේ, බිරිය නැති සැමියාටත් වඩා දරුවන් තිදෙනාට විඳින්නට සිදු වන දුක් ගැහැට ගැන අවධානය යොමු කරවමිනි. කවි පෙළ අවසාන වන විට දරුවන්ගේ අනාගතය පිළිබඳ පාඨකයාට ද දුක් සුසුම් හෙළීමට සිදු වෙයි. මෙවැනි අවස්ථාවල දී කවියා සමාජයෙන් උගත් පාඩම් සමාජයට ම ආපසු ලබා දෙන්නේ, ස්වකීය අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමිනි.

මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය ගැන ලියැවෙන පද්‍ය පන්තිවල දී, වර්තමාන සමාජයට ඉතා වැදගත් වන කරුණු රාශියක් කවි සංකල්පනාවලින් හැඩ ගස්වා ප්‍රකාශයට පත් කර තිබේ. බොහෝ මිනිසුන්ගේ අපේක්ෂාව නම්, ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, මිල මුදල් ආදි උපභෝග සැප සම්පත්වලින් ආඪ්‍යව, මෙලොව ජීවිත ගත කිරීමට ය. ඒවා ලබා ගැනීමට ඔවුන්ගේ මුළු ජීවිත කාලයම යොදවයි. කොතෙක් සැප සම්පත් එකතු කළත්, ජීවිතයේ අවසන් මොහොතේ දී සිදු වන්නේ කුමක් ද යන්න ඔවුනට කල්පනා කළ නො හැකි ය. වයස්ගතව හෝ අකාලයේ අබල දුබලකමක් නිසා ‍‍හෝ එක් තැන් වී ජීවත් වීමට සිදු වුවහොත්, මිනිසකුට මුහුණ පෑමට සිදු වන දුක්බර ස්වභාවය ගැන අවධානය යොමු කරමින්, ජීවිත පිළිබඳ කෙරෙන අර්ථකථනය ඉතා ම සරුසාර හැඟීම්වලින් පෝෂණය වී තිබේ. ‘මහල්ලෙකුගේ අවුරුද්ද’, ‘මනෝතරංග’, ‘යෂ්ටි පරමා සබා’ (සැරයටිය පරම මිතුරා ය.) ‘වැඩි හිටි නිවාසය’, ‘තිළිණයකි’, ‘විලේ පියුමන් පිපී ගිය දා...’, ‘ඇතුගල බුදුරුව’, ‘ජීවිතය කියන්නේ මරණයේ මාවත යි’, ‘මරණය සුන්දර යි’, ‘කායගතා සතිය’, ‘සුසංයත සංවාදය’ ආදි පද්‍ය රචනා රාශියක් මේ ගණයට ඇතුළත් කළ හැකි ය.

එච්.එම්.කේ. බී. හේරත් කවියා විවිධ මාතෘකා යටතේ සපයා ඇති පද්‍ය පන්ති සමූහය, නූතන කවියන්ට කාව්‍ය රචනා සඳහා වස්තු විෂය, කාව්‍ය ආකෘතිය හා කාව්‍ය භාෂාව කවර ආකාරයකින් භාවිතයට ගත යුතු ද යන්න වටහා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වෙයි. වර්තමාන සමාජ අත්දැකීම් කවි බසට නැගීමේ දී, සෞන්දර්යයෙහි පමණක් නො රැඳී, සුගතිගාමී ක්‍රියා මාර්ගයක් කෙරෙහි අවධානය යොමු කර, පද්‍ය රචනා කළ යුතු බව අවබෝධ කර දෙන බැවින්, අරමුණ, අන්තර්ගතය ආදිය සකස් කර ගැනීම සඳහා ද මේ කාව්‍ය සංග්‍රහය නූතන කවියනට ප්‍රයෝජනවත් වෙයි.

 

පී.බී.ඒකනායක
සේවා සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය


නව අදහස දක්වන්න

Or log in with...