නදීකාට මොනර බිත්තර කොයින් ද? | දිනමිණ

නදීකාට මොනර බිත්තර කොයින් ද?

රන්ජන් අමරරත්න

නදීකා බණ්‍ඩාරගේ දෙවැනි ප්‍රබන්ධ කතාව වන 'මොනර බිත්තර' කෘතිය විෂය ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ විග්‍රහයට ලක්කළ හැකි බව පෙනෙයි. එක; ඇය විසින් භාවිත කරන නිදහස් ආඛ්‍යාන රටාව වන්නේ ය. එය සිංහල නවකතාවට අලුත් විලාසයක් එකතු කරයි. දෙක; සිංහල ස්ත්‍රීවාදී ලේඛනය වන්නේ ය. සිංහල ස්ත්‍රීවාදී ලේඛනයේ අලුත් ඉසව්වක් ද ඇය විසින් මතු කරනු ලැබේ. කෘතියට සංගෘහිත කර ඇති කේ. කේ. සමන් කුමාරගේ (සර්පයා) දීර්ඝ විවරණයෙන් ස්ත්‍රීවාදී ලේඛනයේ න්‍යාය හා භාවිතය ද; ඒ තුළ නදීකාගේ ලියැවිල්ලට හිමි වන ආස්ථානය ද විග්‍රහ කර තිබේ. එබැවින් අපගේ වැඩි අවධානය යොමු වන්නේ, කතුවරියගේ ආඛ්‍යාන රටාව කෙරෙහි ය.

කතාවෙන් මතු කරන්නේ, අපේ සමාජ ක්‍රියාකාරකම් තුළ ස්ත්‍රිය දරන පීඩනය හා වේදනාව යි. ඒ වේදනාව වරෙක ප්‍රතිරෝධයක් කරා ද, වරෙක වෛරයක් කරා ද ගමන් කරයි. කතානායිකාව සිය ආදරවන්තයා, පියා, මව හා දරුවා යන සංකේත සමඟ කරන සංවාදවලින් ඒ බව සනාථ වේ. ඇතැම් සංවාදයක මුළුමනින් ම පරිකල්පිත ය. ඇතැම් සංවාදයක් මුළුමනින්ම ස්වභාවික ය. මේ සංවාද මතු කිරීමේ දී අතීතය, වර්තමානය හා අනාගතය රේඛාවලින් වෙන් කරන්නේ නැත. කතාව එක ම දෘෂ්ටිකෝණයක් තුළ සිරගත කරන්නේ ද නැත. උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ දෘෂ්ටි‍ කෝණ මත ද, රංග කෝණ දෂ්ටිය මත ද කතාව රඟ දැක්වෙයි.

නවකතාව ආරම්භ වන්නේ පැරැණි ලන්දේසි රෝහලේ රාත්‍රියක සැමරුම් අවස්ථාවක් වෙතින් ය. අද එය රෝහලක් නොවේ. රෝහලක් හෝටලයක් බවට පරිවර්තනය වී ඇත. කිසිවකුගේ අවධානයට ලක් නොවූ මේ සිද්ධිය, නදීකා බංඩාරගේ සැලැකිල්ලට ලක් වන්නේ පරම්පරාවක වෙනසක් හැටියට ය. නවකතාවක ආරම්භය හා ඊට අදාළ පසුබිම ඉතා වැදගත් ය. එය පාඨකයා මුළුමනින් ම ග්‍රහණයට ගෙන, විස්මයට පත් කරන සිදුවීම්වලින් සමන්විත කිරීමට නදීකා සමත් වෙයි.

'හෝටලයේ පිටත කොරිඩෝවේ සුදු තරුණියක හා තරුණයකු වයින් තොලගානවා. තරුණිය වරින්වර තරුණයාගේ දෑත් ඇගේ දෙතොල්වලින් සිපගන්නවා. ඈ ඔහුගේ පෙම්වතා හෝ සැමියා හෝ වෙනත් ඕනෑම කෙනකු හෝ වෙන්ඩැති. ඈ ඇඳලා ඉන්නෙ ජිප්සි කොලරයකින් යුක්ත මිනි ගවුමක්.'

(පිටුව - 07)

නදීකා බංඩාර සිය චරිත නිරූපණයේදී එම චරිත හුවා දක්වන ආකාරය සිත්ගන්නාසුලු ය. චරිත නිරූපණයේදී බටහිර නවකතාව අනුදක්වන විශේෂ ලක්ෂණ හයක් තිබේ.

(I) චරිතය පිළිබඳ කෙටි විස්තරය.

(හඳුන්වාදීම)

(II) චරිතය නිශ්චය කළ හැකි විස්තර ය.

(III) විශේෂ ශාරීරික ලක්ෂණ හා ඇඳුම්

(IV) චරිතයක හැසිරීම් හා ක්‍රියාකාරකම්

(V) චරිතවල සංවාද (ඔවුන්ගේ ප්‍රශ්න හා

උත්තර)

(VI) චරිතවල මානසික ක්‍රියාකාරීත්වය හා

සිහින

නදීකාගේ කෙටි වාක්‍ය සහිත නිරූපණවලින් චරිතයක බාහිර පෙනුම මෙන් ම ඇතුළාන්තය ද එනම්; චරිතවල සිතුම් - පැතුම් හා හැඟිම් ද යම් පමණකින් වටහාගත හැකි ය. සාර්ථක චරිත නිරූපණය පාඨකයාට හොඳින් දැනෙයි. පාඨක ආකර්ෂණය ‍රඳවා ගනියි. මෙහි එන කතා නායිකාවට නමක් නැත. එහෙත් ඇය අපගේ මුළුමහත් අවධානය දිනාගන්නේ විශ්වාසයක් ද සමඟ ය.

නදීකා බංඩාරගේ ආඛ්‍යානයෙහි ඇති අමුත්ත ශිල්පීය ලක්ෂණ කිහිපයක් ඔස්සේ විමසුමට ලක් කළ හැකි ය.

(I) නිරූපණ

(II) භාෂාවේ උත්ප්‍රාසය

(III) පාඨකයාගේ පරිකල්පනයට ඉඩදීම

(IV) මැවීම හා සංකේත භාවිතය

චරිත හා අවස්ථා නිරූපණයේදී වරෙක වේදිකා රංගයක විලාසය පවතී. තව වරෙක චිත්‍රපට තිරනාටකයක විලාසය පවතී. කතුවරිය සිය කතාවේ සිදුවීම් ඔස්සේ මැවෙන රූපාවලියක් කෙරෙහි විශ්වාසය තබාගෙන ඇති බවක් පෙනෙයි. ගැහැනියගේ උමතුභාවය, ලිංගිකත්වය හා වේදනාව නිරූපණයේදී කතුවරිය වඩාත් නිදහස් ය. වඩාත් හැඟුම්බර ය.

'මට දරුවො එපා. දැන් මම මොකක්ද කරන්නෙ? මට බැහැ. මට ඕන වුණේ දැරියගේ හැඟීම්වලින් ගැලවෙන්න. ඈ දැනගෙන හිටියා. ඈ පුංචියි'

(පිටුව - 51)

නදීකා භාෂා භාවිතයේදී උත්ප්‍රාසය උපාය මාර්ගයක් ලෙස යොදා ගනී. එය නවකතාවේ මෙන් ම නූතන පත්‍රකලාවේ ද එක් විලාසයක් ලෙස පවතී.

'විශේෂයෙන් ශෝකී වූ විට ඈ හැසිරෙන්නේ කෝප වූවකු ලෙස නිසා, ඒක තවත් අමාරුයි. ඈ ළඟින් ම ඇසුරු කළ අය ඇගේ මෙම ගතිය දැන සිටියා. ඈ වඩා කෝපයෙන් නම් ඒ ඈ වඩා ශෝකයෙන්. මක්නිසාදයත්; තමා ශෝකයෙන් බව කිසිවකු දැනගන්නවාට ඈ කැමැති වූයේ නෑ'

(පිටුව - 24)

'ආදරණීය දෙවියන් වහන්ස, අපි ඉන්නෙ රජවරු වගේ. ඒකට අපි කඹුරනවා හැම මොහොතේම'

(පිටුව - 48)

කතුවරිය සිය භාෂා ප්‍රයෝග ඔස්සේ බොහෝ තැන්වලට ද, බොහෝ චරිතවලට ද විවේචන එල්ල කරන බවක් පෙනෙයි. එය පාඨකයාගේ බුද්ධියට තට්ටු කිරීමක් ලෙස සැලැකිය හැකි ය. අරුන්දතී රෝයි ද සිය ප්‍රබන්ධ කතා දෙකෙන් ම මේ කාරිය ඉටු කරන බව කිව හැකි ය.

නූතන නවකතාවේ තවත් එක් විලාසයක් වන්නේ, පාඨකයාගේ චින්තන ලෝකය කෙරෙහි අවධානය යොමු කිරීම ය. පාඨකයාට විනිශ්චය කිරීම සඳහා යමක් ඉතිරි කිරීම හා ඔහුගේ පරිකල්පන ලෝකය අවදිකිරීම මේ මඟින් සිදුවේ. නදීකා බණ්ඩාර සිය කතා නායිකාව නාමකරණයකට ලක් කර ඇත්තේ ද පාඨකයාගේ පරිකල්පනයට ඉඩ දෙමින් යැයි සිතන්නට පුළුවන. එකිනෙක නම්වලට ද අනන්‍ය හැඟීම් හා හැඩතල තිබෙන්නට පුළුවන. ඊට අනුව පාඨකයා ප්‍රධාන චරිතය නම් කර ගනු ඇත. එයත් හොඳ උපාය මාර්ගයකි.

නදීකා බංඩාර සිය ආඛ්‍යානයේදී මැවීමට හා සංකේත භාවිතයට වැඩි නැඹුරුවක් දක්වා ඇත. දේවල් හා හැඟීම් මැවීම සඳහා ප්‍රබන්ධ කථාවේ පරණ විලාස මෙන් ම, අලුත් විලාස ද භාවිත කරයි. වරෙක ඇය විඥානධාරා සංකල්පයට සමීප වෙයි. තව වරෙක ඉන්ද්‍රජාලික සංකල්පයට සමීප වෙයි. මේ ශෛලීන් සුසංයෝග කිරීමේදී කතුවරියට පැටලෙන අවස්ථා ද තිබේ. කොහොමටත් මේ කතුවරිය සිය කතාවේ ගැළපීම් ගැන මීට වඩා පරෙස්සම් සහගත වූයේ නම් වටී.

වඩාත් වැදගත් වන්නේ, නදීකාගේ ප්‍රකාශනයෙහි අර්ථ සමුදාය යැයි කියන්නට පුළුවන . මීට දින කිහිපයකට පෙර ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්යවරයකු විසින් සමීක්ෂණ වාර්තාවක් එළිදක්වන ලදී. එම සමීක්ෂණ වාර්තාවෙන් ස්ත්‍රීන් සම්බන්ධයෙන් බලපවත්වන ගෘහස්ථ හිංසනය කදිමට විස්තර කර තිබිණි. ජංගම දුරකථන, ෆේස්බුක් ආදී නූතන සන්නිවේදන භාවිතයන් නිසා කාන්තාවන්ගෙන් 26%ක් හිංසනයට ලක්වන බව සමීක්ෂණය පෙන්වා දෙයි. ‘මිස් කෝල්’ නිසා ද පවුල් ආරවුල් ඇතිවී තිබේ. මෙහිලා ගැටුමට මුල් වන ප්‍රධාන සාධකය වන්නේ පුරුෂ පාර්ශ්වය තුළ හටගන්නා සැකය බව සඳහන් වේ. සැකය එක අතෙකින් කාම ඊර්ෂ්‍යාවේ ප්‍රතිඵලයක් හැටියට සැලැකිය හැකි ය.

පුරුෂ පක්ෂය ගැන බලනවිට පහරදීම්වලට පෙලඹෙන හේතු ලෙස දක්වා ඇත්තේ, මත්පැන් භාවිතය, මුදල් පිළිබඳ ගැටලු හා අසහනයයි. සමීක්ෂණයට ලක් වූ කාන්තාවන්ගෙන් 63%ක් 117 ක් පාරකට වඩා පුරුෂයාගේ පහරකෑමට ලක් වී ඇත. ගැටලුවෙහි භයානක තත්ත්වය එයින් පැහැදිලි වේ. පහරකෑමට ලක්වන ස්ත්‍රීන්ගෙන් වැඩි දෙනකුගේ හිස හා මුහුණ දරුණු ලෙස අනතුරට ලක් වී ඇත. ඇතැම් පුරුෂයෝ කොසු මිටෙන් හා දොර පොලුවලින් පහර දෙති. තවත් පුරුෂයෝ බලහත්කාර ලිංගික හැසිරීම්වල නිරත වෙති. නදීකාගේ නවකතාවෙන් මේ ඛේදවාචකයේ වෙනත් පැතිකඩක් සාකච්ඡා වෙයි. ස්ත්‍රිය ලිංගිකත්වය කෙරෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? දරුවන් ලැබීමෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද? පුරුෂයා ලිංගිකත්වය කෙරෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? පුරුෂයා දරුවන් ලැබීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? ‍මේවා අඩු වැඩි වශයෙන් සාකච්ඡා කිරීමට නදීකා උත්සාහ දරයි. ඒ අතින් බලන විට ප්‍රබල සමාජ සංවාදයකට අවශ්‍ය බීජ මෙහි පවතී.

මොනර බිත්තර ප්‍රබන්ධයේ කතා නායිකාවගේ ජීවිතය දෙස එබී බැලුවහොත්, ලිංගිකත්වය, පවුල ආදරය, දරුවන් හා අපේ සම්ප්‍රදාය පිළිබඳ බොහෝ දේ වටහා ගත හැකි ය. අපේ සම්ප්‍රදාය තුළ ලිංගිකත්වය විමර්ශනයට ලක් වන්නේ නැත. එය රීතිවලින් බැඳ පසෙකට තල්ලු කර තබා ඇත. ප්‍රශ්න කිරීම් නැත. විශේෂයෙන් ස්ත්‍රියට ඒ ගැන ප්‍රශ්න කිරීම තහනම් ය. නදීකා ඊට තදබල ලෙස විරෝධය දක්වන බවක් පෙනෙන්නට තිබේ. අපේ උසාවි තුළ දිනකට දික්කසාද නඩු විශාල ප්‍රමාණයක් විභාග වෙයි. ඒවායින් මතුවන ඇතැම් සාධක සමාජය වෙත වාර්තා වන්නේ අඩුවෙන් ය. බොහෝමයක් දික්කසාද නඩුවලට ලිංගික ප්‍රශ්න සම්බන්ධ වී තිබේ. එහෙත් ඒවා නඩුමඟට එන්නේ වෙනත් ප්‍රශ්න හරහා ය. එයින් ද පෙනී යන්නේ ලිංගික කරුණු පිළිබඳ සාකච්ඡාවකට අපේ සමාජය සූදානම් නැති බව ය.

නදීකාගේ මුල් නවකතාව මෙන් ම දෙවැනි නව කතාව ද, ජීවිතය හා ලිංගිකත්වය ගැන නිදහස්ව කතා කරයි. ඇය ඒ අතින් පමණක් නොව, නවකතාවේ ශිල්පීය අංග භාවිතය සම්බන්ධයෙන් වුව රැඩිකල් ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. නොබියව හා නොවහල්ව ලේඛනයේ යෙදෙන පිරිසක් අද අපට වුවමනා කර තිබේ. ඒ අඩුව පිරවීමට තවත් නදීකලා අවශ්‍ය වේ.

 

 


නව අදහස දක්වන්න

Or log in with...