‘යෝගා’ගේ වසර 50ක සේවයට උපහාර පිදෙයි | දිනමිණ

‘යෝගා’ගේ වසර 50ක සේවයට උපහාර පිදෙයි

ෆවුස් මොහොමඩ්

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ වසර 50ක් පුරා සිදුකළ විශිෂ්ට මෙහෙවර උදෙසා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා ඊයේ සිය සමකාලීන පුහුණුකරුවන්ගේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ ක්‍රීඩා සංගම් පරිපාලකයන්ගේ සහභාගීත්වය උපහාර ප්‍රණාම ලැබුවේය. සේව් ද ස්පෝර්ට්ස් සංවිධානයේ මෙහෙයවීමෙන් ක්‍රීඩාව වෙනුවෙන් අපමණ මෙහෙවරක් සිදුකළ මෙරට ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් උදෙසා වාර්ෂිකව සිදුකෙරෙන වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මේ ප්‍රණාම උළෙල ඊයේ උදෑසන ඔලිම්පික් නිවහනේ දී ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී යෝගානන්ද විජේසුන්දර මහතාට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් සේව් ද ස්පෝර්ට්ස් උපහාර තිළිණය පිරිනැමිණි. 73 හැවිරිදි වියෙහි පසුවන යෝගානන්ද මහතා මේ වනවිට දෑස් නොපෙනීමේ තත්ත්වයෙන් පීඩා විඳිමින්ද, ඇවිදීමට අපහසු තත්ත්වයෙන් පසුවූව ද ජවසම්පන්න දේශනයකින් ඔහුගෙන් පුහුණුව ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මතකය අලුත් කිරීමට සමත්වීම කැපී පෙනුණි.

දශක 5ක කාලයක් පුරා මෙරට විශිෂ්ට පුහුණුකරුවකු ලෙස ගෞරවයට පාත්‍රවීමට තමාට ක්‍රීඩාව සම්බන්ධව පමණක් නොව සෙසු ක්ෂේත්‍රයන් කෙරෙහි තිබු දැනුමත් ඉවහල් වූ බව සිය දේශනය අතරතුර දී යෝගානන්ද විජේසුන්දර මහතා සිහිපත් කළේය.

‘පුහුණුකරුවෙක් නිතරම දැනුවත් පුද්ගලයකු විය යුතුයි. ඔහුට ක්‍රීඩාව සම්බන්ධව පමණක් නෙවෙයි දේශපාලනය, භූ ගෝලීය, ඓතිහාසික වැනි සෙසු විෂය පද්ධති පිළිබඳවත් දැනුමත් තිබිය යුතුයි. මනා පෞරුෂත්වයකින් හා විනය ගරුකව හැසිරීමත් පුහුණුකරුවකුට තම කීර්තිය ළඟාකර ගත හැකියි. කීර්තිය අත්පත් කරගැනීමට කාලයක් ගතවෙනවා. ඒත් අපකිර්තිය ඉක්මනින්ම ලබාගත හැකියි.’ ඔහු කීවේය.

ක්‍රීඩාව යනු මේ වනවිට කලාවක් බවට පත්වී ඇතැයි යෝගානන්ද විජේසුන්දර මහතාගේ අදහසය. එහෙත් එය පුහුණුකරුවන්ගේ ද්‍රෂ්ථි කෝණයට අනුව වෙනස් වන බවත් ඔහු කීවේය.

‘ඒ වගේම පුහුණුකරුවකුට ලේඛන හැකියාවත්, දේශනයක් කිරීමේ හැකියාවත් පිහිටා තිබිය යුතුයි. එවිටයි ඔහු අංග සම්පුර්ණ වන්නේ. ජාත්‍යන්තර ඝනයේ පුහුණුකරුවන් කැපී පෙනෙන පුද්ගලයන් වී ඇත්තේ එලෙසයි.’ යෝගනන්ද විජේසුන්දර මහතා පැවැසීය.

වර්තමානයේ දී ක්‍රීඩාවෙන් යැපෙන සහ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ආදි වශයෙන් කොටස් දෙකක් මෙරට සිටින බවත්, ඔවුන්ගෙන් ක්‍රීඩාවෙන් යැපෙන පිරිසගේ අරමුණ වී ඇත්තේ කෙසේ හෝ මුදල් ඉපැයීම බවත් ඔහු සඳහන් කළේය.

ක්‍රීඩාවේ නිරතවී සිටි දීර්ඝ පරිච්ඡේදය තුල මෙවැනි ඇගැයීමක් සිදු කරමින් හිටපු පුහුණුකරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකම ස්ථානයට ඒකරාශී කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අසමත්වූ බව සිහිපත් කළ යෝගානන්ද විජේසුන්දර මහතා එම කර්ත්‍යවය සිදු කිරීමට මුල්වීම ගැන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට සිය ස්තූතිය පුද කිරීමට අමතක නොකළේය.

එකළ යෝගානන්ද විජේසුන්දර මහතා රූපවාහිනි සංවාද වැඩසටහන්වලදී ප්‍රකාශ කළ බොහෝ කරුණු කාරණා සිය ක්‍රිකට් ජීවිතයේ පමණක් නොව පෞද්ගලික ජිවිතය ද වෙනස් කිරීමට දැඩි බලපෑමක් වූ බව මේ ප්‍රණාම උළෙලට එක්වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.

යෝගානන්ද විජේසුන්දර මහතා වැනි පුහුණුකරුවන් වර්තමානයේ බිහි නොවන බවත්, ඔහුගේ දැනුමත්, කැපකිරිමත් මෙරට මලල ක්‍රීඩාවේ උන්නතියට විශාල සාධකයක් වූ බවත් අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.

‘පැරැණි ක්‍රීඩකයන් එන්න එන්නම ක්‍රීඩාවන් ඈත් වෙනවා. මේකද දැන් ක්‍රීඩාවේ තත්ත්වය. අපි හැමෝටම විශාල වේදනාවක් තියෙනවා. ඒ කාලයේ ක්‍රීඩාවට විශාල සේවයක් කළ ඇමැතිවරු හිටියා. ගාමිණී දිසානායක මහතා ඒ අතර ඉදිරියෙන් සිටිනවා. ඔහුට ක්‍රිකට් ක්‍රීඩාව ගැන කිසිම දැනුමක් තිබුණේ නෑ. ඒත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ඒකරාශි කරගෙන ඔහු කමිටුවක් හැදුවා. කෙටිකාලීන, මධ්‍යම හා දිගු කාලීන වශයෙන් වැඩසටහන් හැදුවා. ඒවායින් තමයි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව අද දක්වාම පවත්වාගෙන ආවේ. නමුත් දැන් තත්ත්වය වෙනස්වෙලා. ක්‍රිකට් විතරක් නෙවෙයි අනික් ක්‍රීඩාත් දැඩි පසුබෑමකට ලක්වෙලා. මේ තත්ත්වය වෙනස් කරලා ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් අපි හැමෝම එක්විය යුතුයි. තාවකාලික විසඳුම්වලින් ක්‍රීඩාව ගොඩගන්න බෑ. අපේ රටේ දේශපාලකයන්ට වඩා මිනිසුන් අතරේ වැඩි පිළිගැනීමක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තියෙනවා. නමුත් පසුගිය කාලයේදී අපේ රටේ දේශපාලකයන්ගේ අවලාදවලට අපහාසවලට මුහුණදෙන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවුණා. මේවා නවත්වන්න ඕනා. අපි හැමෝම එකතුවෙන්න ඕනා. අපි ගැන මිනිස්සු ආසාවෙන් කතා කරන්නේ අපි ක්‍රීඩාව තුළින් ගොඩනගාගත්තු ප්‍රතිරූපය නිසයි. ඒ තත්ත්වය අපි තේරුම් ගන්න ඕනා.’ අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

මෙරට ක්‍රීඩා සංගම් නියෝජිතයන් සහ හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.


ඡායාරූප - වාසිත පටබැඳිගේ

 

නව අදහස දක්වන්න