ක්‍රීඩා ඇමැති නියෝග කළ පරීක්ෂණය නිලධාරීන් මඟ හැරලා | දිනමිණ

ක්‍රීඩා ඇමැති නියෝග කළ පරීක්ෂණය නිලධාරීන් මඟ හැරලා

ෆවුස් මොහොමඩ්
හිටපු පුහුණුකරු ලලිත් ප්‍රියන්ත

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන මේසපන්දු කණ්ඩායමේ පුහුණුකාර තනතුර සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණය පක්ෂග්‍රාහී අයුරින් සිදුකළ බවට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට කළ පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඇමැතිවරයා නියෝග කළ ද නිලධාරින් එම නියෝගය පැහැර හැර ඇතැයි ජාතික මේසපන්දු කණ්ඩායමේ හිටපු පුහුණුකරු ලලිත් ප්‍රියන්ත මහතා කියයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජනයකින් තොරව පැවැති මේ සම්මුඛ පරික්ෂණයට තමා ද සහභාගි වූ බවත්, එහිදි එක් පාර්ශ්වයකට හිතවත් පුද්ගලයකු තනතුර සඳහා පත් කරගැනීමට නිලධාරීන් කටයුතු කළ බවත් ලලිත් ප්‍රියන්ත මහතා චෝදනා කරයි. මේ පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත පැමිණිලි කිරීමෙන් පසුව අමාත්‍යවරයා විසින් මේ සිදුවීම සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කරනු ලැබුවත් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් පවත්වා නැතැයි ද ලලිත් ප්‍රියන්ත මහතා චෝදනා එල්ල කරයි.

ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් පියවර ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයාට විශාල උනන්දුවක් තිබුණත් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ උදාසීන ක්‍රියා පිළිවෙත හේතුවෙන් ක්‍රීඩාව පරිහානිය කරා ගමන් කරමින් තිබෙන බව ද ඒ මහතා සඳහන් කරයි. ලලිත් ප්‍රියන්ත මහතා මේ අදහස් පළ කළේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ ශාලාවේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදීය.

‘අවසන් වරට ස්කොට්ලන්තයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී මේසපන්දු පුහුණුකරු ලෙස සහභාගි වෙමින් මා එතෙක් ශ්‍රේණිගත කිරීම්වල 20න් පහළ සිටි ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම 8 වැනි ස්ථානය දක්වා රැගෙන ගියා. එහෙත් මෙවර පුහුණුකරු තේරීමේදී ඔවුන්ට හිතවත් පුද්ගලයකු පත් කරගැනීමෙන් ක්‍රීඩාව දියුණු කරන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නෙ.’ ලලිත් ප්‍රියන්ත මහතා සඳහන් කළේය.

නව අදහස දක්වන්න