තිසර-කුසල් උත්සාහය සිම්බාබ්වේ පන්දු යවන්නෝ බිඳ දමති | දිනමිණ

තිසර-කුසල් උත්සාහය සිම්බාබ්වේ පන්දු යවන්නෝ බිඳ දමති

තිසර පෙරේරා හා කුසල් ජනිත් පෙරේරා අර්ධ ශතක රැස්කරමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා ගෙන යෑමට ගත් උත්සාහය අසාර්ථක කළ සිම්බාබ්වේ පන්දු යවන්නෝ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් සිම්බාබ්වේ පිලට ලකුණු 12ක ජයක් අත්කර දුන්හ.

සිම්බාබ්වේ පිල පළමුව පන්දුවට පහරදෙමින් රැස්කළ ලකුණු 290 හඹාගිය ශ්‍රී ලංකා පිලට පන්දු 11ක් ඉතිරිව තිබියදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 278ක් පමණි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමට ප්‍රවේගකාරී ආරම්භයක් ලබාදුන් කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග සමගින් පළමු කඩුල්ලට ලකුණු 46ක් එක් කළේය. එහෙත් ලකුණු 11ක් ලබාසිටි තරංග දැවී යෑමත් සමග කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඉනිම ගොඩනැගූ කුසල් ජනිත් දැවී යනවිට පන්දු 83කින් ලකුණු 80ක් රැස්කර තිබිණි.

පාකිස්තාන එක්දින තරගාවලියෙන් පසු යළිත් කැඳවූ කුසල් මෙන්ඩිස්ට සාර්ථක වීමට අවස්ථාවක් නොදුන් ටෙන්ඩායි චටාරා ඔහු ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කළේය.

උඩ පන්දු දෙකක් ගිළිහීමෙන් පිටියේ රැදිසිටීමේ වාසනාව උදාකරගත් කුසල් ජනිත් සිය 9 වැනි එක්දින අර්ධ ශතක රැස්කරගෙන සිටියදී සිකන්දර් රාසාගේ පන්දුවක් හමුවේ ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ඔහු හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් ඉනිමට එක්කර ගත්තේය.

ඔහු දැවී යනවිට නව නායක ඇන්ජලෝ මැතිව්ස් සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 85ක් එක්කර තිබිණි.

මුළු ලකුණු 157දී මැතිව්ස් දවාගැනීමට බ්ලෙසින් මුසර්බානි සමත්වූ අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුව 200 සීමාවට පිවිසීමටත් පෙර දිනේෂ් චන්දිමාල් හා අසේල ගුණරත්න (4) දවාගත් සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල අසීරු තත්ත්වයට ඇද දැමුවේය.

මැතිව්ස් පන්දු 64කින් ලකුණු 42ක් ලබාගත් අතර චන්දිමාල් පන්දු 33කින් ලකුණු 34ක් රැස් කළේය.

අනතුරුව පිටිය පිවිසි තිසර පෙරේරා යළි ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙනෙමින් හුදෙකලා සටනක නිරත විය. ඔහු ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට පන්දු 37කින් ලකුණු 64ක් රැස්කර තිබිණි. ඔහුගේ 8 වැනි එක්දින අර්ධ ශතකය සඳහා වැයවූයේ පන්දු 29ක් පමණි. හතරේ පහර 5කින් හා හයේ පහර 3කින් තිසරගේ ඉනිම වර්ණවත් වෙද්දී ඔහු, වනිඳු හසරංග (11) සමගින් 7වැනි කඩුල්ලට ලකුණු 30ක් හා අකිල ධනංජය (8) සමගින් 8 වැනි කඩුල්ලට ලකුණු 37ක් එක්කර තිබිණි.

පන්දු 36කින් ලකුණු 36ක් ලබා ගැනීමට තිබියදී පන්දුව අතට ගත් ටෙන්ඩායි චටාරා පිට පිට ඕවර 3කදී ශ්‍රී ලංකා අවසන් පිතිකරුවන් තිදෙනා දවා ගනිමින් සිම්බාබ්වේ පිලට ශ්‍රී ලංකාවට එරෙහිව පිට පිට තෙවැනි එක්දින ජය අත්කර දුන්නේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නව නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිලට සාර්ථක ආරම්භක ලබාදුන් හැමිල්ටන් මැසකඩ්සා හා සොලමන් මිරේ පළමු කඩුල්ලට ලකුණු 75ක් එක් කළහ.

තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීමෙන් මිරේ (34) දැවී යෑමත් සමග එම සබඳතාව බිඳ වැටුණු අතර ලකුණු ලබාගැනීමට පෙර ක්‍රෙග් අර්වින් ලබාදුන් උඩ පන්දුවක් දෙවැනි ස්ලිප්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී ගියද ඔහුට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 2ක් පමණි.

එවර ඔහු, සුරංග ලක්මාල්ගේ පන්දුවකට ලබාදුන් උඩ පන්දුව ඇන්ජලෝ මැතිව්ස් සුරැකිව රැක ගත්තේය.

අනතුරුව පිටියට පිවිසි බ්‍රෙන්ඩර් ටේලර්, මැසකඩ්සා සමග එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 142ක දක්වා ඉදිරියට ගෙන ගියේය.

සිය 32 එක්දින අර්ධ ශතකය රැස්කරගෙන සිටි මැසකඩ්සාගේ ඉනිම ලකුණු 73කින් නිමා කිරීමට අසේල ගුණරත්න සමත්වූයේ අතිරේක ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක උඩ පන්දුවක් රැක ගැනීමෙනි. පන්දු 83කට මුහුණදුන් ඔහු හතරේ පහර 10ක් ඉනිමට එක්කර ගත්තේය.

ඒ සමග පිටියට පිවිසි සිකන්දර් රාසා වේගවත් පිති හරඹයක නිතර වෙමින් සිම්බාබ්වේ පිල ලකුණු 300 සීමාව අභියෂයට රැගෙන ගියේ නොදැවී ලකුණු 81ක් රැස් කරමිනි. මේ තරගාවලියේ පිට පිට දෙවැනි අර්ධ ශතකය මෙන්ම එක්දින තරග දිවියේ 10 වැනි අර්ධ ශතකය රැස්කළ රාසා ඉනිම නිමාවනවිට පන්දු 67කට මුහුණදෙමින් හතරේ පහර 8ක් හා හයේ පහරක් එල්ල කර තිබිණි.

‍ඔහු, මැල්කම් වොලර් සමගින් 5 වැනි කඩුල්ලට ලකුණු 57ක් හා පීටර් මුවර් සමගින් 6 වැනි කඩුල්ලට පන්දු 39කින් වේගවත් ලකුණු 61ක් ඉනිමට එක් කළේය. මිලර් ලකුණු 29ක් හා මුවර් ලකුණු 19ක් රැස්කළ අතර දෙදෙනාම අසේල ගුණරත්නට ගොදුරුව දැවී ගියේය.

තරගාවලියේ තෙවැනි තරගය ශ්‍රී ලංකාව හා සත්කාරක බංග්ලාදේශය අතර හෙට (19) පැවැත්වෙයි.

නව අදහස දක්වන්න