පොල්අතුමෝදර උණ පඳුරු ප්‍රශ්නය | දිනමිණ

පොල්අතුමෝදර උණ පඳුරු ප්‍රශ්නය

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකට මායිම්ව ගලා යන පොල්අතු මෝදර ගංඟාවේ මහ උණ පඳුරු ගංඟාව මැදට කඩා වැටීම නිසා කෝදාගොඩ අද්දරවැල්ලාන ගම්මානය ඇතුළු අවට ගම්මාන කිහිපයක ජනතාව මහත් දුෂ්කරතාවට පත්ව ඇත. කෝදාගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී ජනක සම්පත් මහතා පසුගිය දා පැවති ඉමදුව සම්බන්ධීකරණ රැස්වීමේ දී මේ පිළිබඳව අනාවරණය කළේය.

පොල්අතුමෝදර ගංඟාව අවට ගම් කිහිපයක ජනතාව ද කියා සිටියේ මෙම කරුණ නිසා පොඩි ගංවතුරකට පවා සිය ගම් ප්‍රදේශ ජලයෙන් යට වන බවයි. ග‍ඟේ කිඹුලන් ද සිටින නිසා තමන් ඉතා බියකරු අත්දැකීම්වලට මුහුණ පා ඇති බවද ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝදාගොඩ නැගෙනහිර අද්දරවැල්ලාන ජී. එච්. කුසුමාවතී මහත්මිය (62),

"අපිට පුදුම කරදරයක් වෙලා තියෙන්නේ. මේ හරියේ ඉන්නේ කුඹුරු කරලා ජීවත්වෙන මිනිස්සු. සාමාන්‍යයෙන් ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල ගැලීමක් ඇති වුණාම ඒක මේ පැත්තට බලපානවා. දැන් පොඩි වැස්සටත් අපේ ගෙවල් ඔක්කොම යටවෙනවා. අපේ වගාත් විනාශයි. මම හිතන්නේ මේ හරියේ ගඟේ රොන් මඩ විශාල ප්‍රමාණයක් තැන්පත් වෙලා තියනවා. හැමතැනම උණගස් පඳුරු පිටින් ගඟට වැටිලා බැලූ බැල්මට පේන්නේ ගඟේ ගොඩ තැන් කියලා. නමුත් ඒ තැන් අඩි 10 -15 විතර ගැඹුරුයි. උණ පඳුරු ගඟට වැටිලා නිසා සමහර තැන්වල ගඟ යන්නේ ගොඩ හරියෙන්. මේ නිසා ජල ගැලීම ඉක්මන් වෙනවා. අපි මේ ගැන අවශ්‍ය අයට කිව්වා. වාරිමාර්ගයට ලියුම් යැව්වා. ග්‍රාම නිලධාරීතුමාටත් කිව්වා. මේ දවස්වල හරි ඉක්මන් වැසි තියෙන්නේ. විනාඩි ගණනකින් ඔක්කොම යට වෙනවා."

ආර්.ජී. දේවිකා මහත්මිය (26),

"පසුගිය දවස් ටිකේම වපුරපු කුඹුරු ටික යට වුණා. ජලගැල්මක් ඇති වෙන්න ඕන වැස්සකුත් නෙමෙයි ආවේ. උණ බට යට ඉඳලම වැටිලා තියනවා. මේවා අස්කරපු නැති නිසා වතුර බහින්නේ නෑ. මේකට වෙන විසඳුම් නෑ. මේවා අයින් කරන්නම ඕන. සමහර නිලධාරීන් කියනවා අපිට බැහැලා අයින් කරන්නලු. අපිට ඒක කරන්න බෑ. මේකේ කිඹුල්ලු ඉන්නවා. බට ගඟ මැද තියන නිසා ගඟ ගලන්නේ ගොඩින්. කිඹුල්ලු පේන්නම ඉන්නවා. වැටෙන් උණ ගස් අයින් කරන්නේ නැතිව දැන් ගොඩක් යටට ගිහිල්ලා ඇති. ඒකයි ගඟ ගොඩින් ගලන්නේ. මෙහේ ඉන්නේ කෘෂිකාර්මික ජීවිත ගෙනියන අය. මේ වගේ පොඩි වැසිවලටත් යටවෙනවා නම් අපිට මේ ජීවිකාව කරගෙන යන්න අමාරුයි. ඒ නිසා ඉක්මන් විසඳුමක් ලබා දෙන්න කියා ඉල්ලනවා."

යාපා ශ්‍රියානන්ද මහතා, (41) ,

" ඇත්තටම මම හිතන්නේ වාරිමාර්ග එකෙන් තමයි මේක කරන්න ඕන. අපිට ගිහිල්ලා මේ බට කපන්න බෑ. අපිට පහසුකම් නෑ. මෙතන කිඹුල්ලු ඉන්නවා. මේ සම්බන්ධයෙන් ඉක්මන් විසඳුමක් ඕන. ගිය කන්න දෙකේම වැපුරුවාට පස්සේ තමයි මේ පොඩි වැස්සට යට වුණේ. පසුගිය කන්න දෙකේම අස්වැන්නක් ගන්න බැරි වුණා. උණබට කපා ඉවත් කළේ නැත්නම් කිඹුල්ලු ගෙවල්වලටම එ්වි. ඒ තරමටම ගඟ දැන් ගොඩ පැත්තට ඇවිල්ලා. කිඹුලකුට කවුරු හරි බිලිවෙන්න කලින් මේ වැඩේ කරලා දෙනවා නම් වටිනවා."

පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු එල්. අයි. රාමනායක මහතා,

"ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ මේ ගැන සාකච්ඡා වුණා නම් සමහර විට මේ වන විට අදාළ අංශ දැනුවත් වෙලා ඇති. කොහොම වුණත් අපි මේ ගැන අනිවාර්යෙන්ම සොයා බලන්නම්. වහාම ගන්න පුළුවන් ක්‍රියාමාර්ග දැනට අරගෙන ඉදිරියේ දී එවැනි දෙයක් සිදුනොවන ආකාරයටත් වැඩ කටයුතු සිදු කරන්න කටයුතු කරනවා.

ලංකින්ද නානායක්කාර ඉමදුව සමූහ 

නව අදහස දක්වන්න