උපන්දා සිට බත් ඇටයක් නොකෑ පුංචි පුතෙක් | දිනමිණ

උපන්දා සිට බත් ඇටයක් නොකෑ පුංචි පුතෙක්

මවුපියෝ පිහිට පතති

මිනිසෙකු මෙලොව උපන් මොහොතේ පටන් වැඩිවියට පත්වන විට අවධි කිහිපයක් පසු කරයි. උපන් මොහොතේ පටන් මවු කිරිවලින් පෝෂණය වන දරුවෙක් ක්‍රමයෙන් වැඩිවියට පත්වන විට ආහාරවලට හුරු වීම සාමාන්‍ය ජීවන ක්‍රමයේ සිදුවීමකි. නමුත් එවැනි හුරු වීමක් නොමැතිව උපන්දා පටන් පිටි කිරිවලින් පමණක් දරුවෙකු ජීවත් වන්නේ නම් එය අසාමාන්‍ය සිදුවීමකි. එහෙත් එවැනි දරුවෙක් අපට හමුවූයේ අහම්බෙනි. උපන්දා පටන් මවු කිරිවලින් වැඩී අවුරුදු එක හමාරක වයසට පා තැබූ මේ පුංචි පුතු අවුරුදු 6ක් ගෙවා ආවද තවමත් බත් ඇටයවත් රසක් නොදනී. මන්ද ඔහු ජීවත් වන්නේ පිටි කිරිවලින්ම පමණක් නිසා වීමය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රාජාංගණය වම් ඉවුර යාය 02, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචිව සිටින මෙම පුංචි පුතු නමින් නිශ්සංකගේ ජනිත් නයන රංගන ජයරත්නය. ඔහුගේ මව අප සමඟ කියා සිටියේ මෙවැනි දෙයකි.

‘‘මට පුතා ලැබෙද්දි එයාගේ බර තිබුණෙ කිලෝ 1 යි ග්රෑම් 630 යි මහත්තයෝ. මෙයා ලැබුණේ අඩු උපත් බරින්. ඉතිං එහෙම වුණ නිසා මගේ කිරි උරලා බොන්න තරම් ශක්තියක් එයාට තිබුණෙ නෑ. බටයක ආධාරයෙන් තමා එයාට කිරි පෙව්වෙ. කොහොමහරි මෙයා ඉපදිලා මාස තුනක් විතරම මම අනුරාධපුර රෝහලේ මෙයා තියාගෙන හිටියා. නමුත් අවුරුදු එකහමාරෙදි මෙයාට බෙහෙතක් විද්දා. එතනදි මෙයාට උණ හැදිලා දවස් හතක් යනකල් හොද වුණේම නෑ. ඊට පස්සෙ ඉදන් තමා මේ විදිහට කෑම නොකා කිරිපිටිවලින්ම ජීවත් වෙන්නෙ. සාමාන්‍යයෙන් සතියකට කිරිපිටි පැකට් අටක් විතර යනවා මෙයාට. ඇත්තටම මහත්තයෝ අපි පුතාගේ ඒ දේවල් සම්පූර්ණ කරන්නෙ ගොඩක් ලොකු දුෂ්කරතා මැද්දේ. යැයි ජනිත්ගේ මව වූ කේ. පී. ආර්. සුරංගිකා නිමාලි මහත්මිය කියා සිටියාය.

ජනිත් පිළිබද තොරුතුරු පැවසූ ඔහුගේ පියා වූ එන්. ධම්මික වසන්ත මහතා කියා සිටියේ මෙවැන්නකි.

‘‘පුතා ඉපදුනේ 2012 ජූනි 07 වැනිදා ඉතිං අවුරුදු එකහමාර වෙනකල් අපි පුංචි පුංචි ආහාර පුතාට දුන්නා. ඒත් දැන් එයා සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නෙ පිටි කිරිවලින් විතරයි .ඇත්තටම එයාගේ වියදම් සේරම දරන්න සිද්ධ වෙලා තියෙන්නෙ මම කුලී වැඩක් කරලා හොයන කීයක් හරි මුදලකින්. ඒ වගේම මම රෝගීයෙක්. මට තව දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් පාසල් යනවා. ඒ දෙන්නගේ ඉගැනුම් වැඩයි ගෙදර වියදම් සේරමයි එක්ක අපි ගෙවන්නෙ හරි දුෂ්කර ජීවිතයක් මහත්තයෝ.

කෙසේ හෝ ජනිත් පුතුගේ කිරිපිටිවලට යන වියදම තනියෙන්ම දරා ගන්නට තරම් හැකියාවක් හෝ ශක්තියක් ඔහුගේ මවටත් පියාටත් නොමැත. එමෙන්ම පෙර පාසල් නිල ඇදුම් ඇත්තේද එකක් පමණය. ඒ නිසා ඒ පුංචි පුතු වෙනුවෙන් ඔබටත් යමක් කිරීමට හැකිනම් එය ඇත්තෙන්ම මහගු පුණ්‍යකර්මයක් වනු ඇත. ඒ සදහා 071 2353734 අංකය ඔස්සේ ඔහුගේ මාපියන් සම්බන්ධ කර ගනිමින් ඔබේ සහයෝගය දැක්විය හැකිය.

ගල්ගමුව සමූහ
එම්. එම්. ක්‍රිෂාන් 

 

නව අදහස දක්වන්න