දඹුල්ල රෝහල සුවපත් කරන්න දසලක්ෂ 7000ක් වෙන් කරයි | දිනමිණ

දඹුල්ල රෝහල සුවපත් කරන්න දසලක්ෂ 7000ක් වෙන් කරයි

දඹුල්ල මූලික රෝහල වෙනත් ඉඩමක ඉදි කිරීමට ගත් තීරණය ඉවත් කොට එම ස්ථානයේම රෝහල සංවර්ධනය කොට නවීකරණය කොට අංග සම්පූර්ණ රෝහලක් බවට පත්කිරීම සඳහා රජය තීරණය කොට ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවැසුවාය.

මධ්‍යම රජය මඟින් රුපියල් මිලියන 7000ක මුදලක් වෙන් කොට දඹුල්ල නගරයේ අංග සම්පූර්ණ රෝහලක් ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කර තිබුණු බවත් ඒම සැලසුම්වලට අනුව දැනට රෝහල පවත්වාගෙන යන දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි ස්ථානයේ ඉඩ කඩ අවම වීම නිසා නව රෝහල් ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා ඉඩමක් සොයා ගැනීමේ දැඩි අසීරුතාව නිසා මහජනතාව සඳහා සේවා සැපයීම අරමුණු කරගෙන දැනට දඹුල්ල රෝහල පිහිටි භූමිය නව සංවර්ධන යෝජනාවලිය යටතේ අනවසර පදිංචිකරුවන් ඉවත් කොට එම ස්ථානයේම ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට තීරණයක් ගත් බව ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය මේ තීරණය ගෙන ඇත්තේ රෝහල් බලධාරීන් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු කණ්ඩායමක් සමග මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී දීර්ඝ වශයෙන් සිදුකළ සාකච්ඡාවකින් පසුවය.

දඹුල්ල මූලික රෝහල අංගසම්පූර්ණ රෝහලක් බවට පත් කරවීම සඳහා රජය විසින් මුදල් ලබාදී තිබුණද දඹුල්ල ප්‍රදේශයේ විශාල ඉඩමක් සොයා ගැනීමේ ක්‍රියාවලිය මාස ගණනාවක් තිස්සේ නොහැකිවීම නිසා ජනතා මුදල් අපතේ යෑමක් සිදුවිය හැකි යැයි නිලූකා ඒකනායක මහත්මිය මෙහිදී නිලධාරීන්ට දැනුම් දී තිබේ. දඹුල්ල රෝහල් භූමිය පිහිටි ඉඩම මේ වන විට විශාල වශයෙන් පිටස්තර පුද්ගලයන් විසින් අත්පත් කරගෙන ඇතිබව ආණ්ඩුකාරතුමිය විසින් සිදුකරන ලද පරීක්ෂණයක දී හෙළිවී ඇතැයි කමිටුවේ දී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

ඒ අනුව රෝහල ඉදිකිරීම සඳහා දඹුල්ල බස් නැවතුම් පොළ ආසන්නයේ සිට දඹුල්ල නගර මධ්‍යය දක්වා වූ විශාල ඉඩම සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කොට රජයට අත්පත් කරගෙන අංග සම්පූර්ණ රෝහලක් ඉදිකිරීමට කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. මේ සාකච්ඡාව සඳහා ධ්‍යම පළාත් සෞඛ්‍ය ලේකම් නිමල් බාලසූරිය, ‍මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ශාන්ති සමරසිංහ, දඹුල්ල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ගාමිණී සේනානායක යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය සේවයේ වගකි‍වයුතු කිහිප දෙනෙකුම එක්ව සිටියහ. 

සිගිරිය විශේෂ

නව අදහස දක්වන්න